Jun 29, 2017

දොස්තර හෙයියම්මාරුව

මේ යහපාලන ආණ්ඩුවට නිවට ආණ්ඩුවක් ලෙස සලකන්නේ පාරට බහින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් (අන්තරේ) රජයේ වෛද්‍ය සංගමයත් පමණක් නොවේ. මේ ආණ්ඩුව නිවට යැයි දැන් සාමාන්‍ය ජනයාද කියති. පසුගිය ජුනි 21 වන බදාදා දින, අන්තරේ කැඳවූ ‘‘සයිටම්’’ විරෝධී පෙළපාලිය සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී ගොඩනැගිල්ලටද අලාභ හානි කළ ප‍්‍රවෘත්තිය ඇසූ පසු, එය බොහෝ දෙනෙකු කියූවකි. ‘‘අවුරුදු 02 ක් තිස්සේ  ඕක විසඳගන්න බැරිවුන ආණ්ඩුවක්නෙ’’ යන මතය දැන් පොදු මතයකි.

මේ විරෝධතාවන්ගේ ආරම්භය වූයේ සයිටම් ආයතනය විසින් මුදලට ලබා දෙන වෛද්‍ය උපාධිය තත්ත්වයෙන් බාල උපාධියක්වන්නේ යැයි එම සිසුන් වෛද්‍යවරුන් ලෙස වෛද්‍ය මණ්ඩලයේ ලියා පදිංචි කිරීමට විරුද්ධවය. ඊළගට එය වෛද්‍ය උපාධිය මුදලට අලෙවි කිරීමට විරුද්ධ උද්ඝෝෂණයකට හරවා ගනු ලැබිණ. ඉන් පසු ඒ සටන් පාඨය වෙනස්කර නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ සටනක් බවට පත්කර ගැණුනි, අවුරුද්දක්යත්ම එය ‘‘සයිටම්’’ ආයතනය අහෝසි කිරීමේ නොනැවතෙන උද්ඝෝෂණයක් විය. විශ්ව විද්‍යාාල සිසු සිසුවියන් සති පතා පාරට කැඳවන විරෝධතාවක් බවට පත් කෙරිණ. පසුගිය බදාදා සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුණු පසු දැන් එය ආණ්ඩු පෙරළන සටනකි.

ආණ්ඩුවේ නිවටකම

රාජපක්ෂ පාලන කාලයේ සයිටෙම් ප‍්‍රශ්නය තිබුණාට එයට විරෝධයක් නොතිබුණි. මහාචාර්ය කාලෝ ෆොන්සේකාද එකල විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙහි සභිකයෙකු ලෙස එය අනුමතකර තිබිණ. රජයේ වෛද්‍ය සංගමයේ සභාපති පාදෙනියගේ ප‍්‍රධානත්වයෙන් ඔවුන්ගේ සංගමය කමිටුවක් පත්කර ඉදිරිපත් කළ වාර්තාවේ ඇත්තේද සයිටෙම් වෛද්‍ය පීඨයේ වෛද්‍ය පුහුණුව පිලිබඳ අඩු පාඩු කිහිපයකි. එබැවින් රාජපක්ෂ යුගයේ ඒවා සම්පූර්ණ කරවා ගන්නට ඉඩ තිබිණ.

වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු විසින් ඒවා සම්පූර්ණ කිරීමට ඒ කාලයේ අවශ්‍ය පියවර ගෙන නැත. රාජපක්ෂ ආණ්ඩුවද පැහැදිලි පියවර නොගත්තේය. සිදුවූයේ ලියා පදිංචිය වෙනුවෙන් විවිධ උප්පරවැට්ටි කිරීමකි. මේ ආණ්ඩුව වසර දෙකහමාරකට පෙර 2015 ජනවාරියේ බලයට පැමිණියේ රාජපක්ෂ පව් කන්දරාව සමඟ මේ පාපයද කර ගසා ගෙනය. ඒ සියලු පව් සමා කළ හැකි බලයක් තමන් සතුව ඇතැයි මේ දේශපාලන නායකයෝ මැතිවරණයේදී ජනතාවට සහතික වූහ. එහෙත් ඔවුන් සයිටම් ආරවුල අර්බුදයක් වනතෙක් කිසිදු පැහැදිලි නිශ්චිත තීන්දුවක් මත ක්‍රියාත්මක පියවර තබා නැත. සයිටෙම් ආරවුල විකාරශීලි අර්බූදයකට හේතුවූ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ධූර කාලය අවසන් වූ පසුවත් සෞඛ්‍ය ඇමති ඔහුව නැවත වෛද්‍ය මණ්ඩලයේ සභාපති ලෙස 06 මසක කාලයකට පත් කළේය. වෛද්‍ය සංගමයේ නායක නඩයට ඔහු අවනත වූ බවක් ඉන් කියැවුනි. සයිටම් අර්බූදය තව දිග්ගැස්සෙන්නට එයද හේතුවක් විය. එවැනි නොවිසඳුනු ආරවුලක් තිබියදීත් මුදල් වැයකර තමන්ගේ දරුවන් එහි වෛද්‍ය උපාධිය ලබන්නට යොමු කළ දෙමාපියන් වෙනුවෙන් කණගාටු නොවුනාට එහි ඉගෙන ගන්නා සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකළ යුතුය. මේ ආණ්ඩුව ඒ වගකීම බාර ගන්නේද නැත.

එබැවින් පසුගිය කාලය පුරා ශිෂ්‍යයෝ සටන් පාඨ වෙනස් කරමින් නිතරම පාරේ විරෝධතා පැවැත්වූහ. වෛද්‍ය සංගමය ආණ්ඩුවට තර්ජනය කරමින් තැන තැන වර්ජනය කළහ. පොලීසිය පාරවල් හරස් කළහ. සාමාන්‍ය ජනතාව බැන බැන හවසට ගෙදර ගියහ. ආණ්ඩුව වටපිට බලමින් කල් මරන්නේය.

සයිටම් විරෝධයේ දේශපාලනය

DSC00283මේ සයිටම් විරෝධයේ දේශපාලනය තේරුම් ගැනීමට විශ්ව විද්‍යාල හා සිසුන්ගේ ඇත්ත ප‍්‍රශ්න අන්තරේ විසින් අතහැර දැමීම උපකාර වන්නකි. යල් පිනූ පාඨමාලා, බාල වර්ගයේ අධ්‍යයන සම්පත්, නවීකරණය නොවන පුස්තකාල වැනි මූලික ගැටළු ගැන ඔවුන්ගේ කිසිදු අවධානයක් නැත. ඔවුන් හවුල් වන්නේ වෛද්‍ය සංගමයේ විරෝධයටය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වය සයිටම් ප‍්‍රශ්නය එළියට ගෙනෙන්නේත් 2012 ජනවාරි 02 වන දින ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයේ සභාපති ලෙස පත් කෙරුනු මහාචාර්ය කාලෝ ෆොන්සේකා සයිටෙම් ප‍්‍රශ්නයට අත තබන්නේත් 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදී මාස 08 ට පමණ පසුවය. රාජපක්ෂ පාලන කාලයේ අතට නොගත් සයිටම් විරෝධය රාජපක්ෂ පැරදුනු පසු අතට ගැනීමේ දේශපාලනය ගැන අලුතෙන් නොලීවාට ඉන් ඔවුන්ගේ දේශපාලනයේ හැඩරුව හා වර්ණය මනාව පෙනෙන්නකි.

අන්තරේ සයිටම් විරෝධයට හවුල් වන්නේ ඉන් පසුවය. පෙරටුගාමීන් හා ජ.වි.පෙ අතර විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලය තහවුරු කර ගැනීමේ තරගය වෙනුවෙන් සයිටම් විරෝධය මුල් වන්නේය. ඒ විරෝධයන්ගෙන් සයිටම් ගැටළුවට කිසිදු බලපෑමක් නොතිබිණ. විශ්ව විද්‍යාල වලට සීමාවී කළ ඒ විරෝධයන්ගේ කිසිදු බලපෑමක් නොතිබූ බව, කොළඹ වෛද්‍ය පීඨය ඉදිරියේ අඩ වසරකට කිට්ටු කාලයක් කලූ බැනර් එල්ලාගෙන අට්ටාලයකට ගොඩවී ඉන්නා සිසු සිසුවියන් කිහිප දෙනාගෙන් මැනිය හැක. එබැවින් ඔවුන්ට සිදුවූයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විරෝධයට හවුල් වන්නටය. එයට මුල පුරන්නේද පෙරටුගාමීන්ය. ඔවුන්ට ජ.වි.පෙ අභිබවා එසවිය හැකි බලයක් පෙන්වීමට අවශ්‍ය වූයෙනි. 

ඒ ගනුදෙනුව සමග වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකයින්ටද අමතර හයියක් ලැබිණ. එබැවින් ඔවුන්ද සයිටම් විරෝධයේ ගමන් මග වෙනස් කළේය. ආරම්භක ඉල්ලීමේ දිගටම සිටියා නම්, සයිටම් ප‍්‍රශ්නය කෙටියෙන් ගොඩින් බේරා ගත හැකිව තිබිණ. එහෙත් ඔවුන්ගේ ආණ්ඩු විරෝධයට එය නොගැලපුනකි. එබැවින් සටන් පාඨ සහ ඉල්ලීම් වෙනස් කරමින් සයිටෙම් විරෝධය ඇදගෙන යාමට ඔවුන්ට අන්තරේ පිහිට  වැදගත් විය.

එලෙසින් පුළුල් අධ්‍යාපන අරගලයක් ලෙස සයිටම් විරෝධය ස්ථානගතකර අන්තරේ එයට හවුල් කර ගැනීමේදී, පෙරටුගාමීන්ට තිබූ වාසිය වූයේ, වර්තමාන ජ.වි.පෙ නායකයින් එවැනි දිගු ඇදෙන වීදි සටන්වල රැඳී සිටින්නට තිබූ නොසූදානමය. වර්තමාන ජ.වි.පෙ නායකයින්ගේ පසුගිය අවුරුදු 15 ක පමණ දේශපාලන භාවිතයේ පැහැදිලි පරිවර්තනයක් සිදුව ඇත. අවුරුදු 13 ට පෙර 2004 අප්‍රේල් මහ මැතිවරණයෙන් ජ.වි.පෙ මන්ත්‍රීවරුන් 10 කු තේරී පත් වූ පසු ප‍්‍රචාරය වූයේ ජ.වි.පෙ මන්ත‍්‍රීවරුන් කිසිවකු පාර්ලිමේන්තුවේ සුපිරි අවන්හල හෝ පුද්ගලික වාහන වැනි අධි සුඛෝපභෝගී වරප‍්‍රසාද බුක්ති නොවිඳින බවය. ප‍්‍රසිද්ධ කතාව වූයේ ඔවුන් පාර්ලිමේන්තුවේදී කන්නේ ගෙදරින් ගෙනෙන බත් පැකට්ටුව වාහනයක තබාගෙනය යන්නයි. කෙසේමුත් මේ වනවිට එවැනි කිසිදු අල්පේච්ඡ ජීවිතයක ලක්ෂණ ඉතිරිව නැත. ඔවුන්ගේ සමාජ ජීවිතයද දැන් ඉහළ මැද පංතික ජීවිතයකි. මේ නායකයින් සියල්ලෝම දැන් වයස අවුරුදු 40 ඉක්මවූ පවුල් වගකීම් ඇති මැදි වයසේ මහත්වරුන්ය. ඔවුන්ට අවුරුදු 25 ට පෙර කැලෑ පැන කළ ‘‘විප්ලව’’ දැන් කළ නොහැක. මේ ජ.වි.පෙ නායකයින්ට අන්තරේ සිසුවන් මෙන් මාස ගණන් ඇද ගෙන යන වීදි සටන්වත් දැන් ඔරොත්තු දෙන්නේ නැත.

පෙරටුගාමීන් ඔවුන්ගේ බලය විශ්ව විද්‍යාලවල තහවුරු කර ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායක කල්ලියෙහි දේශපාලනයට හවුල් වන්නේ වත්මන් ජ.වි.පෙ නායකයින්ගේ ඒ සීමාවන් සතු වාසිය මත ය. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ නායක කල්ලියේ වසන් වූ දේශපාලනයට අවශ්‍ය ලෙස සටන් පාඨ සහ ඉල්ලීම් අලූත් වූයේද කෙදිනකවත් නෙකෙරෙන සයිටම් ආයතනය වසා දැමීමේ ඉල්ලීම අන්තරේ අතට ගන්නේද නැවත ජ.වි.පෙ.ට ඒ පරණ ගමන යා නොහැකි බව හොඳින් දන්නා හෙයිනි. ඒ සමග ජ.වි.පෙ ඉතිරිව ඉන්නේ ආණ්ඩුවට විරුද්ධව සයිටෙම් විරෝධය සහ සිසු මර්දනය ප‍්‍රචාරක වශයෙන් යොදා ගැනීමේ තැන පමණය. ඒ වෙනුවෙන් හැකි තරම් ගෝසාකාරීව පාර්ලිමේන්තුව යොදා ගැනීමෙහිය.

විරෝධයේ අරාජිකත්වය

පෙරටුගාමීන්ට මෙහෙය විය හැකි අන්තරේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නායකත්වයටද පාරේ දිග හැරිය හැකි සිසු බලයක් වන හෙයින් ඒ සන්ධානය සයිටම් විරෝධයේ වීදි බලය වන්නේය. එනමුත් ඒ සන්ධානය විසින් මාස ගණනාවක් පුරා විශ්ව විද්‍යාල සිසුන් කොළඹ පාරවල දක්කා ගෙන යාමෙන් දිනාගත් කිසිත් නැත. එබැවින් විශ්ව විද්‍යාල සිසුන් පාරට මුදා හැරෙන හැමවිටම කලින් වාරයට වඩා වැඩි හයියක් වැඩි බලයක් පෙන්වීමට අන්තරේ නායකයින්ට සිදු විය. ඒ වැඩි හයිය, වැඩි බලය ඔවුන්ට පෙන්විය හැකි වූයේ ආණ්ඩුව විසින් විරෝධතා පාලනය කිරීමට යොදා ගන්නා පොලීසිය සමග ඇති කර ගන්නා ගැටුම් ඔස්සේය. ඉන් ඇතිවන තුවාල ප‍්‍රදර්ශනය කිරීමෙන් ලබා ගන්නා අනුකම්පාව මතය.1

එහෙත් ඊට සමාන්තරව විරෝධයන්ට හවුල් වන්නට වෛද්‍යවරුන් දැන සිටියේ වර්ජනය කිරීමට හා ප‍්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමට පමණි. ජනතාව හා ගනුදෙනු කිරීමට නොවේ. එබැවින් වෛද්‍ය වර්ජන හා සිසුන්ගේ වීදි සටන් එක තැන පල්වන ස්වරූපයක් පසුගිය මාස කිහිපයේ දැකිය හැකි විය. ඒ අතර, අධිකරණයට යොමු කෙරුණු සයිටම් අර්බූදය වෛද්‍ය සංගමයේ නායක කල්ලියෙහි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ප‍්‍රධානත්වයෙන්වන ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයේ දේශපාලනයට ගැලපෙන ආකාරයේ තීරණයකින් කෙලවර නොවන බැව් වඩාත් පැහැදිලි වූවකි. එබැවින් වෛද්‍ය සංගම් නායකයින්ටත් සම්මුතියකට ඉඩ නොතබා සටන් පාඨ පාරට රැගෙන ආ අන්තරේටත් ඔවුන්ගේ විරෝධතා වඩා වේගවත් කිරීමට සිදුවිය.

ඒ හේතුවෙන් ඔවුන් දැන් පැමිණ ඇත්තේ හැකි පමණින් ආණ්ඩුව අස්ථාවර කිරීමේ තීන්දුවකටය. ආණ්ඩුව අස්ථාවර කිරීමේ පෙරටුගාමීන් දන්නා එකම සූත‍්‍රය වන්නේ අරාජිකත්වය ය. පසුගිය වසරේ අප්‍රේල් මාසයේද ඔවුන්ගේ නායකයෙකු වන ගුණරත්නම්ගේ පුරවැසි භාවය යළි දිනා ගැනීම වෙනුවෙන් පෙරටුගාමීන් පොලීසිය හා ගැටී ආගමන විගමන දෙපාර්තමේන්තුවට බලහත්කාරයෙන් ඇතුලූ විය. ඒ වෙනුවෙන්ද ඔවුන් යොදා ගනු ලැබූයේ අන්තරේ පිරිස් බලය ය.

අරාජිකත්වය ජ.වි.පෙ දේශපාලනයේ ප‍්‍රධාන ආවේණික ලක්ෂණයක් වූවකි. 1987 ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව ශ්‍රී.ල.නි.ප සමගින් පෙළපාලි ගිය ජ.වි.පෙ ක්‍රියාකාරීන් ඔවුන්ගේ විරෝධය එදා සටහන් කෙරුවේ ලයිට් කණු කඩා, බස් වලට සහ රජයේ ගොඩනැගිලි වලට පහර දීමෙනි. වෘත්තීය සමිති ආභාශයක් නොවුනු සහ වෘත්තීය සමිති සංවිධානය කිරීමට අවසරයක් නොතිබූ 80 දශකයෙහි, ගමෙන් නිදහස් වෙළඳ කලාප වලට ගාල් කෙරුණු තරුණ ශ‍්‍රමය එදා ඔවුන්ගේ විරෝධතා සඳහා යොදා ගත්තේද වතුර ටැංකි මත සත්‍යග‍්‍රහ කිරීම, කලමනාකරුවන් ප‍්‍රාණ ඇපයට ගැනීම වැනි අරාජික විරෝධයන්ය. ජ.වි.පෙ පාර්ලිමේන්තු දේශපාලනයේ සුව පහසුව සමග පැළපදියම් වූයෙන් එය දැන් ඇත්තේ පෙරටුගාමී දේශපාලනයෙහි ය. රජයේ කාර්යාල වලට කඩා පැන අලාභ හානි කිරීමේ ඔවුන්ගේ දේශපාලනය ඒ අරාජික උරුමය විදහා පාන්නකි.
 
නරුමත්වයේ කෙළවර

kidneyදැන් මේ දෙපිරිස පැමිණ ඇත්තේ බරපතල හෙයියම්මාරුවකටය. අන්තරේ දේශපාලන නායකයින්ට සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදීමෙන් සිදුවූ අකරතැබ්බය නිසා යළි එවැනි ශිෂ්‍ය විරෝධයකට වහා අත ගැසිය නොහැක. වෛද්‍ය සංගමයේ ප‍්‍රධානීන්ට ඔවුන් තීන්දු කළ අඛණ්ඩ වර්ජනය දිගටම ක්‍රියාත්මක කළ නොහැක්කකි. ඔවුන්ගේ වර්ජන අසාර්ථකය. තැන් තැන්වල වර්ජනය කෙරුණද, එය දින කිහිපයකට වඩා ඇද ගෙන යා නොහැක්කකි. ඔවුන්ගේ පෞද්ගලික වෛද්‍ය සේවාවන්ද වර්ජන කාලයේ අත හරින්නට දැන් සිදුව ඇති හෙයින් 18,000 ක් පමණ වෛiවරුන් අතුරින් වර්ජනයට හවුල්ව ඇත්තේ 3,000 ක් පමණය. අතිශය ආත්මාර්ථකාමී වෘත්තියක් බවට පත්ව ඇති වෛද්‍ය වෘත්තියට එවැනි කැප කිරීම් කළ නොහැකිය.

වෛද්‍ය සංගමයේ නායක කල්ලියට ඒ අතර ඔවුන්ගේ සංගමයේ නියෝජිත සම්මේලනයට පසුගිය සති අන්තයේදී මුහුණ දෙන්නටද සිදුවිය. විකල්ප කණ්ඩායම් සියල්ලගේ සාමාජිකත්වය අත්හිටුවා තිබියදීත් තුවාල සහිත, විසඳුම් පෙනෙන තෙක් මානයේ නැති බරපතල ආරවුලක් සමගින් ඔවුන්ට නියෝජිත සම්මේලනයකට යා නොහැකි විය. එනිසා ඔවුහු වහා ජනාධිපති හමුව මුහුණයි රැවුලයි බේරා ගන්නා, අවසන් විසඳුමක් නොවන තාවකාලික විරාමයකට එකඟව, වර්ජන තීන්දුව අත හැරියහ. ජනාධිපති ලේකම් විසින් පැමිණි එකඟත්වය පසා කෙරුවයි සම්මේලනය අවසන් වූ වහා නැවත වර්ජනය කිරීමට සිදුවිය හැකියැයි වෛද්‍ය සංගම් නායකයින් කියන්නේ ඔවුන්ට එකවර සයිටම් අතහැරිය නොහැකි හෙයිනි.

වෛද්‍ය සංගමය සයිටම් අතහැරිය විට, අන්තරේට සිදුවනු ඇත්තේ කුමක්ද? වෛද්‍ය සංගම් නායකයින්ට ඔවුන්ගේ ගමන කෙළවර කරන්නට සිදුවන විට ඔවුන් අන්තරේ පෙරටුගාමී දේශපාලනයට සිදුවන්නේ කවරක්දැයි ගණන් නොබලනු ඇත. වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්ට සිදුවන්නේ කුමක්දැයි ගණන් බලන්නටද ඔවුන්ට වුවමනාවක් නැත. මෙය සතියකින් දෙකකින් නිමා වන්නක්ද නොවේ.

එනමුත් මෙය ඉක්මන් කළ හැක්කේ රටේ ජනතාවටය. රජයේ වෛද්‍ය සේවාව ඔවුන්ගේ බදු මුදලින් නඩත්තු කරන්නක් බව ජනතාව තේරුම් ගන්නා ප‍්‍රමාණයට අවසන් තීන්දුව ඉක්මන් කළ හැක. අයාලේ යන රජයේ වෛද්‍යවරුන්ට තම රාජකාරිය පිළිබඳව අවසන් තීන්දුවක් ගන්නට යැයි රෝහල් වලට ගොසින් කියන්නේ නම් සයිටෙම් අර්බුදය නිට්ටාවට සුව කරගත හැකිය.   

kusalpereraකුසල් පෙරේරා
ලංකාදීප

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top