nsb

Nov 14, 2016

නව ලිබරල්වාදී ගෝලීයකරණයට එරෙහිව නැගිටීමක් !

ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් ඇමෙරිකන් එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා වශයෙන් පත්වීම බොහෝ දෙනෙකු අපේක්ෂා කළ දෙයක් නොවීය. දශක ගණනාවක් තිස්සේ ලෝකය පුරා “ගෝලීයකරණයට “ එරෙහිව මධ්‍යම පංතික හා කම්කරු පංතික ජනතාව තුළ මතුවී තිබූ විරෝධය මේ ආකාරයෙන් එලියට පැමිණේවි යැයි බොහෝ දෙනෙකුට දැකිය නොහැකි විය. කාල් මාක්ස් පැවසූ පරිදි “සමාජවාදය නැතිනම් ම්ලේච්ඡත්වය “කරා ලෝකය අවතීර්ණ වෙමින් ඇත. එහෙත් සමහරු සිතන්නේ මේ අවධිය “නවලිබරල්වාදයේ අවසාන අවධිය“ බවත්, හතරවන කාර්මික විප්ලවයේ අවධියට අප අවතීර්ණවී සිටින බවත්ය.  

Trump 600px 16 10 31ප්‍ර‍ථමයෙන්ම, ට්‍ර‍ම්ප් පැරණි කාර්මික මධ්‍යස්ථාන යළි පන ගන්වන බවට දුන් පොරොන්දුව (Midwest) හොදින් වැඩ කළේය. “ගෝලීයකරණයේ“ ප්‍ර‍තිඵලයක් වශයෙන් මහත් ව්‍යසනයකට පත්වූයේ රටේ සාමාන්‍ය බහුතර ජනතාවය. මෙම බහුතර ජනතාව බලාපෙරොත්තු වූයේ සම්පූර්ණයෙන් පීලි පැන ඇති ආර්ථිකය නැවත සකස් කළ හැකි ශක්තිමත් පුද්ගලයෙකි.

දෙවනුව, මෙම මැතිවරණ ප්‍ර‍තිඵලයට හේතු වූයේ විටින් විට ඇතිවූ ‘ත්‍ර‍ස්ත‘ ප්‍ර‍හාරවලින් ජනිතවූ බියත්, දිගුකාලීන සංසිද්ධියක් වන සංක්‍ර‍මණිකයන්ගේ ප්‍ර‍ශ්නයත් යයි සමහරකු සිතීම පිළිගත නොහැකි කරුණකි.  “ගෝලීයකරණය “  ලෝකය පුරා සුළුතරයක් ජනයාගේ ජීවිතවලට වාසි සහගත වුවද, අති විශාල බහුතරයක් වන නිශ්පාදන කර්මාන්තවලින් දොට්ට දමනු ලැබූ කම්කරුවන්ද, නව සේවා කර්මාන්තවල ( ශ්‍රී ලංකාවේ ඇගලුම් කර්මාන්තය, චීනයේ  ඉලෙක්ට්‍රොනික කර්මාන්තය වැනි )  අධි සූරාකෑමට ලක්වන කම්කරු ජනතාවද මෙම වාසිදායක කොටසට ඇතුලත් නොවූහ. බටහිර දියුණු යයි කිවූ ධනපති රටවල්වල මධ්‍යම හා කම්කරු පංති ජනතාවගේ සමාජ තත්ත්වයන්, සෞභාග්‍යය සහ සමාජ සුරක්ෂිත භාවය බිද වැටිණ. මෙම තත්ත්වය හමුවේ කලකිරීමට හා කේන්තියට පත්ව සිටි කාර්මික කම්කරුවෝ( Blue-collar workers) සහ කාර්යාල සේවකයෝ (White-collar employees) ට්‍ර‍ම්ප් ජනාධිපති මන්දිරයට යැවීමට ඡන්දය පාවිච්චි කළහ.

තුන්වෙනුව, මෙම නව බහුතරය දක්ෂිණාංශික පිස්සන් නැතහොත් අන්තවාදීන් වශයෙන් ක්ලින්ටන්ලා පමණක් නොව වාමාංශිකයන් විසින්ද නොසලකා හැරියහ. ඒ මක්නිසාදයත්, ඔවුන් සිය කළකිරීම පිට කළේ වර්ගවාදී, ලිංගිකවාදී, ජාතිවාදී හා හිංසනකාරී මාර්ගවලිනි. නව ලිබරල්වාදී හිලරි ක්ලින්ටන් කල්ලිය මෙම පීඩිත ජනතාවගේ දුක් ගැනවිලි හුදෙක් එම ජනතාවගේ පුද්ගලික අසමත්කම් ලෙස සැලකූවා පමණක් නොව, ඔවුන් තමන් විසින්ම කොන්වී සිටින බව සැලකූහ. එපමණක් නොව, ගෝලීයකරණයේ ගොදුරු බවට පත්ව ඇති මෙම ජනතාවට සදාචාරයක් නොමැති බව පවසමින් ඔවුනට අවමන් කරනු ලැබිණ. ට්‍ර‍ම්ප්වාදීන් විසින් ඔවුන්ගේ දේශපාලන, ආර්ථික, මාධ්‍ය හා අධ්‍යාපන ප්‍ර‍භූන් හරහා දුන් පණිවුඩය වූයේ “ අප සමාජයේ බහුතරයයි; අපට මේ ක්‍ර‍මය එපාවී ඇත.“ යන්නයි. වෙනත් වචනවලින් කිවහොත්, මධ්‍යම හා කම්කරු පංතික ජනතාව තුවක්කුව තමන්ගේම හිස්වලට එල්ලකර තබා ගනිමින්, කිසිවකු තමන්ගේ දුක් ගැනවිලි හදුනා ගන්නේ නැතිනම් කොකා ගස්සන බවට තර්ජනය කර සිටියහ. මෙලෙස මෙම ජනතාවගේ දුක් ගැනවිලි සංස්කෘතික ආකාරයෙන් සරලව පැහැදිලි කිරීමෙන්, මෙම ජනතාවට සමාජ-ආර්ථික මූලයන් නොමැතියයි වරදවා තේරුම් ගත යුතු නැත. ඔව්හු සමාජ දූවිලි නොවූහ.Blue collar workers

හත‍රවෙනුව, මෙම ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන් පරාජය වීමට නියමිතව තිබූ අතර ඇය එම තරගයෙන් පරාජය විය. ට්‍ර‍ම්ප් ලබාගත් ඡන්ද ප්‍ර‍මාණය, 2012 දී රොම්නි (Romney) සහ 2008 දී මැක්කේන් (Mc Cain) ලබාගත් ඡන්ද ප්‍ර‍මාණයට දළ වශයෙන් සමාන වන්නේය. එහෙත් හිලරි ක්ලින්ටන් වැඩි මුළු ඡන්ද ප්‍ර‍මාණයක් ලබා ගනිමින් ජනප්‍රිය අපේක්ෂකයා වුවද, ඔබාමා ලබාගත් ඡන්ද ප්‍ර‍මාණය හා සසදන විට විශාල පසු බැසීමකට ලක්වී ඇත.  ඉතා බලවත් දේශපාලන යාන්ත්‍ර‍ණයක් හිමිව තිබූ හිලරි ක්ලින්ටන්, කොහෙත්ම සුදුසුකමක් නොතිබූ වර්ගවාදී, ලිංගිකවාදී සහ ජනප්‍රියවාදියාට පැරදුනේ කෙසේද? එයින් පැහැදිලි වන්නේ මැතිවරණ ව්‍යාපාරය තුළ විශාල ප්‍ර‍නතාවයක් ඇතිවී තිබූ බවයි. අද සියළුම බටහිර රටවල් තුළ සුදු ජාතික කම්කරු පංතියේ ගමන් මග විසින් මැතිවරණ භූ-දර්ශනය ප්‍ර‍ති-නිර්මාණය කිරීමේ නැඹුරුවක් පෙන්නුම් කර ඇත. මෙතෙක් යුරෝපයේ වම වශයෙන් පෙනී සිටි පක්ෂ ඔවුන්ගේ ඓෟතිහාසික මූලයන්ගෙන් හුදකලාවී  ඇතිවා පමණක් නොව තුන්වන නැතහොත් හතරවන තැනට තල්ලුවී ඇත. මෙම මැතිවරණයේදී හිලරි ක්ලින්ටන්ලා පමණක් නොව සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී තුන්වන බලවේගයද අසාර්ථකවී ඇත.

පස්වෙනුව, මෙම නව බහුතර ජනතාවගේ භීතිය හා කේන්තිය, යුරෝපය තුළ පමණක් නොව ශ්‍රී ලංකාව වැනි රටවලද අන්ත දක්ෂිණාංශික ජනප්‍රියවාදීන්ට පැහැදිලිවම නව ශක්තියක් ලබාදෙනු ඇත. එළඹිය හැකි ඕනෑම මැතිවරණයකදී “පවතින ක්‍ර‍මයට“ එරෙහිව විරෝධතා ඡන්දය දීමක් වශයෙන් මතුවිය හැකි මෙම තත්ත්වය, අපට හුස්ම ගැනීමට නොහැකි තත්ත්වයක් ජනිත කරනු ඇත. ඔස්ට්‍රියාව හා ප්‍ර‍ංශයේ එළඹෙන ජනාධිපතිවරණවලදී මෙම අවුල පැහැදිලිවම දැකිය හැකිවනු නොඅනුමානය.

හයවෙනුව, තමන්ගේ දේශපාලන වර්ණය කුමක් වුවද, සියළුම ආණ්ඩුවලට ඉදිරියේදී මෙම “ගෝලීයකරණ විරෝධී“ ජනතාවට ප්‍ර‍තික්‍රියා දැක්වීම හැර වෙනත් තෝරා ගැනීමක් නොමැත. එබැවින් ප්‍ර‍ශ්නය වනුයේ, ඔරලෝසුවේ බට්ටා ආරක්ෂණවාදී පිළිවෙත් දිසාවට පැද්දීම පමණක් නොව එය කොතෙක් දුරට පැද්දී යාවිද යන්නයි. මේ ආකාරයෙන් භාණ්ඩ, සේවා, ප්‍රාග්ධනය සහ ශ්‍ර‍මයේ නිදහස් හුවමාරුව සහිත ලිබරල්වාදී ලෝකය විශාල බලපෑමකට ලක්වී ඇත. කිසිම සැකයකින් තොරව, මතුවෙමින් පවතින ආර්ථිකයන්හි (in emerging economies) ජනතාව ප්‍ර‍ධාන වින්දිතයන් බවට පත්වනු ඇත. එම රටවල් තම සංවර්ධන බලාපොරොත්තු තබා ඇත්තේත්, සිය යැපුම් මාර්ග රදවා ඇත්තේත් හුදෙක් විවෘත අපනයන වෙළදපොළ මත වන හෙයිනි.

හත්වෙනුව, මේ අතර හතරවන කාර්මික විප්ලවය ලෙස සමහරකු නම් කර ඇති ඩිජිටල් ස්වයංක්‍රියකරණය හේතුකොටගෙන බොහොමයක් මධ්‍යම පංතික රැකියා අහිමි කිරීමට මග පාදනු අපට දැකිය හැකි වන්නේය. මෙම ඩිජිටල් විප්ලවය මගින් නිර්මාණය කරනු ලබන නව රැකියා ස්ථාවර වන්නේද, එමෙන්ම එමගින් බිහි කරන නව රැකියා ප්‍ර‍මාණය, අහිමි කරනු ලබන රැකියා ප්‍ර‍මාණයට සාපේක්ෂ වන්නේද යන්න නොපැහැදිලි කරුණකි. මෙම හැම කරුණක් පිළිබදවම අපට අවබෝධය පැවතීම වැදගත් කාරණයක් වන්නේය.

emerging markets 006එබැවින්, පසුගිය දශක ගණනාව පුරාම කරන ලද දේශපාලන උපායික වැරදිවලින්  නිසි පාඩම් ඉගෙනීමට සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂ සහ ප්‍ර‍ගතිශීලී ව්‍යාපාර වෙන කවරදාටත් වඩා සිත යොමුකළ යුතුව ඇති අතර ඩිජිටල් ධනවාදය හැඩගැසීමට හැක්කේ කෙසේද යන්න ගැන උපාය මාර්ගික විවාදයක් පටන්ගත යුතුව ඇත. මෙයින් අදහස් කරන්නේ කට්ටිවාදී පිළිවෙත්වලින් ඉවත්වීම සහ වර්ගවාදී, ආගම්වාදී සහ ජාතිවාදී අතිශයෝක්තිවලින් ඔබ්බට ගොස් ජනතාවගේ දුක් ගැනවිලි දෙස බරපතල හා වැදගත් ලෙස සලකා බැලීමට පටන් ගැනීමයි.

තව දුරටත් මෙයින් අදහස් කරනුයේ, ගරා වැටෙමින් ඇති ධනවාදය අළුත් වැඩියා කරන සාප්පු වශයෙන් තම කැමැත්තෙන්ම කුලී වැඩ කිරීම වාමාංශිකයන් විසින් නැවැත්වීමත්, ඩිජිටල් යුගය තුළ හොද ජීවිතයක් සදහා සියළුම පීඩිත ජන කොටස් ගෙනයන්නාවූ අරගලයන් ඒකාබද්ධ අරගලයක් දක්වා ගෙනයාමට ජනතාවට මග පෙන්වීමත්ය. පොදු ජන අවශ්‍යතාවයන් ඉටු කිරීමට සාධාරණ දායකත්වයක් ප්‍රාග්ධනය විසින් ලබාදීම සහතික කිරීමට පමණක් නොව දිගුකාලීනව දැනුවත් (ප්‍ර‍බුද්ධ) හා ඒකාබද්ධවූ සමාජයක් ගොඩනැගීමද අනිවාර්යය වන්නේය.

අවසාන වශයෙන්, නව ගාමක බලවේගයකින් යුත්, ජනතාවගේ සුරක්ෂිත භාවය ඇති කරන නව පිළිවෙතක් අනුගමනය කිරීම මෙයින් අදහස් වන්නේය. තමන්ගේ භෞතික සහ සංස්කෘතික තත්ත්වයන් ගැන බියවී ඇති ජනතාවට, අනාගතය පිළිබදව යළි සහතිකවීමට අපට හැකිවන්නේ නම් පමණක් මෙම ඩිජිටල් විප්ලවයට එක්වීමට ඔවුනට ශක්තිය හා විශ්වාසය ජනිත කිරීමට හැකිවනු ඇත.

කෙසේ වෙතත්, තමන් සංස්කෘතිකව හදුනා ගැනීමට නොහැකිවීම ගැන හඩා වැටෙන ජනතාව නැවත සමගි සන්ධානයකට ගෙන ඒමට, දෙපාර්ශවයටම අයත් වර්ගවාදී ධනපති ප්‍ර‍භූන් අතර දේශපාලන බලය බෙදාහැරීම පමණක් ප්‍ර‍මාණවත් නොවන්නේය.  ඒ සදහා ගතයුතු ප්‍ර‍ගතිශීලි පියවර පිළිබදව පොදු හදුනා ගැනීමක් අවශ්‍ය වන අතර එමගින් නියම වෙනසක් සදහා අවශ්‍ය පදනම සකසනු ඇත. පැරණි කම්කරු ව්‍යාපාරය ජනතාව මත පදනම්වූ සංවිධාන ජාලයක් සමග තදින් බැදුණු එකක් වූ අතර එයටම ආවේණිකවූ ජීවන රටාවක් නිර්මාණය කරගෙන තිබුණි. එහෙත් බහුතර ජනතාව සදහා ප්‍ර‍ගතිශීලී හදුනා ගැනීමක් සහිත පිළිවෙතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයෙන් ඉවත්ව සිටියහ. එමනිසා ජනතාවට අවශ්‍ය හා හොද සේවා සපයන ප්‍ර‍ජාව හදුනා ගැනීමට හැකි නව යාන්ත්‍ර‍යක් අපට අවශ්‍යය. අතීතයේ දිනාගත් දෑ හුදෙක් ආරක්ෂා කර ගැනීමට හා පරිපාලනය කිරීමට වඩා වැඩි දෙයක් සමාජයට ඉදිරිපත් කරන්නාවූ හොද සමාජයක් පිළිබද විශ්වාසය හා බලාපොරොත්තුව අපට අවශ්‍යය.

- විල්ෆ්‍රඩ් සිල්වා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top