nsb

Nov 11, 2016

‘‘වෙන්කට්ටි වට්ටම්” Featured

කලාව නිසා කෙලවගන්නා අවකාශයකට කෙලවාගැනීමක් කලාවක් බව පෙන්නලා දෙන එකම මාර වැඩක්. මං හිටියෙ ඒ අවකාශෙ ඇඟිලි තුඩකින් ,අර මාර වැඩේ මගේ හුස්ම ඩිංග වෙන්න හිර කරනවා. ඇස් ඉස්සරහ සෞන්දර්යෙ වේදිකාව උඩ වෙන්කට්ටි වට්ටම් ආල වට්ටම් පානවා.

අවුරුදු පනහක් තිස්සෙ දකුනුකරයෙ පට්ට ගහපු හුණු වටයට අලුත් ආත්මයක් හම්බවෙලා. මං හිටියෙ තමින්නාඩුවට ගිහින් අතෑරපු අසරනයෙක් වගේ . මං දන්න දෙමල වචන ටික අතේ ඇඟිලි ගානටත් අඩුයි.ඒත් මං බලනවා දෙමල වෙිදිකා නාට්‍යයක්. බලනවා නෙවෙයි බැලෙනවා. මට හුනු වටයක්වත් වෙන්කට්ටියක්වත් අදාල නෑ .


මේ රටේ කිරිසප්පයත් දන්න කතාව තමයි. ඒත් මං දැක්කෙ උඹත් මමත් මෙතෙක් නොදැකපු හුණුවටයක්. ඒක ඇතුලේ ආදරේ පොදිගහලා අවුරුදු තිහක් තිස්සෙම දෙපැත්තට ඇදලා පන නහගත්තෙ උඹලැයි අපිමයි තමයි. දැන් උන් වේදිකාවෙ ඉදන් කතාකරනවා ඒක බෙදාගන්න. ඒ අප්‍රකාශිත සංවේදනය මං ඇස්වලින් විතරක් බදාගන්නවා. සිංහල අපට දෙමල උන්ට ඇස්වලින් විතරක් අනෙකාව කියවිය හැකි කාලයක් ඒවිද, වචන අර්ථ විරහිත වෙලා දෝංකාර දෙද්දි ගෘාෂා මාත් එක්ක වේදිකාවෙ ඉඳන් කතා කරනවා .


මට අනුව ජනකරලිය හැබෑම ජනකරලියක් වුනේ වෙන්කට්ටි වට්ටමෙන්. යාපනේ දමිල,කඳුකරයෙ දමිල, දකුනෙ සිංයෙගෙ දමිල එක්ක මුහු වෙලා එතන තිබුනා පුදුමාකාර සෞන්දර්යයක්.කර්ණාටක සංගීතේ ඒ තරම් මිහිරි බව මං දැනගත්තෙ එදා. ඒ නාද අතරින් මතුවෙච්ච පද වැල් ඒ තරම් ප්‍රබලයි කියලා ඒ මොහොත වෙනකම් මං දැනන් හිටියෙ නෑ. කොටින්ම ඒ ප්‍රබල බව අපේ මහ ජාතියේ ඊනියා සංස්කෘතික සාටකෙන් එච්චරටම වැහිලා තිබුනද කියලා හිතෙන තරමට පුදුම හිතුනා. මේ දූපත් වාසීන් සියල්ලෝම ඒ ප්‍රේක්ෂකාගාරයේ සිටිය යුතුව තිබුනා.


මොකද ගිරි පුප්පවාගෙන කෑ ගහගෙන , ගල් ගසමින් , ගුටි බෙදමින් රැක ගන්න වෙර දරන ඒ අපේ කම එතන තිබුනා. මොකද අපි හැමෝම එතන හිටියා. දෙමල , සිංහල ආරට නුහුරුවුනු රුසියානු නම් මොනවගේ වුනත් චෙකොෆ්ගෙන් ණයට ගත්ත හුණු වටේ මොන පාට වුනත් ඊට පිටිපස්සෙන් වේදිකාව උඩ අපේම කතන්දරේ තිබුනා.


අවුරුදු 50 ක් තිස්සෙ සිංහල අපි යුද්දෙට මං ගියා ගෑණි ගෙදර තියා කියලා ආතල් එකේ කියද්දි වෙන්කට්ටි වට්ටම් ඒ ආතල් එක කුඩු කරලා තිබුනා. අවුරුදු තිහක වේදනාවක් එක නිරූපනයකින් ගේන්න බැරි බව ඇත්ත. ඒත් ඒ වේදනාවෙන් එක වගේ මිරිකිච්ච මේ රටේ හැම එකෙක් ගැනම කතාවක් හැම මොහොතකම එතන තිබුනා. සාම්ප්‍රදායික හුණු වටේ පාට වෙනස් වෙන්නෙ එතනදි. අපි නොදැකපු නොහිතපු පාට වලින් පාට කරලා උන් හුණු වටේ අපි ඉස්සරහම තියලා පෙන්නනවා. මේ තරම් කාලයක් ඒ පාට අපි නොදැක්කද නොදැක්කා වගේ අහක බලාගත්තද කියලා අහගන්න ඕනි අපි අපෙන්මයි. ඒ අපේම පාට අපේම රාග අපේම තාල. ඇයි අපි ඒවා අපේ කර ගන්න මේ තරම් කාලයක් හිතුවෙ, තාමත් හිතන්නෙ, විශ්වාස කරන්න එදා සෞන්දර්යෙ වේදිකාව උඩ දිග හැරුනු හැම අභිනයකම මුහු වෙලා හිටියෙ අපි අපිමයි.


තමිල්නාඩුයෙන් ණයට ගත්ත ඉටිගෙඩියක්වත් වෙන කොහෙන්හරි එකපාරට කඩන්පාත්වේච කෙහෙල්මලක්වත් නෙවෙයි, මෙතෙක් කල් අපිත් එකකම තිබුනු අපේම කොටසක් ජන කරලිය එලියට අරන් තිබුනා.


වෙස් නැටුමක් හින්දා උතුරුකරේ ගිනි ඇවිලෙද්දි සිප ගැනීමක් හින්දා රට මැද්ද පිස්සු කෙලිද්දි ඒ වේදිකාව උඩ සිංහල දෙමල අපේම වුන් ආදරෙන් වැලඳගත්තා. සයිමන් සිංහල උරුවට දෙමල වචන කියද්දි ගෲෂාගෙ චතුර දෙමල ඒවට හරස් වුනේ නෑ. උන් ආදරෙන් වෙලෙද්දි ජාතිවාදෙ ගැන කතා කරන්න කවුරුවත් ආවෙ නෑ. ඒ හැම බේගල් වාදයක්ම අමතක කරවන්න පුළුවන් සාමයක් උන් සිංහලද දෙමලද කියලා වෙන්කරන්න බැරි තරමේ සංහිඳියාවක් වෙන්කට්ටි වට්ටම් නිර්මාණය කරලා තිබුනා. මං හිටියෙ ඒ ආදරෙන් සුවපත්වෙලා. ඒකයි මට හිතුනෙ, මේ දූපතම එ් ප්‍රේක්ෂකාගාරෙට අඩුක් කරන්න තිබුනා නම් කියලා. එතකොට අඩුමතරමේ අනෙකාව ඉවසන්න පුරුදු වෙන්නෙ නැතුව විඳින හැටිවත් ඉගෙන ගන්න තිබුනා. අපි ආයෙමත් කරන්නෙ වැරැද්දක්. ඉවසීම කියන්නෙම වෛරයෙම තව අන්තයක්. අපි ඉවසන්නෙ කප්පරක් දේ දරාගෙන හංගගෙන. අන්තිමට පුපුරන්න පුපුරු ගගහ එකතුවෙන්නෙ ඒවා. ඒත් විඳීම වෙනමම දෙයක්.ඒක භාවනාවක්. සෞන්දර්යයක්. පට්ට ආදරයක්. එක්කො විඳීම කියන එකේ තේරුමවත් දන්නැති සරසවි ඔළුගෙඩි තියෙන රටක ඉස්සෙල්ලා ඉවසන්න පුරුදු කරන එකත් හොදයි.


වෙන්කට්ටි වට්ටමේ වෙස් නැටුම් නෑ තමයි. මොන සිංහල රාග තාලයක්වත් නෑ තමයි. ඒත් ඒක තමයි ජන කරලිය හැබෑම ජන කරලියක් කරේ. ඒ මොන බහුබූතයක්ද කියලා කල්පනා කරන සාම්ප්‍රදායක බූරු ඔළුගෙඩි හැරුනු කොට උතුරෙත් දකුනෙත් එකවගේ දිගඇරිචච් වෙන්කට්ටි වට්ටම් බලපු හුඟ දෙනෙක් ඒක දන්නවා ඇති.


වෙන්කට්ටි වට්ටම් මේ රට පුරාම යන්න ඕන. තව ඒ වගේ බොහෝමයක් බිහි වෙන්න ඕන. රුසියානු බැරිනම් අප්‍රිකානු ඇඳුම් හරි ඇඳගෙන සිංහල දමිල උන් කොන්දේසි විරහිතව වැලඳගන්න ඕන.සිපගන්න ඕන.ආදරේ කරන්න ඕන. ඒ ආදරේ වෙනුවෙන් යුධ වදින්න ඕන. එහෙම දවසක දමිල උන්ම අපට වෙස් නැටුමක් නටලා පෙන්නාවි. ඒත් අපි දන්නෙ කල දුටු කල වෙස් නැටුමක නාමයෙන් හෝ ජාතිවාදී වල ඉහගැනීමට පමණක් බව බොහෝ දෙනෙක් හරි අපූරුවට ඔප්පු කරමින් ඉන්න වෙලාවක ඒක හුඟක් දුර හීනයක්.


දැනගන්න ලැබුනු හැටියට එකම වෙන්කට්ටි වට්ටමට උතුරෙන් ලැබුනු ප්‍රතිචාරයත් දකුනෙන් ලැබුනු ප්‍රතිචාරයත් එකිනෙකට බොහෝ සෙයින් වෙනස්. උතුරෙ දිගහැරෙන හුණු වටය වේදනාවක්, භීතියක්, ආවේගයක් ප්‍රේක්ෂකාගාරෙ නිර්මාණය කරනකොට එ නිරූපනම දකුනෙ ඇති කරන්නෙ ප්‍රහසනයක්. අඩුමතරමෙ ඒ වෙනසවත් ප්‍රශ්න කරන්න අපට පුළුවන්නම් උතුරෙ දකුනෙ භේදයක් නැතුව අපට අපි ගැන තේරුම්ගන්න පොඩිම ඉඩක්වත් හදාගන්න පුළුවන් වේවි. උන්ගෙ වේදනාව අපට ප්‍රහසනයක් වෙන තරමටත් අපේ හාස්‍යයය උන්ට භීතියක් වෙන තරමටත් අපි උන්ටත් උන් අපටත් කොයිතරම්නම් ආගන්තුක වෙන්න ඕනද, එතකොට හිතෙනවා මේ ආගන්තුකකමට වඩා ඒ යුද්ධය සෞන්දර්යයක් වුනා කියලා . වෛරයේ ගින්නෙන් එකිනෙකාව යා කරගත්ත හැඟීමක්වත් එතන තිබුනා. මේ තරම් භයානක විදියට ආගන්තුක බවක් නැතුව.


දෙමල හෝඩියවත් හරියට නොදන්න මට වෙන්කට්ටි වට්ටම් තේරුනේ නෑ.දැනුනා. ඒ දැනීම තේරීමට වඩා පට්ට දෙයක් බව මට තේරුනේ අවසාන ජවනිකාවෙන් පස්සෙ නොනවත්වා මහ හඬින් ඇහුනු අත්පොලසන් හඬිනුත් එයත් පරයමින් ඇසුනු විසිල් ශබ්දයෙනුත්. අන්න ඒ වෙලාවෙ, අවුරුදු හතක් තිස්සෙ තියෙනවා කියලා අපි හිතන්න ඉන්න සාමය ඇත්තටම ජීවත් වුනා.

සඳුනිකා රත්නායක

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top