Jun 30, 2017

අතීත මධුපානෝත්සව සිට වර්තමාන බීර වයින් දක්වා...

‘කව්සිළුමිණ හෙළ කව් ලොවේ පමණක් නොව, සකු කව් ලොවේද සිළුමිණයි. එය විශ්ව සාහිත්‍යයට ඇතුළු විය යුතු ශ්‍රේෂ්ඨ ගණයේ නිර්මාණයකි. හෙළ බසත් විශ්ව බසකුත් මැනවින් දත් රසිකයෙකු එය විශ්ව බසකට නැගූ දිනෙක සිංහල ජාතිය ලෙව් හි බැබළෙතැයි සිතිය හැකිය. එහෙත් කොදෙව්වක වසන කුදු ජාතියක් වන අපට නිසි ගෞරවය වුව ලැබෙතැයි කෙසේ සිතමුද?’ මහාචාර්ය සුචරිත ගම්ලත් එතුමන්ගේ කව්සිළුමිණ විනිස කෘතියෙහි පෙරවදනෙහි ඉහත අදහස් දක්වමින් පවසන්නේ, කව්සිළුමිණ පිළිබඳ මෙම අර්ථ කථනය කරන ලද්දේ, අස්මදාචාර්ය, එදිරිවීර සරච්චන්ද්‍ර මැතිඳුන්ගේ වාචනා මාර්ගයෙහි පිහිටාය යනුවෙනි. කලිකල් සවැනි පැරකුම්බා නිරිඳුන්ගේ කව්සිළුමිණ, සංස්කෘත සාහිත්‍යය හොබවන, පංච මහා කාව්‍යයන් අබිබවා සිටින නිර්මාණයකැයි ද, අපූර්ව කවිත්වයකින් හෙබි, කාලිදාසයන්ගේ කෘතිවල වුව, කව් සිළුමිණෙහි ප්‍රාදුර්භූත වන්නාක් බඳු කලාත්මක ඒකාබද්ධතාවක් හෝ ගැඹුරු ජීවන දෘෂ්ටියක් නැතැයි කියා ද මහැදුරු ගම්ලතුන් පවසන්නේ මහදුරු සරච්චන්ද්‍රගේ වාචනා මාර්ගයෙහිම පිහිටාය.

‘කව්සිළුමිණෙහි එන පුර වර්ණනා, රාජ වර්ණනා සන්ධ්‍යා නිශා වර්ණනා, ශරත් වර්ණනා, ජල ක්‍රීඩා වර්ණනා හා තවත් වර්ණනා ද මධුපානෝත්සව වර්ණනා ද පාඨකයනට හමුවේ. මේ අතරිනුදු මධුපානෝත්සව වර්ණනා පිළිබඳ මෙවර තීරුවෙන් විමසන්නට මූලික හේතුවක් වූයේ, පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් දක්වන ලද අදහස් කිහිපයක යථාර්ථය හා නීර්භීතභාවය වටහා ගනිමිනි. පසුගිය 22 වනදා සුරාබදු ආඥා පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී මංගල ඇමැතිතුමා, මුදල් ඇමැති ලෙස මේ විෂයයට අදාළව කළ ප්‍රකාශයෙහි සාරාංශය මෙසේය. පෝය දිනයන්හි මත්පැන් අලෙවිය සාමාන්‍ය දිනවලට වඩා ඉතා ඉහළය. මත්පැන් අලෙවි සල් හිමියන් පෝයට පෙර දින මත්පැන් තොග ඔවුන්ගේ නිවෙස්වලට ගෙන ගොස් පෝය දිනයන්හිදී අධික මිලට විකුණයි. පෝ දිනයට මත්පැන් අලෙවි සල් වසා තබන බව දන්නා මත්පැන් බොන්නෝ, පෙර දින පෝලීම් ගැසී රාත්‍රි නවයට පෙර මත්පැන් තොග මිලට ගැනීමට පුරුදු වී සිටිති. සැරබීම, පානය අවම කිරීම සඳහා බීර හා වයින් වැනි මද්‍යසාර ප්‍රතිශතය අඩු බීම වර්ග මිල අඩු කළ යුතුය. සැර බීම හා නීත්‍යානුකූල නොවන කසිප්පු වැනි මත්පැන් භාවිතය අධෛර්මයත් කිරීමට බීර හා වයින් මිල අඩු කළ යුතුය. බීර හෝ වයින් පානයක මද්‍යසාර ප්‍රතිශතය 4 – 6% අතරේ වුවත් සැර බීම මද්‍යසාර ප්‍රතිශතය බොහෝ අවස්ථාවන්හි 30 – 40% අතර බව අපගේ හැඟීමයි.

යල්පැනගිය දෘෂ්ටිවාදවලින්ව බැහැරව, නවීන ‍ලෝකය සමඟ, යථාර්ථවාදීව සිතන්නට කාලය එළඹ ඇති බවයි අමාත්‍යවරයාගේ පෞද්ගලික අදහස් වී තිබුණේ. ඇමැතිතුමාගේ අදහස් හා යෝජනා පෞද්ගලිකවූවත්, ඒවා පිළිබඳ ධනාත්මකව කල්පනා කරන්නට සිදුවීමේදී ඇතැම්විට ආගමික නායකයන්ගේ විරෝධතා මතුවීම වැළැක්විය නොහෙනු ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ, ප්‍රධාන විදේශ විනිමය ආදායම් මාර්ගයක් සේ සැලකෙන සංචාරක කර්මාන්තය හා රටේ ආර්ථිකය පිළිබඳව ද ආගමික නායක මත පළකිරීමේ දී කල්පනා කරනු ඇතැයි විශ්වාස කරමු. සුරාව හෝ මධුපානය සමඟ සිංහල බෞද්ධ පිරිස් අතර වූ සම්බන්ධය පිළිබඳ තොරතුරු ආගමික සාහිත්‍යයෙන් ද චිරත්තන සාහිත්‍ය කෘතීන්ගෙන් ද අපූරුවට දත හැකි බව හඟිමු.

බුද්ධ චරිතයේ සංසිද්ධීන් රැසක් සමඟ සුරාව බැඳී ඇති අයුරු මතකයට නැ‍ඟේ. බුදුන් දවස එක්තරා භික්ෂුවක් සුරා පානය කොට මත් වී ජේතවනාරාමය අසල ඇද වැටී සිටි පුවතක් වේ. බුදුන් වහන්සේ පෙරමගට දෙව්දතුන් විසින් නාලාගිරි ඇතු එවන්නේ රා කළ සොළොසක් පානය කරවීමෙන් අනතුරුවය. සුරාවක් ලෙස රා පානය එදවස පැවැති බව නොවේද ඉන් සනාථවෙන්නේ? ජාතක කතා පොතෙහි අසූ එක්වන ජාතකය සුරාපාන ජාතකය වේ.

කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි, බුදුන් වහන්සේ වැඩ විසු සමයෙක්හි සාගත ස්ථවිරයන් අරඹයා දේශනා කළ මේ ජාතක කතාවෙහි, කපෝතිකා නම් සුරාව පිළිබඳ කියැවේ. පැවිද්දන් රා බීමත්ව විසංඥා වු‍ෙය් දැන් මතු නොවෙයි, පෙරත් විසංඥ වූවෝම වේදැයි ඉකුත් වත් කතාව ද දේශනා කළ බව සඳහන් ය. එදවස පවා සුරාව වූ බවත්, බුදුන් වහන්සේ විසින් එහි ආදීනව දෙසූ බවත් අපි දනිමු. එහෙත් අපගේ චිරන්තන සාහිත්‍ය කෘතිහි සුරාපානය, මධුපානෝත්සව පිළිබඳ වර්ණිත සිදුවීම් බුද්ධ කාලීන’ පුවත්වලට වඩා වෙනස් ස්වරූපයක් ගනී. ඉනිඳු, කව්සිළුමිණෙහි එන මධුපානෝත්සව වර්ණනා, කාව්‍යමය ගුණයෙන් ද අපූර්වත්වයෙන්ද පොහොසත්ය.කුස රජුගේ පියා මදු රජුගේ නුවරට ගිය විට පිළිගන්නා ලද්දේ උත්සවයකිනි. ඒ රජුට සුරාවෙන් සංග්‍රහ කළ මදු රජු විසින් අන්තඃපුර කතුන් රමණීය කොට දෙන ලදැයි, කව්සිළුමිණ මධුපානෝත්සව වර්ණනය අවසානයෙහි සඳහන් වේ. කව්සිළුමිණෙහි මධු පානෝත්සව වර්ණනා අපට පවසන්නේ, මධුපානය පමණක් ම නොව මධුබීමෙන් මත් වූ නිරිඳු හා ළඳුන්ගේ හැසිරීම් විලාස ද බව දත යුතුය. පහත නිදසුන් ප්‍රකට කරන්නේ මධුපානයෙහි චමත්කාරජනක හැඟීම් නොවේ ද?

නැටුම් ගත් එක් කතකගේ, ලිහිල් වූ වස්ත්‍රය දෙස නිරතුරු ව ම නෙත් මෙහෙයවමින් නිරිඳු මී මත් වූ ඇයම අන්‍යයන් අතුරින් විශේෂ කළේය. (296) මත් වී නැටුමට වන් ලියක හැඳි වත ලිහිල් විය. රජුගේ නෙත් එහි ම ඇලිණ. මුළු පරිසරයම කෙමෙන් අනුර‍ාගය විසින් වැලඳගන්නා අයුරු සැඟ වූ අයුරුයි. (කව්සිළුමිණි විනිස 172 පිටුව ) මධු පානය කළෝ පුරුෂයන් පමණක් නොවන කව්සිළුමිණෙහි වර්ණනා සනාථ කරයි. රජුන් තරුණ ස්ත්‍රින් හා මධුපානය කරමින් පෑ අනංග රංග පිළිබඳ තොරතුරු කව්සිළුමිණෙහි නොවඩුව ඇත. ඉක්බිති මෙසේ රජුගේ වචනයන්ගෙන් කෙළවර බලා, මදයෙන් අලස වූ පැකිලෙන තෙපුල් ඇති, ආදර සහිත වූ තරුණ කාන්තා‍වෝ සුදුසු අවසරයෙහි අ‍ාදරයෙන් එළවන ලද මධුව ඔහුට පෙවූහ. ප්‍රියාව විසින් පිරිනමන ලද සුවඳ කැවුණු, ඇයගේ මුවට ගත් මධුව, අත්‍යර්ථයෙන් ප‍ානය කරන්නාවූ රජ හ‍ට ඇගේ ලවනත අවුලු බවට පත්විය.

fe60ed024249d573dfaa696abf0b7790 500x510

ප්‍රියාවක තමා මඳක් බී, මී වඩාත් මියුරු කොට දෙන කල්හි වහා එය ගන්න‍ට බැරි වූ වරද, රජතුමා ප්‍රිය තෙපුලින් දුරු කළේය. (299) මී විතෙහි ඔබගේ ලවනත තැවරුණු තැන් මතක නැත. ඔබ ලවන් වතළ තැන කියන්නැයි’ රජු කියත්ම ඒ ප්‍රියාව අමර්ෂය දුරලා සිනාසී රජුට මී පෙව්වාය. (300) ප්‍රියාවක් තමා මඳක් පානයකොට සිය මීවිත රජුට දෙයි. අන් ප්‍රියාවක වෙත ගොස් සිටි රජුට එය වහා ගන්නට බැරි විය. රජුගේ සිත වෙනතක දිවගොස් තිබූ බව දුටු ඇය අමනාප විය. එකල්හි රජු ඇය සනසන අටියෙන් “ඔබ දුන් මී විත වහා නොගත්තේ, ඔබ ලවනත වැකිතැන් මතක නැති හෙයින් එතැන පෙන්වා දෙන්නැයි කියත්ම ඇය අමනාපය දුරලා සිනාසී සියතින්ම රජුට තමා ලවන් වතළ තැනින් මී පෙව්වාය. කියග සොඳුර තොප තුඩ වැකි තැන්”. රජුත් ප්‍රිය‍ාවනුත් අතර වූ පෙම් කෙළියේ රමණීය බවත් ප්‍රිය තෙපුල්වල පවත්නා බලයත් ධ්වනිත වෙයි. (කව්සිළුමිණ විනිස - සුචරිත ගම්ලත් පිටු 172 – 173) ගුත්තිල කාව්‍යයේ උදේනි පුර සැණෙකෙළි වැනුමෙහිදී, සුරාවෙන් මත්වූවන් පිළිබඳව මෙන්ම සුරාපාන අලෙවි කළ අවන්හල් පිළිබඳව ද කියවේ.

සුරා සලෙලු දන සතෙ‍ාසේ

සුරා ප‍ාන කරන ලෙසේ

පුරා අවුළු නොයෙක රසේ

සරා අවන්හල් සහසේ

රැගත් සුරා පිරූ විතින්

සුරත් තඹුරු පෙති විලසින්

පුවත් නොදැන බමන මතින්

නටත් අයෙක් සුරා මතින්

ඉහත නිදසුන් සියල්ල සනාථ කරන්නේ සුරාව, මධුවිත අපගේ ජීවිතවලට කිසිදු අ‍ාගන්තුක ‍ප‍ානයක් නොවන බවයි.

වර්තමාන ශ්‍රී ලංකාවේ, මත්පැන් පානය පිළිබඳව සැබෑ චිත්‍රයක් මුදල් ඇමතිතුමා ලබා ඇති බවක් පැහැදිලිය. ඔහුගේ පෞද්ගලික අදහස වූවත් එවන් රැඩිකල් අදහස් නවීන ලෝකය සමඟ ඉදිරියට යාමට අවශ්‍ය වේ.

කව්සිළුමිණ හෝ ගුත්තිලයේ එසේ නොවේ නම් බුද්ධචරිතයේ මධුපානය, සුරාව, රා වැනි මත්පැන් පිළිබඳව අපූරු මෙන්ම - සුන්දර කතා ලියවී ඇත්තේ, මධුපානය කළ පසු රජුන්ගේ පවා හැසිරීම් විලාස විචිත්‍රව වර්ණනා කරමිනි. අමාත්‍ය මංගල නගන තර්ක අත්‍යන්තයෙන්ම ප්‍රායෝගිකය. මත්පැන් පානය හෝ අලෙවිය හෝ රජය විසින් තහනම් කොට නොමැති නම්, නීති රීති පැනවිය යුත්තේ ජනතාවගේ සෞඛ්‍යය, රටෙහි ආර්ථිකය, විදේශ විනිමය, ආදායම් මාර්ග ආදිය සිත්හි තබාගෙනය. පෝදා මත්පැන් සල් වසා තැබීම කිසිසේත්ම මත්පැන් පානයෙන් එදින ජනතාව වළක්වා තැබීමත් නොවන්නේය. අන් දිනවලට වඩා මත්පැන් පරිභෝජනය තහනම් දිනක වැඩිවන බව සාක්ෂි සහිතව ඔප්පු කළ හැකිය. පෝයට පෙර දින අලෙවි වාර්තා නිශ්චිත පිළිතුරක් වේ.

පෙරවරු නවය පස්වරු නවය දක්වා මත්පැන්ය අලෙවි සල් විවෘත කර තැබීම සිදුවන්නේ ශ්‍රී ලංකාවේ පමණක්මද කියා සැක සිතේ. ලොව බොහෝ රටවල රටබීම කවුන්ටර් දවසේ පැය විසිහතරේම විවෘතව පවතින්නේ, එය සුවිශේෂී පාරිභෝගික ද්‍රව්‍යයක් නොවන බැවිනි. මත්පැනින් තොර දේශපාලන රැස්වීමක්, මැයි දින පෙළපාලියක්, අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේ කොහිවේද, එසේ නම් කිම මේ ආත්ම වංචනය? රවටා ගැනීම? වෙසක් පුන් පොහෝ දිනය වැනි දිනක “මත්පැන් තහනම” සංකේතාත්මකව අනුමත කළ හැකි වූවත් අන් පොහෝ දින මත්පැන් තහනම වර්තමානයේ සිනමාශාලාවලට පොහො‍දා විකාශනය තහනම සඳහා පනවා ඇති නීතිය වැන්න. රූපවාහිනී මාධ්‍යය මෙරටට ඒමට පෙර පො‍්ය දිනයන්හි චිත්‍රපටශාලා වසා දැමීම අර්ථාන්විත වූවත්, අද එය යල්පැන ගිය නීතියක් වන්නේ නිවෙසටම වී තමන් කැමති ඕනෑම වර්ගයේ චිත්‍රපටයක්, නිල් චිත්‍රපට‍යක් වුව නැරඹීමට, ප්‍රේක්ෂකයනට ඉඩ ලැබී ඇති බැවිනි. නත්තල් උත්සවය වැනි ලොව පුරා කිතුනුවන් ප්‍රීතියට පත්වන දිනක සුරාසල් වසා තබන ලොව ඇති එකම රට ශ්‍රී ලංකාව පමණක් වන්නට ඉඩ ඇත. ලොව ඕනෑම සාප්පු සංකීර්ණයක මත්බීම අලෙවිය විවෘත වෙළඳාමකි.

අනෙක් අතට මෙරට සුරාබඳු ආඥා පනතට අනුව, ලබාගත් බලපත්‍රධාරි ක්‍රීඩා සමාජ කොතෙක් වේද? දුම්කොළ හෝ සිගරැට් නිෂ්පාදන සමාගම්, ක්‍රීඩා හෝ කලා කටයුතු අනුග්‍රහයෙන් ඈත්කොට ඇත්තේ මත්පැන් හෝ දුම්වැටි ක්‍රීඩාවට, කලාවට අහිතකරය යන්න සිත්හි තබාගෙන විය යුතුය. එහෙත් දිවයිනේ, විශේෂයෙන් අගනුවර, බහුතර ක්‍රීඩා සමාජ, මත්පැන් අලෙවිය සඳහා බලපත්‍ර ලද්දෝ වෙති. යල් පැන ගිය නීතිරීති සකස් කොට අද දවසට, ලෝකය සමඟ අත්වැල් බැඳගෙන ඉදිරියට යාමට අප සූදානම් විය යුතුය. පවත්නා නීති රීති, සංශෝධනයෙන්, ලිහිල් කිරීමෙන්, මිනිසුන්ගේ සෞඛ්‍යයට අහිතකර නොවන හා මද්‍යසාර ප්‍රතිශතය අඩු මත්පැන් කරා මිනිසුන් කැඳවීමට පුරුදු කිරීමෙන් මේ තත්ත්වය යහපත් අතකට හරවාගත හැකිය. මද්‍යසාර ප්‍රතිශතය අඩු වූ බීර හා වයින් අලෙවියට පනවා ඇති බොහෝ නීති රීති සංශෝධනය විය යුතුමය.

පස්වරු දෙකට මත්පැන් අලෙවිය නතර කිරීමට පනවා ඇති නීතිය, සංචාරක අවන්හල් හා හෝටල්වලින් වහාම ඉවත්කළ යුත්තකි. සංචාරක ව්‍යාපාර මඟින් විනිමය ආදායම් අපේක්ෂා කරමින් පස්වරු දෙකෙන් පසු බීර බෝතලයක් වත් පානයට වැට බැඳ ඇති සාමාන්‍ය සංචාරක අවන්හල් හා හෝටල් සඳහා අවම තරමින් දහවල් තුන දක්වා හෝ මත්පැන්, බීර, වයින් අලෙවියට ඉඩ දිය යුතුය. දහවල් දෙකෙන් පසු මත්පැන් අලෙවිය තහනම් කිරීම , සංචාරක ව්‍යාපාරයට ඍජුවම බලපාන අයුරු මම අත්විඳ ඇත්තෙමි. කොළඹ සිනමාශාලාවක් යාබදව ජනප්‍රිය අවන්හලකට දිවා ආහාරයට ගොස් පස්වරු 1.50 ට පමණ බීර බෝතලයක් ඇණවුම් කොට බීම ඇරඹුවෙමි. ඉන් විනාඩි 15 කට පසු ඒ වන විට වේලාව පස්වරු දෙකයි පහයි. (2.05) පමණට නියමිතය.

තායි ජාතික තරුණ තරුණියන් කණ්ඩායමක් ආපන ශාලාවට ඇතුළු වී ආහාර ගැනීමට පෙර බීම ඇණවුම් කළහ. බීර අලෙවිය අවසන් බව වේටර්වරයාගේ පිළිතුර විය. යාබදව මේසයේ අසුන්ගත් ඔවුන්ගේ එක් අයෙකු මගෙන් විමසුවේ එසේ නම් මා බීර බොන්නේ කෙසේද කියායි. මා පැවසුවේ පස්වරු දෙකට පෙර, මා මාගේ ඇණවුම ලබාගත් බවයි.

මේ තත්ත්වය වහා වෙනස් විය යුතුයි. බොහෝ විට බොහෝදෙනා බීර බීමට ප්‍රියතාවයක් දක්වන්නේ , එය පිපාසයට සුදුසු පානයක් ලෙස සලකා මිස මත්වීමේ අරමුණින් නොවේ. කුඩා අවන්හලකට දවල් කාලයේ සාප්පු සවාරිය හෝ වෙනත් නැරඹීම් කොට පැමිණෙන ඉතා ධනවත් නොවන සංචාරකයෙකුගේ අපේක්ෂා බිඳ නොහෙලිය යුතුය. සිල් ගත්තෝ සිල් ගත්තා වේ. බීර බොන්නෝ හෝ චිත්‍රපට බලන්නෝ චිත්‍රපට බැලුවා වේ. බීර බෝතලයක් වයින් වීදුරුවක් හෝ අවශ්‍ය වූ කල බීමට නොහැකි ශ්‍රී ලංකාව පලක් නැති රාජ්‍යයක් යැයි සංචාරකයන්ට හැඟුණහොත් ඔවුන් යළි මේ රටට නො එන බව විශ්වාසයි.

බුද්ධදාස ගලප්පත්ති

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top