Jul 11, 2017

ළමා විවාහ නිසා 'ඩොලර් ට්‍රිලියන ගණනක පාඩුවක්'

ලොව පුරා බොහෝ රටවල තවමත් ක්‍රියාත්මක වන ළමා විවාහ හේතුවෙන් ඉදිරි දශකයක පමණ කාලය ඇතුළත ලෝකයට ඩොලර් කෝටි ලක්ෂ ගණනක (ඩොලර් ට්‍රිලියන ගණනක) මූල්‍ය හානියක් සිදු වනු ඇති බව අලුත්ම පර්යේෂණ වාර්තාවකින් හෙළිදරව් වේ.

දරුවන් විවාහ කරදීමේ සම්ප්‍රදායට නැවතීමේ තිත තැබීම මගින් දැරියන් සහ ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය, කාන්තාවන්ගේ ආදායම සහ පවුලේ සුභසාධනය කෙරෙහි ද ප්‍රබල සාධනීය බලපෑමක් ඇති කෙරෙන බවත් ලෝක බැංකුව (World Bank)
 සහ කාන්තාවන් සම්බන්ධ පර්යේෂණ මධ්‍යස්ථානය (Centre for Research on Women- ICRW) විසින් පවත්වන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

ළමා විවාහ හේතුවෙන් ගෝලීය වශයෙන් එල්ලවන මූල්‍ය බලපෑම සහ ළමා විවාහ නැවතීම මගින් ලැබෙන වාසි සම්බන්ධ පළමු පූර්ණ තකසේරුව මෙය බව Girls Not Brides සංවිධානය සඳහන් කරයි.

e599dc5a5b28beed97055e8f78eb70ce

ලෝක බැංකු වාර්තාව සඳහන් කරන අන්දමට ලෝකයේ ළමා විවාහ වැඩියෙන්ම සිදුවන රටවල් 20 අතර ආසියානු කලාපීය රටවල් තුනක් වන බංග්ලාදේශය,ඉන්දියාව සහ නේපාලය ද එක්වේ.

ශ්‍රී ලංකාවේ ළමා විවාහ එතරම් ප්‍රචලිතව නැතත්, මුස්ලිම් ජනතාවට පමණක් බලපැවැත්වෙන මුස්ලිම් විවාහ සහ දිකක්සාද පනත හේතුවෙන් ඇතැම් මුස්ලිම් දැරියන් මුහුණ දෙන ශෝචනීය ඉරණම පිළිබඳව පවත්වන ලද විශේෂ ගවේෂණයක වාර්තාවක්
බීබීසී සිංහල සේවය පසුගියදා ප්‍රකාශයට පත් කළේය.

මුස්ලිම් ජනතාව සඳහාත් විවාහවීමේ වයස අවුරුදු 18 දක්වා ඉහළ නැංවිය යුතු බව මුස්ලිම් ක්‍රියාකාරිනියන් පවසන නමුත් තව්හීඩ් ජමාත් වැනි ඇතැම් සංවිධාන එයට දැඩි විරෝධය පළකරති.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පමණක් මුස්ලිම් ජනතාව අතර ළමා විවාහ වසරක් ඇතුළත 14% සිට 22% දක්වා ඉහල ගොස් ඇති බව ද එමගින් හෙළිදරවු කෙරිණි.

ලෝක බැංකුවේ පර්යේෂණය හෙළි කරන පරිදි ජනගහන වර්ධනය, දරු උපත් සඵලතාව, පවුලේ ආදායම සහ ළමා සෞඛ්‍යය සම්බන්ධයෙන් සලකා බැලීමේදී 2030 වනවිට තුන්වෙනි ලෝකයේ රටවලට එමගින් සිදුවන මූලය හානිය ඩොලර් ට්‍රිලියන
 සංඛ්‍යාවක් විය හැකිය.

බාල වියේ දී (වයස අවුරුදු 18 ට අඩු) දරුවන් බිහිකරන ලොව පුරා සෑම දැරියන් සිව්දෙනෙකුගෙන් තිදෙනෙකුම එසේ බාල වියේ දී මව් පදවියට පත්වන්නේ ළමා විවාහයක ප්‍රතිඵලයක් ලෙසින් බව (84.4% ක්) පර්යේෂණ වාර්තාවෙන් හෙළි වේ.

ළමා මවක බවට පත්වීම මගින් එම දැරියට ද්විතීයික අධ්‍යාපනය ලැබීමේ අවස්තාව අහිමිවන අතර, එමගින් ඇයට ඉහල ආදයමක් ලබන රැකියාවක නිරතවීමේ අවස්ථාව 9% කින් අවප්‍රමාණ වන බව ද වාර්තාවේ සඳහන් වේ.

මේ සියල්ල සලකා බලන විට සමස්තයක් වශයෙන් ළමා විවාහ මගින් සමස්ත රටක ඉදිරි ගමනට බාධා කරන බව ලෝක බැංකුව සහ කාන්තාවන් සම්බන්ධ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් පවත්වන ලද සමීක්ෂණයේ නිගමනය වී තිබේ.

 

37550403 303

ලෝක බැංකු සමීක්ෂණය පෙන්වා දෙන පරිදි, කිසියම් ලෙසකින් මේ වසර තුළ ළමා විවාහ නැවතිය හැකි නම් එමගින් ලෝක ආර්ථිකයට ඩොලර් බිලියන 566 ක වාසියක් සිදු විය හැකිය.

බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනම ඇතුළු සංවිධාන කිහිපයක් මෙම පර්ය්ෂණය සඳහා මූල්‍ය දායකත්වය සපයා තිබේ.

දැරියක ද්විතීයික අධ්‍යාපනය හදාරන සෑම අතිරේක වසරක් පාසාම ඇය ළමා විවාහයකට ගොදුරු කරනු ලැබීමේ අවදානම අඩු කෙරෙන බව ද වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.


බී.බී. සී සිංහල පුවත් ඇසුරිණි


Virus-free. www.avast.com

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top