15976 BM WEB BANNER 01
Aug 08, 2017

විදුලි අර්බුදය ඇවිත් දැන් කළ යුත්තේ කුමක්‌ද? Featured

විදුලි බල අර්බුදය දැනටමත් ඇරඹී ඇත. හදිසි තත්ත්වයන් යටතේ අධික මිලට විදුලිය මිලදී ගැනීමට දැන් රජයට සිදු වී ඇත.

ඒ සඳහා ඇග්‍රිකෝ සමාගමේ ඛනිජ තෙල් විදුලි බලාගාර 4 කින් මෙගාවොට්‌ 60ක ධාරිතාවයෙන් යුතු විදුලිය මිලදී ගැනේ. ඒ මඟින් ලංකා විදුලි බල මණ්‌ඩලය 2017 අප්‍රේල් සිට සැප්තැම්බර් කාලය තුළ දී ගිගාවොට්‌ පැය 76.4 ක්‌ මිලදී ගැනීමට සැලසුම් කර ඇත. එලෙස විදුලිය මිල දී ගැනීමේ දී ඒකකයක සාමාන්‍ය මිල කිලෝ වොට්‌ පැයට රු. 40.48 ලෙස ගණන් බලා ඇත. එමෙන්ම හදිසි තත්ත්වයන් යටතේ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගත්තත් නැතත් ප්‍රාග්ධන වියදම ලෙස මාසයකට රුපියල් මිලියන 210ක්‌ එම පුද්ගලික සමාගමට ගෙවිය යුතුය. එහි බර වැටෙන්නේ අවාසනාවන්ත විදුලි පාරිභෝගිකයාටයි.

මේ එළඹෙන්නේ නියං සමයයි. එම නිසා ජල විදුලිය හිඟයි. 2012 න් පසු බලාගාර ප්‍රදේශවල අඩුම ජල ප්‍රමාණය මේ අවුරුද්දේ වාර්තාවී ඇත. දැන් ජලාශවල ඇත්තේ ගිගාවොට්‌ පැය 450ක්‌ පමණයි. එනම් ජලාශවල මුළු ධාරිතාවයෙන් 35% ක්‌ පමණයි. ඊළඟ මහ වැස්‌ස වන තෙක්‌ මේ වතුර ටික ප්‍රවේසම් කරගත යුතුයි. එම නිසා පොඩි ප්‍රශ්නයක්‌ වුවත් විදුලිය කපන්නට මණ්‌ඩලයට සිදුවේ. ඛනිජ තෙල් සැපයුම අඩාල වුවොත් එය විදුලිය කපන්නට සිදුවේ. මේ වනවිට පුත්තලම මෙගාවොට්‌ 300 ක්‌ ක්‍රියාත්මක වන්නේ නැත.ඒ නිසා ඉල්ලුම සුළුවෙන් වැඩිවුණත් පද්ධතියේ බිඳවැටීම වැළැක්‌වීම සඳහා විදුලිය කප්පාදු කිරීමට සිදුවේ. මේ නිසා දැනට රැගෙන ඇති හදිසි බලාගාර ප්‍රමාණයත් දැන් මදි බව පැහැදිලිය. තත්ත්වය වඩාත් නරක අතට පත්වන්නේ වාර්ෂිකව විදුලි ඉල්ලුම 5% වේගයකින් ඉහළ යන නිසාය. එම නිසා 2018 මුල කාර්තුවේ පායන කාලය එළඹෙන විට වැඩි වැඩියෙන් පුද්ගලික අංශයෙන් හදිස්‌සියේ තෙල් විදුලිය අධික මිලකට ගැනීමට රජයට සිදුවේ. දිගුකාලීන විදුලි බලාගාරයක්‌ හදන්නට තවම මුල්ගලක්‌ වත් තබා නැත. එම නිසා 2020 මැතිවරණ වර්ෂයේ පායන කාලය වනවිට රටේ උද්ගත වන්නේ අතිශය දරුණු තත්ත්වයකි. අලුත් බලාගාර හදන තෙක්‌ මෙම තත්ත්වය දරුණු වනවා මිස පහව යන්නේ නැත. එළඹෙමින් පවතින්නේ ඛනිජතෙල් මාෆියාවේ ජය මගුල් සමයයි. විදුලි පාරිභෝගිකයාට කණකොකා හඬන සමයයි.

TissaLake 670px 08 08 17

මෙම තත්ත්වයට හේතු වන්නේ වාර්ෂිකව වැඩිවන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා අලුතින් දිගුකාලීන විදුලි බලාගාර එකතු කිරීමට විදුලිබල මණ්‌ඩලයට නොහැකි වීමයි. පුත්තලම ගල් අඟුරු බලාගාරයෙන් පසු පද්ධතියට සැලසුම් සහගත ලෙස දිගුකාලීන විදුලි බලාගාරයක්‌ පද්ධතියට එක්‌කර නැත. දශක ගණනාවක්‌ තිස්‌සේ විදුලි බල මණ්‌ඩලය යෝජනා කර තිබුයේ සාම්පූර් හි මෙගාවොට්‌ 500ක ගල් අඟුරු බලාගාරයක්‌ ඉදිකිරීමටයි. එය රජයේ බලශක්‌ති ප්‍රතිපත්තියට පටහැනි වූ හෙයින් ඉදිකිරීමට නොහැකි විය. රජයේ ප්‍රතිපත්තිය පැහැදිලිය. 2030 වනවිට දේශීය බලශක්‌ති ප්‍රභව වලින් පරිසර හිතකාමී ලෙස විදුලිය නිපදවීම රජයේ ප්‍රතිපත්තියයි. විදුලි බලමණ්‌ඩලය මෙතෙක්‌ කලක්‌ කළේ ඊට ඉඳුරාම පටහැනි ලෙස ලංකාවේ නැති පරිසරයට ඉතා අහිතකර ගල් අඟුරුවලින් විදුලි නිපදවීම සඳහා බලාගාර ස්‌ථාපිත කිරීමට සැලසුම් හැදීමයි. එහිදී විදුලි බලමණ්‌ඩලය දිගින් දිගටම කීවේ ගල් අඟුරු ලාභ බවයි. එහෙත් විදුලි බල මණ්‌ඩලයේ එම තර්කය වැරදි බව පසුගිය දා රජය අනාවරණය කර ගත්තේය. ඒ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යනයක්‌ මගිනි. දැන් ගල් අඟූරුවලට වඩා ස්‌වාභාවික වායු හා පුනර්ජනනීය බලාගාර ලාභදායී බව අනාවරණය වී හමාරය. එහෙත් තවමත් මේ යථාර්ථය පිළිගෙන රට විපතින් මුදවා ගැනීමට විදුලිබල මණ්‌ඩලය පියවර ගෙන නැත.

විදුලිබල අර්බුදයට ඇති ක්‌ෂණික, කෙටි කාලීන හා දිගුකාලීන විසඳුම පුනර්ජනනීය බලශක්‌තිය, හා බලශක්‌ති කළමනාකරණයයි. අතරමැද විසඳුම ස්‌වාභාවික වායු බලාගාරයක්‌ ඉදිකිරීමයි. ක්‌ෂණික බලශක්‌ති අවශ්‍ය වන්නේ එළඹෙමින් පවතින නියං සමයට මුහුණ දීමයි. එහිදී ඇති ක්‌ෂණික විසඳුම බලශක්‌තිය අරපිරිමැස්‌සෙන් භාවිතා කිරීමයි. වඩා කාර්යක්‌ෂම විදුලි උපකරණ භාවිතයයි. එම කාර්යක්‌ෂම විදුලි උපකරණ සඳහා විශේෂ සහන ලබාදීමට රජයේ අවධානය යොමුකළ යුතුය.

කෙටිකාලීනව අප මුහුණ දෙන අභියෝගය පහත දැක්‌වෙන පරිදි වේ.

වසර අතිරේකව අවශ්‍ය වන විදුලි ඒකක ප්‍රමාණය (ගිගාවොට්‌ පැය)

2018 1085

2019 2182

2020 3353

ඒ අනුව ඉදිරි අවුරුදු තුන ඇතුළත වසරකට අතිරේකව ගිගාවොට්‌ පැය 1000 බැගින් පද්ධතියට එකතු කළ යුතු වේ. ඒ අවශ්‍යතාවය ගල් අඟුරු බලාගාරවලින් ලබා ගැනීමට නොහැකිය. ඒ අවශ්‍යතාවය ස්‌වාභාවික වායු බලාගාර වලින් ලබාගැනීමට නොහැකිය. ඒ එම බලාගාර ස්‌ථාපිත කිරීම සඳහා කාලයක්‌ නොමැති බැවිනි. ඛනිජ තෙල් බලාගාරවලින් එම අවශ්‍යතාවය සපුරාලිය හැකි වුවත් එය වියදම් අධිකය. එම නිසා කෙටිකාලීනව පමණක්‌ එවැනි බලාගාර ස්‌ථාපිත කිරීමට සිදුවේ. එවිට ඒ වෙනුවෙන් කරන ආයෝජනය අපතේ යයි.

එම නිසා මේ සඳහා කෙටිකාලීනව ඇති හොඳම විසඳුම පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභව කඩිනමින් සංවර්ධනය කිරීම වේ. ඒ අවශ්‍යතාවය සූර්ය බලාගාරවලින් පමණක්‌ ලබාගන්නේ නම් වාර්ෂිකව මෙගාවොට්‌ 700 බැගින් පද්ධතියට එකතු කළ යුතුවේ. සුළං බලාගාර වලින් පමණක්‌ ලබා ගන්නේ නම් මෙගාවොට්‌ 400 ක්‌ පමණ වාර්ෂිකව එකතු කළයුතු වේ. දර විදුලිය නම් මෙගාවොට්‌ 200 බැගින් වාර්ෂිකව එකතු කළයුතු වේ. එම නිසා කළ යුතු වන්නේ සියලු පුනර්ජනනීය ප්‍රභව සංවර්ධනය කිරීමට කඩිනම් වැඩපිළිවෙලක්‌ දියත් කිරීමයි. එමෙන්ම පුනර්ජනනීය බලශක්‌තිය විදුලිබල පද්ධතියට අවශෝෂණය කර ගැනීම සඳහාත් 2020න් ඔබ්බට වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහාත් මේ අවස්‌ථාවේ අත්‍යවශ්‍ය අතරමැද විසඳුමක්‌ වන්නේ ස්‌වාභාවික වායු බලාගාර ස්‌ථාපිත කිරීමයි.

ඒ සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුවේ.

  1. දැනට නවතා ඇති පුනර්ජනනීය බලශක්‌ති බලාගාර අලුතෙන් ස්‌ථාපිත කිරීමේ වැඩසටහන වහාම යළිත් ආරම්භ කිරීම. එමගින් පරිසර ප්‍රශ්න අවම වන සුළු පරිමාණ ජල විදුලි බලාගාර ස්‌ථාපිත කිරීම 2020 වන විට අවසන් කිරීම.
  2. සූර්ය බල සංග්‍රාමයේ සුර්ය වහල මිලියනයක්‌ ස්‌ථාපිත කිරීමේ වැඩසටහන 2020 ඉලක්‌ක කර දියත් කිරීම. ඒ වෙනුවෙන් ඉන්වර්ටර් ආදිය තීරුබදු ආදියෙන් නිදහස්‌ කිරීම හා වෙනත් ප්‍රමාදයන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීම.
  3. අතර මැද නවතා දමා ඇති මෙගාවොට්‌ 1, 10, 100 ආදීවශයෙන් වූ සූර්ය උද්‍යාන පිහිටුවීමේ වැඩසටහන යළි කඩිනමින් ආරම්භ කිරීම.
  4. අඩාල වී ඇති මෙගාවොට්‌ 100 සුළං බලාගාර උද්‍යාන පිහිටුවීමේ වැඩසටහන වේගවත් කිරීම
  5. දැනට වසරක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ ඉබිගමනේ යන මෙගාවොට්‌ 300 ස්‌වාභාවික වායු බලාගාරයක්‌ ස්‌ථාපිත කිරීමේ වැඩසටහන විනිවිද පෙනෙන සුළු ආකාරයෙන් වේගවත්ව දියත් කිරීම.
  6. වික්‌ටෝරියා සහ සමනල වැව ආශ්‍රිතව අතිරික්‌ත විදුලි බලාගාර හා ජලපොම්ප ජලවිදුලි බලාගාර ස්‌ථාපිත කිරීම කඩිනම් කිරීම.
  7. පුනර්ජනනීය බලශක්‌තිය පද්ධතියට එක්‌ කර ගත හැකි වන පරිදි සම්ප්‍රේෂණය හා බෙදාහැරීම පද්ධතිය සුහුරු පද්ධතියක්‌ බවට පත් කිරීමේ විධිමත් වැඩසටහනක්‌ සම්පාදනය කිරීම.
  8. මෙම විදුලි අර්බුදය ඇති වීමට හේතු වූ ලංකා විදුලිබල මණ්‌ඩලයේ අකාර්යක්‌ෂම තාවය පිළිබඳ ප්‍රශ්නය ඉදිරියේ දී මතු නොවීම සඳහා අරමුණට කැපවූ විශේෂඥයින්ගෙන් හා සැලසුම්කරුවන්ගෙන් සමන්විත විශේෂ බලශක්‌ති සැපයුම් කමිටුවක්‌ ස්‌ථාපිත කිරීම.

අශෝක අභයගුණවර්ධන
සභාපති - උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය - (සෙමා)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top