Aug 18, 2017

ආශු,අජිත් ආණ්ඩුව සොයති

ක්‍රියාත්මක විය යුත්තේ රජයයි. අජිත් පෙරේරා මහතා සහ ආශු මාරසිංහ මහතා පවතින රජයේ කොටස්කාරයෝ වෙති. ඔබ දෙපල අත ඇති සටන් පාඨවල නොකර හැරීම්වල වගකීම සමස්ත රජයම ගත යුතුය.

62lakshayaජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කලේ ඉතා සීමිත පොරොන්දු කිහිපයක් ජනතාව මත තැබිමෙන් ඇතිවූ ජනතා විශ්වාසය මතය. මහ මැතිවරණයෙන් පසුව ඔබද කොටස්කරුවෙකු වන ජාතික රජය බිහි වූයේ එම පොරොන්දු ක්‍රියාත්මක කරන්නටය. එහෙත් අද ඔබ දෙපලද ජනතාව අතර හිඳ රජයට බලපෑම් කරන කණ්ඩායමක කොටසක් වීමෙන් පෙනෙන්නේ රජය විසින් බරපතල ලෙස ජනතාවට වූ පොරොන්දුව කඩකර ඇති බව ඔබ දෙපලද පිලිගන්නා බවයි.

ජනවාරි 8දා පරිවර්තනය සමග රටෙහි ජනතාව බලාපොරොත්තු වූයේ ජනාධිපතිවරයාම පොරොන්දු වූ පරිදි නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකි.එහෙත් එම පොරොන්දුව ක්ෂණයකින් කඩවිය. මහ මැතිවරණයෙන් පසු ජාතික රජයක් පිහිටු වීමේදී ද රටෙහි ජනතාව යම් බලාපොරොත්තුවක් ඇති කර ගත්තේ සියල්ලෝ සාමූහිකව රටෙහි සාධනීය වෙනසකට අඩිතාලමක් සකස් කරාවිය යන විශ්වාසය මතයි. එහෙත් ජාතික ආණ්ඩුව තුල සමහර දේශපලකයන්ගේ හැසිරීම නැන්දා ලේලී අරගලය හා සමානය. රටක් කිරීමේ, ආණ්ඩුවක් කිරීමේ විනය සහ හික්මීම ජාතික ආණ්ඩුවේ බොහෝ අය ලඟ තිබුනේ නැත. ආණ්ඩුව තුල සිට කෙරෙන ඇන කොටා ගැනීම්, අපහාස උපහාස ඇසීමේදී බැලීමේදි සමාන්‍ය ජනතාවට සිතෙන්නේ, පෙනෙන්නේ ජාතික ආණ්ඩුව වැඩි කලක් නොපවතින බවයි. මේ බලපෑම සාමාන්‍ය පුද්ගලයාගේ සිට ඉහලම රජයේ සේවකයන් දක්වා බොහෝ දෙනෙකුට ඇතිවූ තත්වයකි. සමහර දේවල් සිදු නොවන්නේ මේ අවිනිශ්චිතභාවය නිසාය. චූදිතයන්ට අවශ්‍ය ආකාරයට වූ චෝදකයන්ගේ හැසිරීමෙහි වාසිය අවසන චූදිතයාටම හිමිවන තත්වයක් ඇතිවිනි.62lakshaya2

දේශපාලනයෙහි බලතුලනය පවත්වා ගැනීම සඳහා සමහර දේ සිදුවන බවත් තවත් දේ සිදු නොවන බවත් ජනතාව අතර ඇති තව චෝදනාවෙකි. මැතිවරණ ජයග්‍රහණ, දේශපාලන පක්ෂ දුර්වල කිරීම වැනි කාරණාවන්ට ප්‍රමුඛතාවය දෙමින් සමහර දේ සිදු කිරීම ප්‍රමාද කොට ඇති බව ජනතාව කියති. එය එසේ නම් ජනතාව ඉතා බරපතල ලෙස මුලා කිරීමකි.

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ සියලු කාරනා සම්බන්ධයෙන් වගකීම රජය සතුවන බවයි. රටෙහි ජනතාව විශ්වාසය තබා පත් කර ඇත්තේ ජනාධිපතිවරයා සහ රජයයි. ඒ හැරෙන්නට පුද්ගල නාම නොවේය. පුද්ගල නාමයන්ට පමණක් දෝශාරෝපණය කොට වගකීමෙන් බේරීමට රජයට නොහැකිය. රජය වගකීම ගත යුතුය. සියලු දේ දේශපාලන රඟපෑම් යැයි ජනතාව සිතන තැනට රජය පත්විය යුතු නැත. එහෙත් සිදුවෙමින් පවතින්නේ එයයි.

උපුල් කුමරපරුම

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top