Jul 06, 2017

භීම සමයක සාක්‍ෂි එකතුවක් V: මරු මුව මඟහළ පෝද්දල ජයන්ත ආපදානය

රාජපක්ෂ පාලන සමයේ ජනමාධ්‍ය වෙත එල්ල වූ මර්දනයේ බිහිසුණු බව පෙන්නුම් කිරීමට ආණ්ඩු විරෝධීන් විසින් හුවා දක්වන ලද, විශේෂයෙන් යහපාලන වේදිකා මත තොරොම්බල් කළ, සිදුවීම් අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම හා පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් දෙපා බිඳ දැමීම සුවිශේෂී වෙයි.

පාර්ලිමේන්තුවේ පවා මේ සිදුවීම් පිළිබඳ උණුසුම් වාද විවාද ඇති විය. එහෙත් මේ සිදුවීම් අතරින් නාමිකව හෝ පරීක්ෂණ සිදු කෙරෙනුයේ ලසන්ත ඝාතනය හා ප්‍රගීත් පැහැරගෙන යාම සම්බන්ධයෙන් පමණි. එම විමර්ශනවල අතුරු ප්‍ර‍තිඵල ලෙස  කීත් නොයාර් , නාමල් පෙරේරා, උපාලි තෙන්නකෝන් වැනි දකුණේ ජනමාධ්‍යවේදීන්ට එරෙහි පහරදීම් ගැන ද යම් විමර්ශන සිදුවෙයි. එහෙත්  පොද්දල ජයන්ත පැහැරගෙන යාමේ සිද්ධිය තවමත් බහා තබන ලද නඩු නිමිත්තකි.

සුදු වෑන් රියකින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගන්නා ලද පොද්දල ජයන්ත ගේ  පාදයක්  බිඳ දමා, අකුලකට විසිකර දැමුයේ, නිරෝගී මිනිසකු ලෙස යළි ජීවත්වීමේ අවස්ථාව ඔහුට අහිමි කරනු පිණිස ය.  මරණයේ එළිපත්තට ම ගොස් අහඹු ලෙස දිවි ගලවා ගැනීමට පෝද්දලට හැකියාව ලැබිණි. එහෙත් ඒ කිසි දි‍නෙක අමතක කළ නො හැකි ඛේදනීය අත්දැකීමක් ද සමඟිනි. පසුගිය ජුනි පළමු වැනිදාට වසර අටක් සපිරුණු, තමන් අත්දුටු ඒ බිහිසුණු අත්දැකීම ප්‍රේමජයන්ත අත්තොටගේ හෙවත්  පෝද්දල ජයන්ත  JDS වෙනුවෙන් ආවර්ජනය කළේ පහව අට වසක් තිස්සේ ඉටු නොවූ යුක්තිය පිළිබඳ සමහන් නොවූ වේදනාවෙනි.

අරලියගහ මන්දිරයේ සාකච්ඡාවඅතරතුර....

“ඒ ජූනි පළමුවැනිදා හවස  ජනාධිපති රාජපක්ෂ, අරලියගහ මන්දිරයට මාධ්‍ය සංවිධාන ප්‍රධානීන් කැඳවලා තිබුණා. එත් මම ඒකට ගියේ නැහැ. මම කෙලින් ම ගෙදර ගියා. ඇඹුල්දෙණිය හන්දියේ තියෙන කඩෙන් මැණිකෙට යි, දුවට යි මාළුපාන් අරගෙන ගේ දිහාවට යනකොට, ගෙවල්වලට යන පටු පාරේ සුදුවෑන් එකක් නවත්වලා තිබුණා. පාර පටු නිසා එක් පැත්තක තිබුණු පුංචි ඉඩෙන් තමයි වෑන් එක පහුකර යන්න ඕනේ. මම මෙහෙම වෑන් එක පුහුකරනවාත් එක්ක ම, ඒකේ දොර එක පාරට ම ඇරිලා, ශක්තිමත් අත් කීපයකින් මාව ඇතුළට දාගත්තා. ඒ එක්ක ම වෑන්එක යන්න පටන් ගත්තා.“

එල්ල වී තිබුණු තර්ජන හමුවේ පෝද්දල සිය නිවස අත්හැර ඒ වනවිට නුගේගොඩ ඇඹුල්දෙණියේ ආරක්ෂිිත නිවෙසක පදිංචිව සිටියේ, දෙස් විදෙස් මාධ්‍ය හා මානව හිමිකම් සංවිධානයන් ගේ උපදෙස් හා අනුග්‍ර‍ය ඇතිව ය. 2009 වසරේ ජනවාරියේ දී එක ළඟ සිදු වූ‘සිරස‘ රූපවාහිනී නාලිකාවේ ප්‍ර‍ධාන මෙහෙයුම් මැදිරියට ප්‍ර‍හාර එල්ලවීම හා ‘සන්ඩේ ලීඩර්‘ ප්‍රධාන සංස්කාරක ලසන්ත වික්‍රමතුංග මහමග මරාදැමීමත් සමගින් උච්ඡස්ථානයකට පත් භීෂණකාරී වටපිටාව හමුවේ, බොහෝ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ආරක්ෂාව පතා  තාවකාලිකව රටින් පිටුවල් වීමට බල කැරිණි.  ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන් ගේ සංගමයේ එවකට සභාපති සනත් බාලසුරිය හා ලේකම් පෝද්දල  ජයන්ත ද ඒ අනුව තාවකාලිකව ඉන්දියාව බලා පිටත් වූහ. ඔවුන්ට පෙර හා පසු තාවකාලික රැකවරණ පතා ඉන්දියාවට පලාගිය මාධ්‍ය ක්‍රියාකාරීන්  සියලු දෙනා එක කණ්ඩායමක් ලෙස එහි දී ගොනු වූ අතර, මුළු පිරිස අට දෙනෙක් වූහ. තැනින් තැනට මාරු වෙමින් ඉතාමත් දුෂ්කර කොන්දේසි යටතේ සිය පිටුවහල ගෙවා දමන්නට ඔවුන්ට සිදු වී තිබිණි.

poddala jayantha uncoscious

පහර කා සිහිසුන්ව රෝහල්ගත කළ පෝද්දල ජයන්ත

සති තුනක පමණ කාලයක් එම දුෂ්කර ජීවිතය ගතකිරීමෙන් හෙම්බත් වූ පෝද්දල, තමන්ට ආපසු ලංකාවට යන්නට අවශ්‍ය බව කියාසිටියේ ය. එහෙත් ඒ වන විටත් ඉන්දියාවේ ඔහු සමඟ තාවකාලික පිටුවහලේ සිටි ඔහු ගේ මාධ්‍ය  සග‍යෝ ඊට එකහෙළා විරුද්ධ වූහ. ඉන්දියාවට පලාගියායින් පසුව පවා ඔවුන්ට එරෙහි ව ආණ්ඩුවෙන් හා රාජ්‍ය මාධ්‍යවලින් දිගින් දිගට ම එල්ලවන වෛරී ප්‍ර‍හාරයන් අවසන් ව නො තිබූ අතර ඒවා අලුත් වටයකින් වැඩිදියුණු වී තිබිණි. යුද්ධය ගමන්කරමින් තිබූ කුරිරු දිශානතිය මෙන් ම උතුරේ දෙමළ සංහාරයට එරෙහිව දකුණු ඉන්දියාව තුළ ඇති වී තිබූ ප්‍ර‍බල ලංකාණ්ඩු විරෝධී උද්ඝෝෂණයන්ට පවා මෙසේ පිටුවහල් වී සිටින මාධ්‍ය ක්‍රියාකාරීන් සම්බන්ධ කරමින් රටතුළ ගෙනයමින් තිබූ ද්වේශ සහගත ප්‍ර‍චාරයන් ආදිය හමුවේ, ඒ මොහොතේ ආපසු ලංකාවට යාමට කල්පනා කිරීම කිසිසේත් ම නුවනක්කාර තීරණයක් නො වන බව ඔවුහු පෙන්වා දුන්හ. 

ඉන්දියානු පිටුවහලෙන් ආපසු

එහෙත් පෝද්දල ගේ ආපසු ගමන ඔහු ගේ සගයන් ගෙනහැර පෑ එම කරුණු මත වෙනස් නො වුණි. තමන් ගේ ආපසු ගමන සාධාරණීකරණය කරමින් ඔහු කියා සිටියේ, තමන්ට තවදුරටත් මේ තැනින් තැනට යන ජීවිතය ගතකළ නො හැකි බවත්, රැකියා ආයතනයෙන් ලබාගත් නිවාඩු අවසන් වීමත් සමඟින් තමන්ට රැකියාව අහිමිවනු ඇති බවත්, එසේ වුවහොත් තමන් ලබාගෙන තිබෙන නිවාස උකස් ණය ගෙවාගැනීමට නො හැකි වීමෙන් සිය පවුල ම කරදරයේ වැටෙන බවත් ය. කිසිදු මාධ්‍ය ක්‍රියාකාරිත්වයක නිරත නොවී රැකියාවෙන් ද නිවාඩු ගෙන ටික කලක් ගමේ ගොස් සිටින බවට සිය ආපසු ගමනට එරෙහි වූ සගයන් අස්වසන්නට කියාසිටි ඔහු, ඔවුන් ගේ බලවත් විරෝධය මධ්‍යයේ ම 2009 පෙබරවාරි 14 වැනිදා යළි ලංකාව බලා පැමිණියේය.

පෝද්දල ජයන්ත රාජකාරි කරමින් සිටියේ ලේක්හවුසියේ ‘සිළුමිණ‘ පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති සංස්කාරකවරයා වශයෙනි. ඉන්දියාවට යාමට පෙර සිට ම ඔහු විසින් ලියන ලද කිසිදු ලිපියක් පළ නොකිරීමේ පිළිවෙතක් එවකට 'සිළුමිණ' ප්‍රධාන සංස්කාරක වූ කරුණාදාස සුරිආරච්චි ගෙන ගියේ ය. ඉන්දියාවේ සිට යළි පැමිණි පෝද්දල ‘සිළුමිණ‘ පුවත්පතෙන් ඉවත් කර ලේක්හවුසිය මගින් පළකරන ළමා පුවත් පත වූ ‘මිහිර‘ට මාරුකර යවන ලද්දේ දේශපාලන පලිගැනීමක් වශයෙනි. ඉන්දියාවට පලායාමට පෙර ඔවුන්ට එරෙහි ව මෙවැනි පලිගැනීමක් සිදුකිරීමට තරම් නිර්භීත භාවයක් ලේක්හවුස් පාලනාධිකාරියට නො තිබූ නමුත්, තාවකාලික පිටුවහලෙන් තනිව ආපසු පැමිණ හුදෙකලා වී සිටි පෝද්දලට එරෙහිව එවැනි පියවරක් ගැනීමට ඔවුහු මැළි නොවූහ.

poddala jayantha protestingදෙමළ ජන සංහාරක යුද්ධයේ අවසන් වකවානුව වූ එකල, පෝද්දල වැඩි අවධානයක් යොමු කරමින් සිටියේ  වෘත්තීය පත්‍රකලාවේදීන් ගේ සංගමයට කාර්යාලීය ගොඩනැගිල්ලක් ඉඳිකිරීමේ කටයුතු කෙරෙහි ය. එහෙත් රාජ්‍ය හා යුදවාදී  පෞද්ගලික මාධ්‍යවලින් පෝද්දලට ගැලවීමක් නොවිණි. විශේෂයෙන් ස්වාධීන රුපාවාහිනියෙන් (ITN) විකාශය වූ, මහින්ද අබේසුන්දර සම්පාදනය කළ ‘විමසුම‘ හා ‘විපරම‘ වැනි වැඩසටහන්වල ඉලක්ක බවට ඔහු ඇතුළු මාධ්‍ය හා දේශපාලන ක්‍රියාධරයෝ රැසක් පත්වූහ. ‘දිවයින‘ , ‘ලංකා‘ , ‘මුරගල‘ වැනි මුද්‍රිත මාධ්‍ය ඒ වනවිටත් සුළුතරයක් වී සිටි යුද විරෝධීන්ට දේශද්‍රෝහී ලේබලය අලවා, මරණ වරෙන්තු ලියා අවසන් කොට තිබිණි.

ද්වේශ සහගත ප්‍ර‍චාර අලුත්වෙයි

මෙවැනි බිහිසුණු  වට පිටාවක් තුළ, පෝද්දල ඉලක්ක කරගනිමින් රාජ්‍ය  මාධ්‍ය හා අනෙකුත් යුදවාදී මාධ්‍ය ගෙනගිය වෛරී සහගත ප්‍ර‍චාරයන් හමුවේ ඔහුගේ දියණියට පාසැල් යාමට පවා නො හැකි තත්ත්වයක් උදා වී තිබිණි. මේ සම්බන්ධයෙන් පෝද්දල, එවකට රාජක්ෂ රෙජීමයේ හිතෛශිවන්තයෙකු වූ, එවකට ‘රාවය‘ පුවත්පතේ ප්‍රධාන සංස්කාරකවරයා වූ වික්ටර් අයිවන් දැනුවත් කෙළේ ය. එහි ප්‍ර‍තිඵලයක් වශයෙන් මේ පිළිබඳ කතාබහ කිරීමට ජනාධිපතිවරයා විසින් මාධ්‍ය  සංවිධාන ප්‍රධානීන්ට අරලියගහ මන්දිරයට ඇරැයුම් කරනු ලැබ තිබිණි. මේ සාකච්ඡාවට පෝද්දල ද සහභාගී විය යුතු බව ඇතැම් මාධ්‍ය සංවිධාන ප්‍ර‍‍ධානීන් ගේ අදහස විය. ඔවුන් පෙන්වා දුන්නේ, එසේ සහභාගී වීම මඟින්ම ඔහු ගේ ආරක්ෂාව යම් තරමකට තහවුරු කරගැනීමේ අවකාශයක් විවර වන බව ය. එහෙත් තමන් ඊට සහභාගී වීම උචිත නො වන බව සාකච්ඡාව ලබාගැනීමට මුල් වූ වික්ටර් අයිවන්ගේ උපදෙස වීය යි කී පෝද්දල ඊට සහභාගී නොවී නිවස බලා ගිය අතර, ඔහු පැහැරගැනීමට ලක්වූයේ අරලියගහ මන්දිරයේ එම කතාබහ පැවැත්වෙමින් තිබිය දී ය. ඒ වන විට ඔහු ඉන්දියාවේ සිට ආපසු පැමිණ මාස තුනක කාලයක් ගෙවී ගොසිනි.

“ඔවුන් ඉතා හොඳින් පුහුණු කළ  ඝාතක කණ්ඩායමක්. මේ වෑන් එකේ ඇතුළ ජංගම වධකාගාරයක් වගේ, මගේ අත් දෙක පටියකින් බැන්දා. පස්සේ ඇස් දෙකත් බැන්දා. සීට් ගලවලා තිබුණේ. ඒකේ මැද මාව පෙරලාගෙන දිගට ම ගහන්න පටන් ගත්තා. මගේ රැවුලයි, කොන්ඩයයි කපලා කටේ එබුවා. පොල්ලකින් ගහලා අත්වල ඇඟිලි තැලුවා. ‘උඹ  මේවායෙන්නේ ලියන්නේ‘ කියලා තමයි ඇඟිලි තැලුවේ. කකුල් දෙකට ම පොල්ලකින් ගැහුවා. ‘තෝ  ඔය  සංගම් වැඩ නතර කරලා කට වහගෙන හිටපන් මරුම් නොකා,‘ කියලා උන් මට කිව්වා. ඒ එක්කම වගේ මගේ වම් කකුල කොටයක් උඩ තියලා පොල්ලකින් ගැහුවා. මම වේදනාවෙන් මොර දුන්නා, උන් ගහපු පාරට මගේ කකුල වළලුකරෙන් වෙන්වෙලා. උන් මාව උස්සලා අරගෙන, දෙපැත්තට පද්දලා, පාරේ  අකුලකට විසි කළා, ඒ එක්ක ම  මට සිහි නැති වුණා.“

පෝද්දල මෙසේ විසිකර දමා ගොස් තිබුණේ අංගොඩ IDH පාරේ ලඳු කැලෑ සහිත පෙදෙසකට ය. එම මාර්ගයේ නිතර වාහන ධාවනය නො වන මුත්, ටික වේලාවකින් පැමිණි ත්‍රීරෝද රථයක රියදුරාට කිසියම් මිනිසෙකු පාර අද්දර වැටී සිටිනු දක්නට ලැබිණි. ඔහු සිය ත්‍රීරෝද රථ නැවතුමේ සගයන් ද සමග ආපසු පැමිණ විපරම් කර බලන්නට විය. “ඒ වෙනකොට මගේ කටේ ඔබලා තිබුණ කෙස් කොට උගුරේ හිර වෙලා මට පැහැදිලිව කතා කර ගන්නත් බැහැ. මගේ කොන්ඩේ  රැවුල කපලා හින්දා කාටවත් එකවර මාව හඳුනා ගන්නත් බැහැ. කොහොම නමුත් එතන සිටි එක් අයෙක් මාව හදුනා ගත්තා. මාව බැඳලා තිබුණු බැමි ලිහාදාලා , ඔවුන් මාව කොළඹ ජාතික රෝහලට රැගෙන ආවා.“

තොරතුරු දුන්නවුන් පසුපස පොලීසිය

මේ අතර පෝද්දල සුදුවෑන් රථයකින් පැහැර ගෙන ගිය බව මාධ්‍ය වෙත  අනාවරණය විය. පෝද්දල පැහැරගන්නවා දුටු ඇඹුල්දෙණිය හන්දියේ  සිටි අයකු  විසින්, ඒ පිළිබඳ සිය මිතුරකු වූ ‘ලක්බිම‘ පුවත්පතේ ජායාරූප මාධ්‍යවේදී සජීව චින්තක කහඳගමගේ වෙත දැනුම් දෙනු ලැබී ය. සජීව චින්තක ද ඒ වන විටත් නාවික හමුදා සෙබළුන්ගේ ප්‍රහාරයකට ලක්ව, පැවැති භීෂණකාරිත්වය පිළිබඳව අත්දැකීමක් හා අවබෝධයක් ඇතිව සිටි අයෙකි. ඔහු යුහුසුළුව මේ පුවත සිය ප්‍රධානියා වූ සම්පත් දේශප්‍රිය වෙත සැල කර සිටියේ, හැකි ඉක්මන් පියවරක් ගන්නා ලෙස ඉල්ලමිනි. සම්පත් ඒ බව 'ලංකා ඊ නිවුස්‘  ප්‍රධාන සංස්කාරක සඳරුවන් සේනාධීරට ද දැන්වීය. එවකට ‘ලංකා ඊ නිවුස්‘ හි ප්‍රවෘත්ති සංස්කාරක බෙනට් රූපසිංහ විසින් වහාම පෝද්දල ගේ බිරිඳ අමතමින් කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් වහා ම පොලිසිය වෙත පැමිණිල්ලක් කරන ලෙස ය. ඊට අමතරව, අදාළ සියලු පාර්ශවන්ගෙන් මේ පැහැරගැනීම පිළිබඳ වීමසීමට ඔවුහු කටයුතු කළහ. ජනාධිපති රාජපක්ෂ සමඟ සාකච්ජාවේ සිටි මාධ්‍ය සංවිධාන නියෝජිතයන් ද සිද්ධිය සම්බන්ධයෙන් වහා දැනුවත් කැරිණි.

පැහැර ගැනීම ගැන පැමිණිලි කිරීමට 'රාවය' පුවත්පතේ වත්මන් ප්‍රධාන කර්තෘ නීතීඥ කේ ඩබ්ලිව් ජනරංජන හා මාධ්‍යවේදී ජයසිරි ජයසේකර සමඟ මිරිහාන පොලිසියට ගිය පෝද්දල ගේ බිරියගෙන් පොලීසිය විමසා සිටියේ පෝද්දල පැහැර ගත් බවට තොරතුරු සැපයුයේ කවුද යන්න යි. ඒ අනුව පොලිසිය පරීක්ෂණ පැවැත්වුයේ පැහැර ගත් පිරිස ගැන නොව, පැහැර ගත් බවට තොරතුරු ලබාදුන් අය සම්බන්ධයෙනි. ඒ අනුව ලංකා ඊ නිවුස් හි සඳරුවන් සේනාධීර හා බෙනට් රූපසිංහ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කැරිණි.

Poddala Hospitalizeකොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කරන ලද පෝද්දල ජයන්තට, එහි දින 29 ක් පුරා නේවාසික ව ප්‍රතිකාර ගන්නටත්, සැත්කම්වලට භාජනය වන්නටත් සිදුවිණ.  “ඒ ගත වුණු දින 29 ම රෝහලේ ඇඳේ ම තමයි හිටියේ. රෝහලෙන් ගෙදර ගිහින් මාස හයක් විතර හිටියෙත් ඇඳේම යි. පස්සේ අවුරුද්දක කාලයක් ඇවිද්දේ කිහිලිකරුවල ආධාරයෙන්. පඩි පෙළක් නැගගන්න බැහැ. හරියකට ටික වෙලාවක් කෙලින් හිටගෙන ඉන්න බැහැ. ඒ දැනුණු මරණ බිය තවමත් මට  තිගැස්මක් ඇති කරනවා. ඒ මදිවට කඩපු කකුල සම්බන්ධ කරලා ඇතුළට දාල තියෙන යකඩ පතුරුවලට ශීත කාලයේ දරුණු සීතල කාවැදුණාම, ඒ වේදනාව දරා ගන්නම බැරි තරම්,“ සරණාගතයෙකු ලෙස ඇමරිකාවට පලා යන්නට සිදු වූ පෝද්දල කියයි.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍ර‍ධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි පවසන ආකාරයට ඔහුත්, පෝද්දලත්, එවකට ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදිනියක හා මාධ්‍ය සංගම් ක්‍රියාකාරිණියක වූ රෙසෑන් තෙරේස් කූල්මෙයර් ද සමඟින් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ එවකට දෙවැනි ලේකම් ලෙස කටයුතු කළ ජෙෆ් ඇන්ඩර්සන් හමුවී ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට දිගින් දිගට ම එල්ල වෙමින් පැවැති තර්ජන පිළිබඳ දැනුවත් කර තිබේ.

මැරයන්ට අභියෝගයක්

වැඩිදුර ප්‍රතිකාර ගැනීමේ පහසුව සඳහා  කොළඹ නගරය ආසන්නයේ නිවසක් කුළියට ගැනීමට පෝද්දල  ඇතුළු ඔහුගේ සමීපතමයන් දැරූ ප්‍රයත්නය සාර්ථක නොවිණි. ඇතැම් නිවෙස්වලට අත්තිකාරම් මුදල් පවා ගෙවා, පදිංචියට යාමට සුදානම් වෙද්දී, නිවෙස කුලියට ගෙන ඇත්තේ පෝද්දලට බව දැනගත් පසු, ගනු දෙනුව කළ නොහැකි බව කියමින් ගෙවල් හිමියන් අත්තිකාරම් මුදල් ද ආපසු දුන් වාර බොහෝ විය. යුද ජයග්‍රහණයේ රණකාමය දොගොඩ තලා ගිය ඒ වකවානුවේ දී, කොලඹ පදිංචිය අත්හැර දැමු ඔහු, යළිත් කිරිවත්තුඩුවේ සිය නිවෙස වෙත සිය පදිංචිය මාරු කළේය.

පසුව ඔක්තෝම්බර් 14 වැනි දා පැවැති පත්‍රකලාවේදීන් ගේ සංගමයේ නිලවරණයේ දී නිතරඟයෙන් එහි සභාපතිධුරයට පත්වූ පෝද්දල, කිහිලිකරුවල ආධාරයෙන් ඇවිද ගොස් අඩක් නිම කර තිබු  සංගම් ගොඩනැගිල්ල නිමවා, එය විවෘත කරමින් තමන් ආබාධිතයකු කළ සහාසිකයන්ට අභියෝග කළේය.

යළිත් පෝද්දල වෙත මරණීය තර්ජන එල්ලවන්නට වූයේ ඉන් පසුව ය. ඒ නිර්නාමික දුරකතන ඇමතුම් මගිනි.

“යුද්ධය අවසාන වීමෙන් පස්සේ, ඒ වෙනකොට ආණ්ඩුවත් එක්ක විරසක වෙලා හිටපු  ‘ලංකා‘ පත්තරේ සංස්කාරක චන්දන සිරිමල්වත්ත හෝමාගම පැත්තේ පිට්ටනියක ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්දැද්දී,  TID එකෙන් අත් අඩංගුවට ගෙන තිබුණා. පස්සේ වැරදීමකින් කියලා මුදාහැරියා. මේ ගැන මම මාධ්‍යයට කතා කළා.  මං හිතන්නේ ඒක ටිකක් සැර වැඩිවුණා. එකෙන් පස්සේ මට ටෙලිෆෝන්  කෝල්  එන්න ගත්තා ‘කට පියාගෙන නො හිටියොත් මරා දානවා‘ කියලා", පෝද්දල ආවර්ජනය කරයි.

යළිත් පිටුවහලට පලා යනු හැරෙන්නට විකල්පයක් ඉතිරිව නැති බව පෝද්දල වටහාගත්තේ වැඩිවන මරණීය තර්ජන හේතුවෙනි. ට්‍රාන්ස්පෙරන්සි ආයතනයේ එවකට විධායක අධ්‍යක්ෂ ජේ සී වැලිඅමුණගේ මැදිහත් වීමෙන්, කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ  අනුග්‍රහයෙන්,  2009 දෙසැම්බර් 02 වැනිදා පෝද්දල ජයන්ත සිය පවුල සමගින් රටින් පිටුවහල් වන්නට තීරණය කළේ ඒ අනුව ය.

අපරාධ යුක්තිය?

පෝද්දල පැහැරගෙන යාමත්, මෙම ලිපි පෙළ මගින් මේ දක්වා යළිත් පෙළගස්වන ලද අනෙක් මාධ්‍යකරුවන්ගේ ඉරණමත් විසින් පෙන්නුම් කරන් ලද්දේ රාජපක්ෂ පාලන සමයේ පවත්වාගෙන යනු ලැබූ දුර්දාන්ත මර්දනකාරී පිළිවෙත ය. රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් මරා දමන සමයේ රාජ්‍ය සංහාරක පිළිවෙතේ ගොදුර සිංහලයන් වූ නිසා ඊට එරෙහිව පැතිරුණු විරෝධයක් දක්නට ලැබිණ. නමුත් දුසිම් ගණන් මාධ්‍ය සේවකයන් මරා දැමුණාවූ ද, පැහැරගෙන ගොස් වධ හිංසාවන්ට පාත්‍ර කරනු ලැබුණාවූ ද, මාධ්‍ය ආයතන ගිනිබත් කරමින්, බෝම්බ ප්‍රහාර එල්ල කරමින්, මාධ්‍යකරුවන්, හා මාධ්‍ය ආයතන හිමිකරුවන් සිරගත කළා වූද රාජපක්ෂ පාලනයේ සැහැසි පිළිවෙත එරෙහි ඒ හා සමාන පැතිරුණු විරෝධතා මතු නොවූයේ ඒ මර්දනකාරීත්වයේ ප්‍රධාන ගොදුර දෙමළ ජනයා වූ නිසා ය. නමුත් රාජපක්ෂ පාලනයේ මිනීමරු පිළිවෙතින් බැට කන්නේ 'කොටි ආධාරකරුවන්' යැයි විසකුරු වර්ගවාදී ප්‍රබන්ධ පතුරුවන්නට මුල් වූ එ් පාලනයේ අතවැසි ඇතැම් මාධ්‍යකරුවෝ ද අවසානයේ ඒ පිළිවෙතටම ගොදුරු වී පැහැරගෙන යාමටත්, සිරගත කිරීම්වලටත් පාත්‍ර වූහ.

කීත් නොයාර්, නඩරාජා ගුරුබරන්, තිරුචෙල්වම් තිරුකුමාරන්, වෙට්ට්‍රිවේල් ජසීකරන්, වඩිවේල් වලර්මදී, ජේ එස් තිස්සෛනායගම්, නඩේසපිල්ලෛ විතියාදරන් හා පෝද්දල ජයන්ත අයත්වන්නේ ඒ ඝෝර පාලන සමයේ මරණයේ මුවවිටට ගොස් ඒ ගැන ස්වකීය සාක්‍ෂිය ලියා තබන්නට අහඹු ඉඩක් ලද අතළොස්සක් දෙනා අතරට ය. නමුත් බහුතරයක් දෙනා ඒ සාක්‍ෂිය කියන්නට ඉතිරි නොවූහ.

රාජපක්ෂගේ සකළ විධ මර්දනකාරී පිළිවෙත් විසුණු කරම්හයි පාරම් බාමින් බලයට පත් වත්මන් ආණ්ඩුව දැන් සිය පාලනයේ තුන්වැනි සංවත්සරයට ළඟා වෙමින් සිටියි. සිය මරණීය අත්දැකීම කියන්නට ඉතිරිවූවන්ගේ සාක්‍ෂිය නොතකා හැර ඝාතකයන් හා සහවාසය තෝරාගෙන තිබෙන ඒ ආණ්ඩුව, සාක්‍ෂියක් කියන්නට ඉතිරි නොවූවන්ගේ ඉරණම සම්බන්ධයෙන් ඉටුකරන්නේ යැයි කියන යුක්තිය ගැන කවර නම් කතාද?

අතුල විතානගේ


© JDS

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top