Nov 13, 2016

බිඳුණුවැව මාධ්‍ය ආඛ්‍යානය: 'උන්ගේ මාළු අපේ බල්ලන්ට'

දහසය වසරකට පෙර, 2000 ඔක්තෝබර් 25වැනිදා, බණ්ඩාරවෙල නගර ප්‍රත්‍යන්තයේ බිඳුණුවැව පවත්වාගෙන යනු ලැබූ පුනරුත්ථාපන රැඳවුම් මධ්‍යස්ථානයකට පහර දුන් ගම්වාසීහු ද, පිටස්තර මැරයෝද නිරායුධ දෙමළ රැඳවුම්කරුවන් 28 දෙනෙකු කපා කොටා පුළුස්සා මරා දැමූහ. තවත් 14 දෙනකුට බරපතල තුවාල සිදුකළ  ප්‍රහාරය වැලැක්වීමට කටයුතු කරනු වෙනුවට රැකවල් ලා සිටි පොලිස් නිලධරයෝ මැරයන්ට විවෘත අනුබල සැපයූහ.

  ඔක්තෝබර් 27වැනිදා සමූහ ඝාතනය සිදු වූ ස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණු රජයේ මානව හිමිකම් කොමිෂන් සභාවේ නියෝජිතයෝ 'රාජකාරිය ඉටු නොකිරීමේ' සරල චෝදනාවට සීමාකොට පොලිසිය ගළවා ගැනීමේ පළමු පියවර තැබුවෝය. ඉන් සති කිහිපයක් ඇතුළත ප්‍රහාරය පිළිබඳ අධිකරණ කටයුතු පටන්ගන්නා විට සැකකරුවෝ 44 දෙනෙක් විත්තිය වශයෙන් නම්කර තිබිණ. ඉන් 19 දෙනෙක් පොලිස් නිලධාරින් ය.

2002 මාර්තු 25 වැනිදා චූදිතයන්ට එරෙහිව අයුතු ජනරාශිය ඇතුළු චෝදනා 83ක් ගොණු කරනු ලැබුණු අතර, 2002 ජූලි මාසයේදී නඩු විභාගය ආරම්භ විය. කොලඹ මහාධිකරණය හමුවේ වසරක් තිස්සේ ඇදී ගිය නඩු විභාගය අවසානයේ, 2003 ජූලි 01 වැනිදා පොලිස් නිලධාරීන් වූ සේනක ජයම්පති කරුණාරත්න හා ටිරෝන් රොජර් රත්නායක යන අය සහ සිවිල් වැසියන් වූ සේපාල දිසානායක, එම් ඒ සැමී හා රත්නායක මුදියන්සේලාගේ ප්‍රේමානන්ද යන අය වරදකරුවන් බවට නිගමනය කළ සරත් අඹේපිටිය, එරික් බස්නායක හා උපාලි අබේරත්න යන විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත තිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ඔවුනට මරණ දණ්ඩනය නියම කරන ලදී. හඬා වැළපෙමින් අධිකරණ බිමෙන් පිටවන පොලිස් නිලධාරීන්ගේ සේයා රූ මුල් පිටුවේම පළ කළ කොළඹ පුවත්පත්, බහුජන ආවේගයන් අවුළුවාලන අනුවේදනීය සටහන් ද ඒ සමග පළකළහ. 

නිරායුධ දෙමළ රැඳවුම්කරුවන් 28 දෙනෙක් සමූල ඝාතනය කළ 'වික්‍රමාන්විත චූදිතයන් බේරාගනු පිණිස සිහළ උරුමය සහ සිංහල වීර විදහන විවෘතව මහජන ආධාර වෙනුවෙන් ආයාචනා කර සිටි අතර තින්දුවට එරෙහිව 2004 ජූනි මාසයේ දීඅභියාචනයක් ඉදිරිපත් කෙරුණි. ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් වන ටී බී වීරසූරිය, නිහාල් ජයසිංහ, එන් කේ උදලාගම, එන් ඊ දිසානායක හා රාජා ප්‍රනාන්දුගෙන් සැදුම්ලත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ වසරකට ආසන්න කාලයක් දිග්ගැසුණු නඩු විභාගය නිමා කරමින් 2005 මැයි 27වැනිදා තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. ඒ අනුව මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර සිටි චූදිත සියල්ලන් නිදොස් කොට නිදහස් කරන්නට ‍ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒකමතිකව තීරණය කරන ලදී. 

නමුත් මෙහි පළ කෙරෙන පර්යේෂණාත්මක ලිපිය මගින් විමසා බැලෙන්නේ එකී අධිකරණ ක්‍රියාමාර්ගය නොවේ. බිඳුණුවැව ප්‍රහාරය පිළිබඳ කොළඹ මාධ්‍ය වාර්තා අධ්‍යයනය කරමින්  සම්පාදනය කරන ලද වැදගත් පර්යේෂණ පත්‍රිකාවක් 2000 දෙසැම්බර් මාසයේදී පළ කෙරිණ. තිලක් ජයරත්නගේ මූලිකත්වයෙන් ද, සුනිල් විජේසිරිවර්ධන හා ශ්‍යාමා ජයවර්ධනගේ දායකත්වයෙන් ද සම්පාදනය කොට, මාධ්‍ය අධ්‍යයන කවය මගින් ප්‍රකාශයට පත්කළ මෙකී පත්‍රිකාව පසුව සමාජ විද්‍යාඥයන්ගේ සංගමය විසින් පළ කෙරෙන 'ප්‍රවාද' වාරිකයේ ද පළ කෙරුණි. බිඳුණුවැව මිනිස් ඝාතනය පිළිබඳ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය වාර්තා පදනම් කොට ගෙන සිදුකළ මෙකී අධ්‍යයනය, සිදුවීම් පිළිබඳ මාධ්‍ය විසින් ගොඩනංවන ආඛ්‍යානයන් පිළිබඳ මෙතෙක් සිංහල බසින් පළ කර ඇති වැදගත්ම සංයුක්ත විශ්ලේෂණය සේ සැළකිය හැක. 

සංස්කාරක මණ්ඩලය


බිඳුණුවැව සිදුවූ මිනිස් ඝාතනය පිළිබඳව සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් අනාවරණය විමසා බැලීම මෙම ලේඛණයේ  අරමුණයි. 2000 වසර ඔක්තෝම්බර් මස 25 දින ලාංකියයන් අතර නිවාඩු තිප්පොළක් වශයෙන් ප්‍රකට බණ්ඩාරවෙල පුරය ආශ්‍රිතව පිහිටි බිඳුණුවැව කඳවුරේදී මෙම මිනිස් ඝාතනය සිදුවිය.

මෙම සිධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් ඇතුළු සෑහෙන පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන ඇති අතර තවමත් පරීක්ෂණ සිදුවෙමින් පවතී. කඳවුර භාරව සිටි කපිතාන් යටිවැල්ල කෝරාළලාගේ අබේරත්න මහතා ද අත්අඩංගුවට ගෙන රහස් පොලිසිය විසින් සුප්‍රසිද්ධ හතර වැනි තට්ටුවේ රඳවාගෙන සිටින අතර, තමා අත් අඩංගුවට ගැනීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් කපිතාන් අබේරත්න බණ්ඩා මහතා පවසයි.

අබේරත්න බණ්ඩා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු සහ මානව හිමිකම් කොමිසමේ අතුරු වාර්තාව අනුව අඛ්‍යානය මෙසේ ය.

“ මම බණ්ඩාරවෙල බිඳුණුවැව කඳවුර භාර නිලධාරියායි. යුද හමුදා නිලධාරියෙකු වුවත් මම නිල ඇඳුම් අඳින්නේ නැහැ. සේවය කරන්නේ සිවිල් සේවකයෙකු ලෙසයි. අවි අතට ගන්නේ නැහැ. බිඳුණුවැව කඳවුර පුනරුත්ථාපන කඳවුරක්. පුනරුත්ථාපන අමාත්‍යංශයට අයත්ව තිබු එය පසුව ජාතික තරුණ සේවා සභාවට අනුයුක්ත කළා. මෙම කඳවුරේ සිටින්නේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වූ අය. ඔවුන් පුනරුත්ථාපනය කිරීම මෙහිදී සිදු වෙනවා. මා දැනට කණ්ඩායම් දහයක් පමණ, එනම් 1700 ක පමණ පිරිසක් පුනරුත්ථාපනය කර තිබෙනවා.” (ලක්බිම, 2000.11 .28  -අබේරත්න බණ්ඩා මුලික අයිතිවාසිකම් පෙත්සම)

“පොලිස් අධිකාරීන් සහ කඳවුර භාර නිලධාරි සපයන ලද තොරතුරු අනුව ඔක්තෝබර් 24 දින සවස 6.00 ට පමණ සුපුරුදු පරිදි මධ්‍යස්ථානයේ රැස්වීමක් පවත්වා ඇත. සමහර රැඳවියන් තමන් නිදහස් කිරීම අනවශ්‍ය ලෙස ප්‍රමාද කරන්නේ යැයි විරෝධය පල කොට තමන් වහාම නිදහස් කරන ලෙස එහිදී ඉල්ලා ඇත. රැඳවියෝ පිරිසක් ස්ථානභාර නිලධාරි වටලා ගත්හ. පොලිස් නිලධාරියෙකු අහසට වෙඩි තැබීම නිසා රැඳවියන් වඩාත් ප්‍රචණ්ඩ වී තිබේ. ඔවුහු බලහත්කාරයෙන් ගබඩා කාමරයකට ඇතුළු වී යකඩ පොළු සහ වෙනත් ආයුධවලින් පහර දී ගොඩනැගිල්ලට  අලාභ හානි සිදු කළහ. පොලිස් මුරපොළට ඇතුළු වී ලිපි ලේඛණ ගිණි තැබීමට තැත් කළ ද සාර්ථක වී නැත. පොලිස් නිලධාරීහු හා උප ස්ථාන භාර නිලධාරි තම ජීවිතවලට හානි වෙතැයි බියෙන් පලා ගොස් ඇත.

මධ්‍යස්ථානයේ කලබලයක් පවතින බවත් රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ගෙන් ගිනි අවි උදුරා ගැනීමට රැඳවියන් උත්සහා කළ බවත්, දුරකථන මගින් දැනගත් බණ්ඩාරවෙල මුලස්ථාන පොලිස් පරීක්ෂක ජයන්ත සෙනෙවිරත්න මහතා T-56 ගිනි අවි රැගත් පොලිස් භටයන් 10 දෙනෙකු සමග මධ්‍යස්ථානයට රාත්‍රී 8ට පමණ ගොස් ඇත. රැඳවුම්කරුවෝ පොලිස් පරීක්ෂකවරයාට පමණක් ආයුධ රහිතව කඳවුර ඇතුළට ඒමට ඉඩ දුන්හ. සාකච්ඡාවෙන් පසු පොලිස් මුරපොළ ඉවත් කර ගැනීමට පොලිස් ස්ථානාධිපතිවරයා යෝජනා කළ අතර, කපිතාන් අබේරත්න මහතා එයට එකඟ වී ඇත. මේ වන විට දියතලාව හමුදා කඳවුරේ සිට භට කණ්ඩායමක්ද කඳවුර අසලට පැමිණියහ.

මේ අතර තුර ගම්මුන් යැයි හැඳින්වෙන 200 – 300 පමණ පිරිසක් අවට රැස්ව කෑගසමින් සිටියහ.මේ පිරිස් දුටු මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කුමන පියවරක් ගත යුතු දැයි කපිතාන් අබේරත්නගෙන් විමසා ඇත. කඳවුර ඇතුළත තමාට බලා ගත හැකි බවත්, පිටතින් මධ්‍යස්ථානයට ඇතුල්වීම වැලැක්වීමට පොලිසිය ක්‍රියා කළ යුතු බවත් කපිතාන් අබේරත්න පැවසුවේය.

ඉන්පසු පොලිසිය සහ හමුදාව ගම්මුන්ට විසිර යන ලෙස පවසා ඇති අතර පොලිස් පරීක්ෂකවරයා රාත්‍රී 10.30 ට පමණ එම ස්ථානයෙන් පිටත්ව ගියේය. පොලිස් භට පිරිස පොලිස් පරීක්ෂක කරුණාසේන හා ජයරත්නගේ පාලනය යටතේ රැඳී සිටි අතර හමුදා කණ්ඩායම කපිතාන් බාලසුරියගේ අණ යටතේ  වුහ. රාත්‍රී 11.30 වන විට සාමන්‍ය තත්ත්වයක් ඇතිවූ බව පෙනේ. හමුදා භට පිරිස් රාත්‍රී 1.15 ට පමණ පොලිස් පරීක්ෂක කරුනාසේනට පවසා පිටව ගිය බව අණදෙන නිලධාරිවරයා පැවසීය.” (මානව හිමිකම් කොමිසම් වාර්තාව -  ලංකාදීප 2000 -12 -05 )

“පසු දින, එනම් 25 ද උදේ කඳවුරේ තාප්පවල හා බිත්තිවල පෝස්ටර් ගසා ඇති බව කඳවුරේ උපදේශකයන් දෙදෙනෙකු මට දැනුම් දුන්නා. එමෙන්ම බණ්ඩාරවෙල නගරයේ තාප්පවලත් පෝස්ටර් අලව තිබෙන බවත් ඔවුන් සඳහන් කළා. කඳවුර වටා ගම්වැසියන් 700 ක් පමණ පිරිසක් රැස්ව සිටියා. ඔවුන් කෑකෝ ගසමින් සිටියා. මා LTTEත්‍රස්තවාදීන්ට උදව් කරන බව සඳහන් කරමින් ඔවුන් කෑ ගැසුවා. මේ තත්ත්වය මම පොලිසියට දැනුම් දුන්නා. පෙ.ව. 8.15 ට පමණ වන විට රැස්ව සිටි පිරිස වැඩි වුණා. ඔවුන් කෑකෝ ගසමින් කඳවුරට ගල්වලින් පහර  දුන්නා. ඔවුන් අත පොලු , කඩු , කැති, පොරෝ ආදී ආයුධ තිබුණා. මේ පිරිස කඳවුර දෙසට එන්න උත්සාහ කරන බව මට පෙනුණා.

"ලුතිනන් අබේරත්න සමග මම ඔවුන් දෙසට ගොස් ඇතුළට එන්න එපා යැයි ඔවුන්ට කිව්වා. විනාඩි 15 ක් ගියේ නැහැ, මේ පිරිස් කඳවුර තුළ සිටි මිනිසුන් 24 දෙනෙකු මරා දැම්මා. මියගිය අයගේ මළකඳන්  කඳවුරේ නිදන ශාලාවට විසිකර ගිනි තැබුවා. මාවත් මරා දමන බවට තර්ජනය කළා.” (අබේරත්න බණ්ඩා මුලික අයිතිවාසිකම් පෙත්සම - ලක්බිම 2000-11-28 )

අපි නැවතත් මානව අයිතිවාසිකම් කොමිසමේ වාර්තාව දෙසට හැරෙමු.

“රැදවියන් සිටි ශාලා සම්පුර්නයෙන්ම පාහේ විනාශ කර තිබුණි. අප යන විටද එහි සුන්බුන් අතර මළ සිරුරක් විය. ගොඩනැගිලිවල තත්ත්වයෙන් පෙනීගියේ ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි වන සේ ඒවා විනාශ කිරීම අරමුණ වී ඇති බවයි.

"එදිනම සවස අපි දියතලාව හමුදා රෝහලේ නවතා සිටි රැඳවියන් 10 දෙනාගෙන් 9 දෙනෙකු සමග කතා කළෙමු. තුවාලකරුවන්ගෙන් එක් අයෙකුගේ වයස 11 කි. තවත් අයෙකුගේ වයස 12 කි. අවුරුදු 18 ට වඩා අඩු වයසේ තිදෙනෙක් සිටියහ.

"රැඳවියන් පවසන ආකාරයට 24 දා ඔවුන් කඳවුරේ ස්ථානභාර නිලධාරිවරයාගෙන් ලැබෙන ලියුම් ලබා නොදීම, දුරකථන පණිවිඩ ලබා නොදීම, වසරක් හෝ ඊට වැඩි කලක් රඳවාගෙන සිටීම වැනි කරුණු පිළිබඳව ප්‍රශ්ණ නඟා ඇත. මෙවැනි කරුණු පිළිබඳව තමාට කීමට කිසිත් නැති බවත්, ඉහල අධිකාරියෙන් විමසිය යුතු බවත් ස්ථානභාර නිලධාරි පැවසු අතර රැඳවියන් ඉන් සෑහීමකට පත් නොවී උද්ඝෝෂණය කර ඇත. එහිදී පැවති කලබලකාරී තත්ත්වය නිසා පොලිසිය අහසට වෙඩි තැබුවේය. එහි කලබලකාරී තත්වය වඩාත් උග්‍ර වූ අතර පිරිසක් විදුලි පහන් බිඳ දමා පොලිස් මුරපලට පහර දී ඇත. .... මඳ වෙලාවකට පසුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ගිනි අවි නොමැතිව කඳවුරට ඇතුළු වීමට ඔවුන් ඉඩ දී ඇත. කඳවුර අසලට රැස්වූ ගැමියන් ගල් ගැසූ බවද ඔව්හු සඳහන් කළහ. රාත්‍රී තත්ත්වය පසුව සන්සුන් වූ අතර රැඳවියන් ආපසු ශාලාවට ගොස් නිදාගෙන ඇත.

මරා දැමුණු රැඳවියන් - 2000 ඔක්තෝබර් 26

"පසුදා උදෑසන විශාල පිරිසක් කඳවුර වටා සිටින බව ඔවුනට දැකගත හැකි විය.එම පිරිස කඳවුරට ගල් මුල්වලින් දමා ගැසූ අතර සමහර අය කඩු, පිහි ගෙන සිටියහ. පිරිස අතර ස්ත්‍රීන්ද සිටි බව රැඳවියෝ කීහ.

"තුවාලකරුවන් පවසන අන්දමට ඔවුනට පහර දී ඇත්තේ ශාලාවේ සිටියදී ය. නිදන ශාලාවට ගිනි තබා රැඳවියන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් ගින්නට විසි කර ඇත. පිරිස නැවත්වීමට පොලිසිය කිසිත් නොකළ බව ඔවුහු පැවසුහ. ආරක්ෂාව සඳහා දිව ගිය රැඳවියකුට පොලිසියෙන් වෙඩි තැබූ බව එක් තුවාලකරුවෙකු පැවසීය. තුවාලකරුවෙකුගේ ඇඟිලි දෙකක් වෙඩි පහරක් නිසා ඉවත් කර තිබිණි. සමහර තුවාලකරුවන් පවසන ආකාරයට ඇතැම් රැඳවියන් ආරක්ෂාව පතා පොලිස් ට්‍රක් රථය තුළ සැඟවීමට උත්සාහ කළ විට හමුදා පිරිස් ගොස් ඔවුනට පහර දී ඇත. පොලිස් නිලධාරීන්ට පිරිස් වැළැක්වීමට කිසිත් කරගත හැකි වුයේ නැත.

"අපට ලැබී ඇති සියලු විස්තරවලින් පෙනී යන්නේ සිද්ධිය වන විට එහි සිටි පොලිස් නිලධාරින් 60 ක් පමණ දෙනා ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීම සඳහා ඉදිරිපත් නොවීමෙන් සිය රාජකාරි පැහැර හැරීමට  වැරදිකරුවන් විය යුතු බව ය..... රැස්ව සිටි පිරිස අත ගිනි අවි තිබී නොමැත. හොඳින් සන්නද්ධව සිටි පොලිසියට පිරිස පාලනය කිරීමට පමණක් නොව, පිරිස මෙහෙය වූ අය අත්අඩංගුවට  ගැනීමට හැකියාවක් තිබිණි.” (මානව හිමිකම් කොමිසම් වාර්තාව - ලංකාදීප 2000 -12 -05 )

ඉහත අප උපුටා දක්වා ඇත්තේ පුනරුත්ථාපන කඳවුර භාරව සිටි කපිතාන්වරයා, දිවි ගලවාගත් සමහර රැඳවියන්, සහ මානව හිමිකම් කොමිසම සඳහන් කර ඇති කාරණා සමහරකි. බිඳුණුවැව සිද්ධිය පිලිබඳ නිවැරදි තොරතුරු තවමත් සම්පුර්ණ වශයෙන් හෙළිදරව් වී නොමැති අතර, ඉහත සඳහන් කරුණු මත කිසියම් චිත්‍රයක් මවා ගැනීමට හැකියාවක් ඇත.

බිඳුණුවැව පුනරුත්ථාපන කඳවුරේ රඳවාගෙන සිටි ඇතැමෙක්, “ත්‍රස්තවාදීන්” ලෙස සැකපිට අත්අඩංගුවට ගත් අය වෙති. සමහරෙක් LTTE සංවිධානය අත්හැර රජයට භාර වුවෝය. තව කොටසක් පැහැදිලි හේතුවක් නොමැතිව රඳවාගෙන සිටි දෙමළ අයයි. සියල්ලන්ම පාහේ දෙමළ ජාතිකයන් ය. සිද්ධිය වූ දින 41 දෙනෙකු සිටි අතර ඉන් 27දෙනෙකු ඝාතනයට ලක්වී ඇත.

ඉහත දැක්වූ උපුටන අනුව මානව හිමිකම් කොමිසම සෘජුව පොලිසිය වෙත ඇඟිල්ල යොමු කරන බව පෙනේ. බණ්ඩාරවෙලට ගොස් මෙම කරුණු සොයා බලා වාර්තා කළ පිරිස ෆායිස් මුස්තාපා, සරත් කුරේ, මනෝරි මුත්තෙටුවේගම හා එස්.සෙල්වරාජන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වුහ.

ඔවුන්ගේ වාර්තාව නැවතත් උපුටා දක්වමු.

“අපට ලැබී ඇති සියලු විස්තර වලින් පෙනී යන්නේ සිද්ධිය වනවිට එහි සිටි පොලිස් නිලධාරින් 60 දෙනා දෙනා ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීම සඳහා ඉදිරිපත් නොවීමෙන් සිය රාජකාරි පැහැර හැරීමට  වැරදිකරුවන් විය යුතු බව ය.”

2000 ඔක්තෝබර් 25 වැනිදා සිදුවූ මෙම ඝාතන ක්‍රියාව 26 දින සියලුම දිනපතා පුවත්පත්වලම පාහේ ප්‍රධාන ශීර්ෂය දිනා ගැනීමට සමත් වී ඇත.

දිනමිණ      -   “බිඳුණුවැව කොටි පුනරුත්ථාපන ගැටුමෙන් 25 ක් මරුට”
ඩේලි නිවුස් -  “රැඳවුම් කඳවුරට කලහකාරීන්ගෙන් එල්ලවූ ප්‍රහාරයෙන් 25 ක් මිය යති”
දිවයින       -   “බිඳුණුවැව ගම හා කොටි ගැටී කොටි 24 දෙනෙක් මරුට”
දි අයිලන්ඩ් -  “කොටි සැකකරුවෝ 25 ක් මරා දමති. 18 ක් තුවාලයි”
ලංකාදීප    -  “බිඳුණුවැව පුනරුත්ථාපන කඳවුරේ ගැටුමකින් 25ක් මිය යති. කොටි සැකකරුවෝ කඳවුර බාර කපිතාන් ප්‍රාණ ඇපයට ගනිති.” 
ලක්බිම    -    “ගම්වැසියන් සමග ගැටී කොටි සැකකරුවන් මැරුම් කති.”

මෙම ශිර්ෂ බහුතරය සහ සමගාමීව ඉදිරිපත් කෙරෙන විස්තර, කරුණු  හරිහැටි සොයා නොබලා වාර්තා කර ඇති බව පෙනෙන්නට තිබේ. එමෙන්ම මේ සිදු කෙරෙන්නේ, තම තමන්ගේ අභිමතය පරිදි වීරයා සහ දුෂ්ඨයා නිර්මාණය කිරීමේ සුපුරුදු ආඛ්‍යානයයි.

මරණ දණ්ඩනය නියම වූ පොලිස් ස්ථානාධිපති සේනක කරුණාරත්න - 2003 ජූලි 01

බිඳුණුවැව සිද්ධීන් පාදක කර ගනිමින්, මුද්‍රිත මාධ්‍ය ගොඩනගන ලද්දා වූ, ආඛ්‍යානය  සොයා බැලීම මෙම සමස්ත සමාජ සංසිද්ධිය තේරුම් ගැනීමට කිසියම් ආලෝකයක් ලබා දේ. සමාජයට අවශ්‍ය තොරතුරු ලබා දී පුද්ගලයන් සක්‍රීය දේශපාලන ක්‍රියාකාරිකයන් බවට පත් කිරීම යන ප්‍රචලිත මාධ්‍ය භූමිකාව, මෙන් නොව සංස්කෘතික අවකාශයේ මාධ්‍ය විසින් නිරුපණය කරන්නාවූ භූමිකාව තේරුම් ගැනීම පහසු නැත. මෙහිදී සිද්ධි සහ එම සිද්ධි මවන්නා වූ ක්‍රියාකාරීන් විවිධාකාරයෙන් නිරුපනය කිරීම නිසා කිසියම් මාධ්‍ය ශෝනරයක් (Genere) බිහිවේ.

හුදෙක් විෂය මුලික ප්‍රවෘත්ති ආවරණය ඇත්තේ කොහිද?

මාධ්‍ය ශෝනරයන් හඳුනා ගත හැකි වන්නේ, හුදෙක් ප්‍රවෘත්ති ආවරණ භූමිකාව පරයා යන සංස්කෘතික නිෂ්පාදන ක්ෂේත්‍රයන්වලදී ය. මෙහිදී මාධ්‍ය විසින් නිර්මාණය කරන්නාවූ චරිත සහ සිද්ධි ධර්මිෂ්ඨ/අධර්මිෂ්ඨ , නිර්මල/දුෂිත, ප්‍රජාතන්ත්‍රවාදී/ප්‍රජාතන්ත්‍ර විරෝධී, සමාජ හිතකාමී/සමාජ විරෝධී වැනි යුගල ප්‍රතිපක්ෂ (binary opposition) ස්වරූප ගනී. සාමාන්‍යයෙන් පිළිගත් තත්ත්වය වන්නේ නිර්මාණාත්මක ව්‍යුහාත්මක ක්ෂේත්‍ර (නවකතා, චිත්‍රපට වැනි) යුගල ප්‍රතිපක්ෂ උපයෝගී කරගනිමින් ප්‍රබන්ධ වුවක් ද? ප්‍රවෘත්ති මාධ්‍යයන්ද මෙම ප්‍රබන්ධ රූපකාර්ථ උපයෝගී කරගනිමින්ම මීට වඩා  කඩිනම් භූමිකාවක්  ක්‍රියාවට නගයි. කිසියම් සිද්ධියක් පිළිබඳව විවිධ පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට අධිපතිත්වයක් ගොඩනගා දීම සඳහා මෙලෙස ප්‍රවෘත්ති මාධ්‍ය ප්‍රබන්ධකරණයට නැඹුරු වෙමින් ජනප්‍රිය ශෝනර සොයා යයි.

බිඳුණුවැව සිද්ධියට පසු දින එනම් 2000 ඔක්තෝබර් 26 දින සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රධාන පුවත්පත් සිරස්තල මුලදී උපුටා දැක්වීමු. සිද්ධිය වාර්තා කිරීමක් නොව, කිසියම් අඛයානයක් ගොඩනැගීමේ ආරම්භයක් අපට එහිදී දැකිය හැකි ය.

“දිනමිණ” පුවත්පතේ ශීර්ෂය සහ එයට අදාළ විස්තරය ඉතාමත් සිත්ගන්නා සුළු ය. වීරයෙක්/දුෂ්ඨයෙක් නිර්මාණය කිරීමට ‘දිනමිණ’ පුවත්පතට අවශ්‍ය ය.

දුෂ්ඨ පක්ෂය = LTTE = රැඳවියන් = ත්‍රස්තවාදීන් = දෙමළ ත්‍රස්තවාදීන්

වීර පක්‍ෂය    = ගම්වැසියන් = බිඳුණුවැව ගම්වැසියන් = සිංහල ගම්වැසියන්

මේ සමගම ඔවුන් ඉදිරියේ බාධකයක් ද දිස් වේ. එනම් මෙම සිද්ධිය ආශ්‍රයෙන් අර්ථකථක අධිකාරි භූමිකාවක් ද නිරුපණය කිරීම ඔවුනට පැවරී ඇති කාර්යයක් වීමයි. ජනාධිපතිනිය විසින් සිද්ධිය හෙළා දකිනු ලැබීම ඔවුන් ඉදිරියේ ඇති බාධකයයි. පැවරී ඇති ඉරණම්වාදී භූමිකාව අනුව ජනාධිපති භූමිකාව “වීරයා” නිර්මාණය පිළිබඳව මෙන්ම “දුෂ්ඨයා” නිර්මාණය පිළිබඳව ද ඔවුනට පරස්පර විරෝධී ගැටළු ඇති කරයි.

ජනාධිපතිනියගේ නිවේදනයේ සාරාංශයක් ප්‍රථමයෙන් ඉදිරිපත් කොට තමනට ඉරණමින් පැවරී ඇති කාර්ය නිමවීමත් සමගම ඔවුහු සිය ආඛ්‍යානය ගොඩ නැගීම අරඹති.

“එම පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් විසින් පෙරේදා රාත්‍රියේ එහි භාරකරුවන් අත්අඩංගුවට ගනු ලැබ කාමරයකට දමා අනතුරුව එහි ආරක්ෂාවට යොදා සිටි යුද හමුදා නිලධාරින් ද යටත් කරගෙන පලා යාමට උත්සහා දරා ඇතැයි කියති.”

“සිද්ධියෙන් පසු එම රැඳවියන් අතරත් ගැටුමක් හටගෙන ඇති අතර ඔවුන් එකිනෙකා ඇන කොටා ගෙන වෙඩි තබා ගෙන ඇති බවත් අනාවරණය වෙයි.”

“කඳවුර සිය අණසකට ගැනීමෙන් පසු කඳවුරේ දුරකථන රැහැන් විසන්ධි කර විදුලි බලය ද අක්‍රිය කර ඇත.”

“කෝපයට පත්වූ පිරිසක් විසින් එම සැකකාර කලහකාරීන්ට ගල්මුල්වලින් හා අතට හසුවූ දේවල් වලින් පැහැර දී තිබේ.”

“රැඳවියන් පුනරුත්ථාපන කඳවුරේ සිටියදී උල් ආයුධ හා කැපෙන ආයුධ ද තනාගෙන ඇති බවත් හෙළි වී තිබේ. රාත්‍රියේ රැඳවියන් එකිනෙකා අතර සිදුවූ ගැටුමේදී එක් රැඳවියෙකු  සියදිවි හානි කරගැනීම සඳහා වෙඩි තබා ගෙන ඇති අතර ඔහුද බරපතල ලැබ බණ්ඩාරවෙල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.”

“තුවාල ලැබුවන් අතර කැපුම් තුවාල, වෙඩි වැදීම්, හා පිළිස්සීම් තුවාලකරුවෝ සහ පොලු මුගුරු වලින් ද තුවාල ලැබුවෝ ද වෙති.”

“කඳවුරේ කාර්යය භාර නිලධාරි වයි. ඒ අබේරත්න මහතා කාමරයට දමා සිරකර තබා එහි සේවය කළ මුරකරුවෙකු කඳවුර වටේ බිම දිගේ ඇදගෙන ගොස් ඇති බව කියති.”

“රැඳවියන් පස් දෙනෙකු කඳවුරෙන් පැන ගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.”

“මෙම ගැටුම සිදු වෙද්දී පිටස්තර ගම්වාසීන් ද පුනරුත්ථාපන නිලධාරීන්ගේ ආරක්ෂාවට පැමිණ ඇත.”

'දිනමිණ' පුවත්පත 26දා ගොඩනගන මෙම අඛයානය පැහැදිලි කර ගැනීම වැදගත් ය.

“මෙම කඳවුරට ආරක්ෂාව සඳහා යුද හමුදාව සහ පොලිස් නිලධාරීන් යොදවා තිබිණ. රැඳවියන් විසින් එම ආරක්ෂකයන් හා කඳවුරු පරිපාලකයන් යටත් කරගෙන පලා යාමට උත්සහා දරා ඇත. ඔවුන් පුනරුත්ථාපන කඳවුරේ සිටියදී උල් ආයුධ හා කැපෙන ආයුධ ද තනාගෙන ඇත.”

“සිද්ධිය වීමට දින කිහිපයකට පෙර රාජ්‍යයට බාරවූ LTTE සාමාජිකයන් හය දෙනෙකු පැමිණි පසුව මෙම කැරළිකාරී තත්ත්වය උග්‍රවී ඇත.”

“කඳවුර බාර නිලධාරියාව කාමරයකට දමා සිරකර තබා මුරකරුවෙකු කඳවුර වටේ බිම ඇදගෙන ගොස් ඇත.”

සැබෑ LTTE දුෂ්ඨයා නැගිට අඬු පඬු ගසා දැවැන්තයෙක් සේ අප ඉදිරියේ සිටි. නමුත් මෙම ගොඩ නැගීම  ක්‍රම ක්‍රමයෙන් රචකයා අර්බුදයක් කරා මෙහෙයවයි. එනම් රැඳවියන් ඝාතනයට ලක් වුයේ කෙසේද? යන්න එමගින් පැහැදිලි නොවීමයි. එහෙත් මෙම ආඛ්‍යාන රීතිය තුළ ඕනෑම දෙයකට ක්ෂණික විසඳුම් තිබේ.

"රැඳවියන්' අතරත් ගැටුමක් හටගෙන ඇති අතර ඔවුන් එකිනෙකා ඇන කොටාගෙන වෙඩි තබා ගෙන ඇත. මෙම ගැටුමේදී එක් රැඳවියකු  සියදිවි හානි කරගැනීම සඳහා වෙඩි තබා ගෙන ඇති අතර ඔහුද බරපතල ලැබ බණ්ඩාරවෙල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී."

මෙම ගැටුම එනම් රැඳවියන් එකිනෙකා කා කොටා ගන්නා විට පුනරුත්ථාපන නිලධාරීන්ගේ ආරක්ෂාවට “ගම්වාසීන්’පැමිණ ඇත. සැකකාර LTTE කලහකාරීන්  ඔවුනොවුන් ඇන කොටාගෙන මිය පරලොව ගොස් ඇත. සිද්ධිවාචක තොරතුරු සහ සත්‍ය නොවූ තොරතුරු සංකලනය කර ගනිමින් නිර්මිත මෙම ප්‍රබන්ධය ජනප්‍රිය චිත්‍රපටයක කථා සාරාංශයක් බඳු ය. (“කියති”, “අනාවරණය වෙයි”, “හෙළිවී තිබේ” යන යෙදුම් සිද්ධිවාචක නොවූ තොරතුරු සම්බන්ධයෙන් යොදා ගෙන තිබේ.”) දිනමිණ පුවත්පත කරන මෙම අඛයානය අනෙකුත් පුවත්පත් වාර්තා තුළද දැකිය හැකි ය. (එම පුවත්පත් වාර්තා පසුව සැළකිල්ලට ලක් කෙරේ.)

ආඛ්‍යානයක කාර්යභාරය කුමක්ද?

ලිවී ස්ට්‍රවුස් (Levi-Strauss) නමැති මානව විද්‍යාඥයා මිත්‍ථ්‍යා කතා සහ පුරාණෝක්ති ආශ්‍රයෙන් ප්‍රාථමික සමාජ පිළිබඳව කරන විග්‍රහ මෙහිදී වැදගත් ය. අත්දැකීම්වල ඇති පරස්පර විරෝධයන් බේරුම් කර ගැනීමට  මිත්‍ථ්‍ය කථා යොදා ගන්නා බව ඔහුගේ මතය විය. තේරුම් කළ නොහැකි දේ විග්‍රහ කෙරෙන බවත් නොවැළැක්විය හැකි දේ යුක්ති සහගත කෙරෙන බවත් ඔහු කීය. යථා ලෝකයේදී විසඳා ගත නොහැකි පරස්පර විරෝධයන් හා අසාධාරණත්වය සංකේතාත්මකව විසඳා ගැනීමට  මිත්‍ථ්‍ය කථා යොදා ගැනෙන බව ස්ට්‍රවුස් ගේ මතය විය. 

ක්ලෝඩ් ලිවී ස්ට්‍රවුස්

මිත්‍ථ්‍ය කථාවල කාර්යභාරය මිනිසා හා පරිසරය අතර ඇති පරස්පර විරෝධතාවයන් -ජීවිතය හා මරණය අතර ඇති පරස්පර විරෝධය  ස්භාවික පැවැත්මේ කොටසක් බව කියා පෑමයි.දේශගුණයේ ඇතිවන ප්‍රචණ්ඩත්වය දෙවියන් කෝපවීම නිසා සිදුවේ යැයි පැවසෙන  මිත්‍ථ්‍ය කථා දේශගුණික ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට අවශ්‍ය පසුබිම මිනිසාට ලබා දෙයි.මිනිසා සහ දෙවියන් අතර සම්බන්ධය නිරවද්‍ය ලෙස දක්වා සිටීම  මිත්‍ථ්‍යා කථාවල කාර්යභාරය නොවේ. එම තත්වයන් තුළ ජීවත් වීමට හුරුපුරුදු කිරීම ඒවායේ කාර්යභාරයයි.

පුරාණෝක්තිවේදයේ ස්වරුපය විග්‍රහ කරන ලිවී ස්ට්‍රවුස් ඒවා යුගල ප්‍රතිපක්ෂ (binary opposition)මත රඳා පවතින බව පවසයි. මිනිසා ලෝකය තේරුම් ගන්නා එක් ආකාරයක් පොදු යුගවලට ලෝකය බෙදා දැක්වීමයි. මුහුද සහ ගොඩබිම, ගැහැණිය සහ පිරිමියා, හොඳ සහ නරක, අප හා උන් යනාදීය  උදාහරණ  ලෙස දැක්විය හැකි ය. මේවා යුගල ප්‍රතිපක්ෂ වන අතර එම බෙදීමෙන් ලෝකය පිලිබඳ අපගේ අවබෝධය ව්‍යුහගතකර ගනිමු. එය එසේ කළ හැක්කේ එය අර්ථය නිර්ණය වන එක් ආකාරයක් නිසා ය. අර්ථය යනු වෙනස්කම්වල හා සමානකම්වල ගොඩනැගීමකි. වස්තුවක් එයට ප්‍රතිවිරුද්ධය සමග ගත් විට අප දේවල් විග්‍රහ කරන්නේ, අප දෙයක් තේරුම් ගන්නේ එහි නියම ස්වරූපයෙන් නොව ප්‍රතිවිරුද්ධ ස්වරූපයෙනි. පුරුෂයා යනු ගැහැණිය නොවෙයි, පුරුෂයා යනු පිරිමි ළමයෙකුද නොවෙයි, යනාදී වශයෙනි. දේවල් විග්‍රහ කරනු ලබන්නේ එම දෙය එහි ස්වරූපය සමග එකට තැබීමෙන් සහ එහිම අනික් ස්වරූපයෙන්  වෙන් කර ගැනීමෙනි.

පහත දැක්වෙන උදාහරණ දෙස බැලීමෙන් ස්ත්‍රීවාදීන් මෙවැනි වර්ගීකරණයකට විරුද්ධවන්නේ ඇයිදැයි තේරුම් ගැනීම පහසු ය. පුරුෂයා හා ස්ත්‍රිය ප්‍රතිවිරුද්ධ ලෙස ගැනීම ඉබේටම 'පුරුෂයා යනු ස්ත්‍රිය නොවේ' යන අර්ථය ගෙන දේ. පුරුෂයා “ශක්තිමත්” නම් ස්ත්‍රිය “දුර්වල” විය යුතුම ය. මෙම ලැයිස්තුව තවත් වර්ධනය කළ හැකි ය.

පුරුෂ                             ස්ත්‍රී


ශක්තිමත්                    දුර්වල 
සහේතුක                     චිත්තවේගී 
විශ්වාස කළ හැකි          විශ්වාස කළ නොහැකි

මෙම මාතෘකා දෙක අනුව මෙසේ ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ එකතු කළ විට ස්ත්‍රියගේ පාර්ශවයට සෘණ ලක්ෂණ එකතු කළ විට ස්ත්‍රියගේ පාර්ශවයට සෘණ ලක්ෂණ වැඩි වීමක් දැකිය හැකි ය. මෙම චක්‍රය වර්ධනය කළ විට එහි ආන්තික ප්‍රථිඵලය “යහපත් පුරුෂයාට” එරෙහිව “නරක ස්ත්‍රිය” නිර්මාණය වීමයි. මෙසේ ප්‍රතිවිරුද්ධයන්ගෙන් ගොඩනැගෙන්නා වූ “අර්ථ” මගින් “ප්‍රකෘතිය” “සංස්කෘතිය” වැනි දැවැන්ත ප්‍රවර්ගයන් නිෂ්පන්න වේ. උදාහරණ වශයෙන් අපේ සංස්කෘතියට අනුව පුරුෂයා කායිකව ශක්තිමත්, එළිමහනට කැමති, ස්භාවික කොටසක් වන අතර ස්ත්‍රිය ගෘහස්ථ, චිත්තවේගී, කෘතීම කොටසකි. මෙම සංජානක හා භාෂාමය සංකල්පය ආඛයානයක ව්‍යුහය සහ සන්තතීන් තුළ ක්‍රියාත්මක වන බවත් ඒ යුගවල ප්‍රතිපක්ෂයන්ගේ ඝට්ටනය මත රඳා පවතින බවත් ලිවී ස්ට්‍රවුස් දුටු දෙයකි.

(මතු සම්බන්ධයි)

තිලක් ජයරත්න


© මාධ්‍ය අධ්‍යයන කවය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top