15976 BM WEB BANNER 01
Aug 20, 2017

සීතා රංජනී: දශක තුනක සමාජ චරිතාපදානයක්

වන්නිහාමිලාගේ සීතා රංජනී උපන්නේ 1954 ජාත්‍යන්තර ස්ත්‍රී දිනයේදී ය. ඒ අනුරාධපුර නගරයට සැතපුම් කිහිපයක් ඔබ්බෙන් පිහිටි පෙරිමියන්කුලම ගොවි පවුලක සහෝදර සහෝදරියන් හය දෙනෙකුට වැඩිමහල් වෙමිනි. ‍

පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයෙන් පාසැල් දිවිය ඇරඹු සීතා, ඒ කාලයේ සිටම ලේඛන කලාවටත් , ක්‍රීඩාවටත් එක සේ දස්කම් දැක්වූවා ය. 1973 දී අනුරාධපුර දිස්ත්‍රික් පාසැල් කාව්‍ය නිර්මාණ තරඟයකින් පළමු ස්ථානය දිනා ගැනීමෙන් උත්ප්‍රේරණයක් ලද ඈ ඉන් පසු දිගින් දිගටම සිය නිර්මාණකරණයේ යෙදුණාය. එවකට ජනප්‍රියම සන්නිවේදන මාධ්‍ය වූ ගුවන් විදුලිය ඔස්සේ ඇගේ නිර්මාණ ප්‍රචාරය වීමත් සමඟ පෙරිමියන්කුලමේ සීතා රංජනීගේ ගම සහ නම ශ්‍රාවකයන් අතර මතකයේ රැඳිණ.

ස්වර්ණ ශ්‍රී හා කපුගේ

"1977 බලයට පත් වුණු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පළමුවෙනි ප්‍රාදේශීය ගුවන් විදුලි සේවය විදියට 'රජරට සේවය' 1979 දී ආරම්භ කළා. ඒ වෙනකොටත් මගේ නිර්මාණ තුළින් මට නමක් හැදිලායි තිබුණේ. රජරට සේවයේ වැඩ පටන් ගත්තේ අප්‍රේල් 12 වැනිදායි. ඊට දින කීපයකට පස්සේ අප්‍රේල් 18 වැනිදා මට රජරට සේවයෙන් ලියුමක් ආවා. එදා මගේ කෙටි කථා නිර්මාණයකුත් අරගෙනයි මම ගියේ. කෙටි කතාබහකින් පස්සේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මාව අසන්නන්ට හඳුන්වලා දීලා, කෙටි කතාව මටම ඉදිරිපත් කරන්න කිව්වා. ඊට කලින් මම කවදාවත් ඒ වගේ සජීවී ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කිරීමක් කරලා තිබුණේ නැහැ. කොහොම හරි වැඩේ සාර්ථකයි. නිර්මාණය හා ඉදිරිපත් කිරීම වෙනුවෙන් එදා මට දීමනාවක් ලැබුණා. ඒක තමයි මගේ නිර්මාණ ජීවිතයේ පළමුවැනි වැටුප.”

ස්වර්ණ ශ්‍රී බණ්ඩාර

swarna sri bandaraරජරට සේවය සීතාට සිය නිර්මාණ හැකියාවන් ඔප් නංවා ගැනීමට තෝතැන්නක් විය. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, ගුණදාස කපුගේ වැනි එදා රජරට සේවයේ ප්‍රධානීන් නවකයන්ගේ නිර්මාණයන්ට කිසිදු බල පෑමකින් තොරව පුර්ණ නිදහස ලබා දෙමින් කටයුතු කිරීම ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වී යැයි සීතා කියන්නීය.

“කවි , කෙටිකථා, ගීත රචනා, ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචනා වගේම ගුවන් විදුලි සඟරාමය වැඩ සටහන් ද ඉදිරිපත් කරන්න රජරට සේවය තුළින් ලැබුණා. ඒ වෙනකොට කරුණාරත්න දිවුල්ගනේ, ජයතිලක බණ්ඩාර වගේ අයත් නවකයෝ විදිහට රජරට සේවයට සම්බන්ධ වෙලායි හිටියා. මට මතකයි 80 ජුලි වැඩවර්ජනය ගැන මම ගුවන් විදුලි නාට්‍යයක් ලිව්වා. ඒකේ ව්‍යංගයෙන් තමයි වර්ජනය ගැන කියන්නේ. යු.එන්.පී ආණ්ඩුව වර්ජනය සම්බන්ධයෙන් අරගෙන ගියේ දැඩි මර්ධනකාරී වැඩ පිළිවෙලක්. ඒත් ඒ පිළිවෙතට පටහැනිව ලියැවුණු මේ කියන නාට්‍ය කරන්න ස්වර්ණ ශ්‍රී බණ්ඩාර සම්පුර්ණ නිදහස දුන්නා. ඇත්තටම මගේ නිර්මාණ රජරටට විතරක් සීමා වුණේ නැහැ. මම කොළඹ ගුවන් විදුලියටත් නාට්‍ය පිටපත් රචනා කළා. එතකොට ගුවන්විදුලි නාට්‍ය අංශයේ හිටියේ සුගතපාල ද සිල්වා යි. ඇතැම් අවස්ථාවල ඔහු මට නාට්‍ය පිටපත්වල අඩු ලුහුඬුකම් පෙන්නලා ලිපි එවනවා. ඒ වෙනකොට දැකලවත් නොතිබුණු ඔහුගේ උපදෙස් මගේ නිර්මාණ ජීවිතයට විශාල රුකුළක් වුණා.”

1983 ජුලි සංහාරය තුළ අත් දුටු දේ විසින් සීතා රංජනීගේ නිර්මාණයන් වෙනස් මඟකට යොමු කෙරිණි. ඉන් පසු ඇගේ බොහෝ නිර්මාණයන් ඉලක්ක වුයේ ප්‍රජාතන්ත්‍ර අයිතීන්, ජනවාර්ගික සමගිය වැනි තේමා ඔස්සේ ය. “අපිත් එක්ක එකට ජීවත් වුණු මිනිස්සුන්ට සිද්ධ කළ ඒ අපරාධය ඇත්තටම මගේ හිත කම්පාවට පත් කළා" යැයි ඈ පවසයි.

"ඒ විනාශයන් දකින්න මම දින කිහිපයක්ම අනුරාධපුර නගරය පැත්තටවත් ගියේ නැහැ. මට මතකයි රුවන්වැලිය කිට්ටුව අපි දන්න ලොන්ඩරියක් තිබුණා. ඒක කළේ රගුනාදන් මාමා. කළු ජූලියේදී එයාව මරල පුච්චලා. ඒකෙන් ඇති වුණු කම්පනය නිසා රගුනාදන් මාමා ගැන මම කවියක් ලිව්වා, එයාව මරල පුච්චපු කළු දුමෙන් රුවන්වැලියේ කොතත් කළු පැහැ වුණා කියලා.”

රජරට සේවයට සම්බන්ධවීමත් සමඟින් ගොඩනැඟුණු සබඳතා තුළින් සීතා රංජනීගේ නිර්මාණ දිවිය මෙන්ම සමාජ දේශපාලනික ක්‍රියාකාරිත්වය ද තව දුරටත් වර්ධනය විය. ඒ වන විට සුනිලා අබේසේකර හා සුනිල් විජේසිරිවර්ධන යුවළ පදිංචිව සිටියේ අනුරාධපුරයේ ය. ඔවුන් විසින් අරම්භ කර තිබු “ කිණිහිර” නම් අධ්‍යයන කවය තුළ කලා, සංස්කෘතික, සමාජ හා දේශපාලන ප්‍රවණතාවයන් පිළිබඳව නිරන්තරයෙන් කතා බහ කෙරිණ.

සුනිලා අබේසේකර

sunila abeysekara cropped“සෑම සතියකම අපි කණ්ඩායමක් විදිහට සුනිල් අයියලාගේ ගෙදරදී හම්බ වෙනවා. පසු කාලයේදී වෙනත් අයගේ ගෙවල්වලත් මේ හමුවීම් වුණා. සමාජ සංස්කෘතික දේවල් මෙන්ම දර්ශනවාදය, දේශපාලන ගැන සංවාදවලින් මුලු රාත්‍රියක්ම ගත කෙරෙනවා. නන්දන මාරසිංහත්, ලීනා අයිරින් හපුතන්ත්‍රීත් මේ හමුවීම් ඔස්සේ මට හඳුනා ගන්න ලැබුණු දෙන්නෙක්. මාරසිංහ ඒ දවස්වල ජනතා විමුක්ති පෙරමුණෙන් අයින්වෙලා කපුගේ එක්ක 'කාලයේ රාවය' ප්‍රසංගය කරමින් හිටියේ. කාලයේ රාවය වෙනුවෙන් මගේ ගී පද රචනා දෙකක් තෝරාගෙන තිබුණා. මේ අතරේ කුරුණෑගල සුමිකා පෙරේරාගේ ප්‍රගතිශීලි කාන්තා පෙරමුණෙන් පළ කරපු 'අත්වැල' සඟරාවටත් මම ලිව්වා. ඒ හින්දා ඒ ගොල්ලෝ මාව නමින් දැනගෙන හිටියා. පස්සේ සුනිලා අක්කාත් මං ගැන එයාලට කියල තිබුණා. ඒ හින්දා ඉබ්බාගමුවේ දේවසරණ කේන්ද්‍රයේ තිබුණු වැඩසටහනකට මට සුමිකාගෙන් ඇරයුමක් ලැබුණා. එහිදී තමයි මට පළමු වරට පද්මිණි පල්ලියගුරු හම්බවෙන්නේ. ඒ 1985 දීයි.”

'විවරණ' හා කොළඹ දිවිය

1986 වසර සීතාට තීරණාත්මක වසරකි. ඒ කොළඹ සිට පළ කෙරුණු 'විවරණ' සඟරාවේ සංස්කාරක මණ්ඩලය වෙත එක්වීමට ලැබුණු ඇරයුම හේතුවෙනි. අනුරාධපුර අත්හැර කොළඹ එන්නට ඇයට සිදුවූයේ ඒ නිසා ය. ඒ වනවිට ඇය රජරට සේවයේ බී ශ්‍රේණියේ ගුවන් විදුලි ශිල්පිණියකි.

“හැමෝම මට කිව්වේ කොළඹ යන එක මගේ නිර්මාණ ජීවිතයට හොඳයි කියලා. අනුරාධපුරය දාලා කොළඹ එන්න බැරි විශේෂ හේතුවකුත් මට තිබුණේත් නැහැ. මොකද ඒ වියළි පරිසරේ පොඩි කාලයේ ඉඳන් හැදුණු වැඩුණු මට විඳින්න තිබුණු විශේෂ සුන්දරත්වයකුත් නැහැ. කිසිම සමීප සබන්ධතාවයක් නොතිබුණත් අවසානයේ මම කොළඹ එන්න තීරණය කළා. ඒ ඇවිත් මාස තුනක් විතර බෝඩිමක නතර වෙලා තමයි 'විවරණ' රැකියාවට ආවේ, ගියේ. මාස තුන ගතවෙන කොට මට බෝඩිම් ජීවිතය තිත්ත වෙලායි තිබුණේ”.

මේ කාලය වන විට නන්දන මාරසිංහ, සුනිලා අබේසේකර මෙන්ම ලීනා අයිරින් හපුතන්ත්‍රී ද ජනතා විමුක්ති පෙරමුණේ කටයුතුවලින් ඉවත්ව සිටි අතර ලීනා අයිරින් කාන්තාව හා මාධ්‍ය සාමුහිකයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිනියක ලෙස කටයුු කළාය. සීතා දැන හඳුනාගෙන සිටි ලීනා ඇගේ නවාතැන් ප්‍රශ්නයට විසඳුමක් ලෙස එවකට රාජගිරියේ පවත්වාගෙන ගිය කාන්තාව හා මාධ්‍ය සාමුහිකයේ කාර්යාලයේ කාමරයක් සීතා වෙනුවෙන් පිළියෙළ කර දුන්නේ ඒ අනුව ය.

“එතැන මට හරි නිදහස් තැනක් වුණා. අද දක්වාම තනියම ජීවත්වෙන්න, සියළු දේම තනිවම කරගන්න මම පුරුදු වුණේ එතැනදීයි" සීතා අවර්ජනය කරන්නී ය.

ලීනා අයිරින් හපුතන්ත්‍රී

leena irin haputhanthri"ලීනා සතියකට දවසක් එතැන නවතිනවා. අපි බොහෝ දේ කථා කරමින් ඒ රාත්‍රීන් ගෙවලා දැම්මා. හරිම සුන්දරයි. විවරණ කාර්යාලය තිබුණු ගොඩනැගිල්ලේම තමයි ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය (MDDR) කාර්යාලය තිබුණේ. විමල් ප්‍රනාන්දු, එස්. ජී පුංචිහේවා, සිවගුරුනාදන් වගේ අය හමුවුණේ එතැනිදීයි. ඒ ගොල්ලෝ මට MDDR එකේ සාමාජිකත්වය පවා දුන්නා. විවරණට හිටියේ කුඩා කාර්ය මණ්ඩලයක්. ප්‍රධාන සංස්කාරක වින්සන්ට් කුරුඹාපිටිය. යසලාල් වන්නිආරච්චි, කරඹේ ගුණානන්ද හාමුදුරුවෝ, පුෂ්පා රම්ලිනි රත්නායක සහ මම සෙසු සංස්කාරකවරුන් විදියට වැඩ කළා. විවරණේ වැඩවලට අමතරව මම නිවාඩු වෙලාවට ලීනාලාගේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ වැඩවලටත් සම්බන්ධ වෙනවා. එතැනින් පළ කරපු 'ශක්ති' සඟරාවේත් මම මූලික වැඩ කොටසක් කළා. ඒ නිසා සති අන්තය ගෙවුණේ සාමුහිකයේ වැඩසටහන්වලින්. ඒ වැඩසටහන්වලදී තමයි මට රොහාන් පෙරේරා, දීප්ති කුමාර ගුණරත්න, කේ. කේ. සමන් කුමාර වගේ අය හඳුනාගන්න ලැබෙන්නේ. මේ වෙනකොට මට කවි කෙටිකථා වගේ නිර්මාණ 'ඇත්ත' පත්‍රයට ලියන්නත් අවස්ථාව ලැබුණා. මේක දැකපු 'මාවත' සඟරාවේ පියල් සෝමරත්න මාව හමුවෙන්න විවරණට ආවා. පස්සේ මම ඒගොල්ලන්ගේ සාකච්ඡාවලට පවා ගියා. ඒ කාලයේ මගේ කවි පිටු දෙකකක්ම මාවතේ පල කළා.”

ලීනා අයිරින්ගේ මරණය

1983 ජුලි මාසයේ දියත් වූ දෙමළ සංහාරයෙන් පසු ජයවර්ධන ආණ්ඩුව විසින් තහනමට ලක් කෙරුණු ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව සන්නද්ධ ක්‍රියා මාර්ගවලට අර අඳිමින් සිටි වකවානුව එළඹියේ මේ කාලයේ ය. ලීනා අයිරින් හපුතන්ත්‍රී රාජගිරියේ දී හදිසි අනතුරකට ලක්වී මිය ගියාය. ඒ දිනවල ලීනා ඇසුරු කළ බොහෝ සමාජ ක්‍රියාධරයන් සැක කරන ලද්දේ එය ජනතා විමුක්ති පෙරමුණේ සැලසුම් සහගත ක්‍රියාවක් බව ය. තහවුරු කළ හැකි සාක්‍ෂි නොවුණ ද, එසේ සැක කිරීමට හේතුවුයේ ඒ වන විටත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ පැහැරගෙන ගොස් ඝාතනය කරන්නට ජවිපෙ විසින් ක්‍රියා කළ නිසා ය.

“ලීනා ඇක්සිඩන්ට් වුණා කියල පණිවිඩය මට ලැබිලා එයාව බලන්න යන්න කියල කාන්තාව හා මාධ්‍ය සාමුහිකයේ මම නැවතිලා හිටිය කාමරයට ගියා. එතැන පොලිසියෙන් ඉඳලා මාව අත්අඩංගුවට ගත්තා. එහෙම අරගෙන මගේ සංවිධානය ගැන අහනවා. මෙතැන ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තැනක් ද කියලාත් ඇහුවා. ඔෆීස් එකේ තිබුණු සියළුම ලියකියවිලි පොලිසිය බාරයට ගත්තා. ඒ වෙනකොට සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ලියකියවිලි තිබුණේත් එතැනයි. ඒවත් අරගත්තා. මේ වගක් දන්නේ නැතුව රොහාන් පෙරේරා මෙතැනට ආවා. ඒ ලීනා ඇක්සිඩන්ට් වුනු පණිවිඩය කියන්න. ඒ පාර එයාවත් අත් අඩංගුවට ගත්තා. ඉන් පස්සේ අපි දෙන්නවම වැලිකඩ පොලිසියට අරගෙන ගියා. මේ දවස්වල සෑම සති අන්තයකම අපි සංවිධානය කරලා තිබුණා කවි ගැන වැඩසටහනක්. ඒක මෙහෙයවන්න සුනිල් විජේසිරිවර්ධන අනුරාධපුරේ ඉඳන් එදා රාත්‍රියේ මෙතැනට ඇවිත් තියෙනවා. ඉතින් රැකවල් ලාගෙන සිටි පොලිසිය එයාවත් පොලිසියට අරගෙන ආවා. කාන්තාව හා මාධ්‍ය සාමුහිකයේ ප්‍රධානියා හැටියට සුනිලා අබේසේකරව පොලිසියට ඉදිරිපත් කරන පොරොන්දුව මත සුනිල් විජේසිරිවර්ධන නිදහස් කළා. රොහාන් පෙරේරාවත් පසුව නිදහස් කරලා මාව විතරක් තියා ගෙන දිගින් දිගටම ප්‍රශ්න කරා. පොලිස් කණ්ඩායම් තුනක් ඇවිත් මුළු රැයක්ම ප්‍රශ්න කළා. ලීනාගේ බෑග් එකේ තිබිලා හමුවුණු ලිපියක් තමයි මේ දැඩි ප්‍රශ්න කිරීමට හේතු වුණේ.”

මේ ව්‍යාකූලත්වයට පසුබිම් වූයේ වෙනත් සිදුවීමකි. එවකට 'රාවය' සඟරාවට සත්‍යපාල ගල්කැටිය විසින් ලියන ලද ස්ත්‍රී විරෝධී ලිපියකට කාන්තාව හා මාධ්‍ය සාමුහිකය පිළිතුරු ලිපියක් මඟින් අභියෝග කොට ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කාන්තාව හා මාධ්‍ය සාමුහිකයේ කාර්යාලය වෙත පැමිණෙන ලෙස ඉල්ලා තිබිණ. ඊට පිළිතුරු ලිපියක් ලියු සත්‍යපාල ගල්කැටිය එම ඇරයුම ප්‍රතික්ෂේප කර සිටියේ “ඔවැනි මුඩුක්කුවලට” පැමිණිය නොහැක්කේ දයා පතිරණට සිදු වූ දේ තමාට ද සිදුවිය හැකි බව පවසමිනි. මේ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවීමට පොලිසිය උත්සුක වූයේ ලීනා හා මාධ්‍ය සාමුහිකය දයා පතිරණ ඝාතනයට සම්බන්ධ බවට සැක කරමින් ය.

නන්දන මාරසිංහ

nandana marasinghe cropped“කොහොම හරි දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පස්සේ අන්තිමට පොලිසියට තේරුණා අපි මේකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා. පසුව මාව නිදහස් කළා. මම පොලිසියෙන් එළියට එනකොට සුනිලා අබේසේකර පොලිසියට දුවගෙන එනවා. ඊට පස්සේ මම කෙලින්ම ගියේ හොස්පිටල් එකට ලීනා බලන්න. එදා දවසම ලීනා ළඟ හිටියා. එයාව පාර පනින කොට කාර් එකක හැප්පිලා, වැදිලා තිබුණේ ඔළුව. අනතුරින් පස්සේ එයාට සිහිය ආවේම නැහැ. පහුවදා එයා මියගිහින් තිබුණා. ඇත්තටම පසුව සොයා බලද්දී කාටත් වැටහුණා ඒක ජවිපෙ සැලැස්මක් නෙමේ කියලා. ”

කිවිඳියක වන ලීනා අයිරින් හපුතන්ත්‍රී මිය යන විට පුතුන් දෙදෙනෙකුගේ මවකි. ඇගේ සැමියා ද ඊට වසර කිහිපයකට පෙර මරණයට පත්විය. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිනියක් වූ ඇය මතවාදීමය ගැටළු හේතුවෙන් ඉන් ඉවත්ව කාන්තා අයිතීන් වෙනුවෙන් ක්‍රියාකාරීවන්නට විය. මාධ්‍ය ඔස්සේ කාන්තාවන්ට වන නොසළකා හැරීම් පිළිබඳ වාර්තා ඇතුළත් 'මාධ්‍ය නිරීක්ෂණ' සංස්කරණය කරන ලද්දේ ද ඇය විසිනි.

"ලීනා කියන්නේ ශක්තිමත් ගැහැණියක්. එයා ලියන්න, ස්වාධීනව වැඩ කරන්න පටන්ගත්තා විතරයි, එයා නැතිවුණා. පස්සේ මම මුලික වෙලා ලීනාගේ කවි එකතු කරලා 'ගර්භිතයාගේ නිදි නැති රාත්‍රිය' කියලා පොතක් කාන්තාව හා මාධ්‍ය සාමුහිකයේ මූලිකත්වයෙන් ප්‍රකාශයට පත් කළා.”

'සංකලන' සංස්කරණය

කාන්තාව හා මාධ්‍ය සාමුහිකය තුළ මෙන්ම මර්ජ් සංවිධානය, සාමය සඳහා කාන්තාවෝ වැනි සංවිධාන තුළ ද ක්‍රියාකාරී වූ සීතා රංජනී 'විවරණ' සඟරාවෙන් ඉවත් වන්නේ ද කාන්තා අයිතීන් පිළිබඳ ඇය දරණ ස්ථාවරයන් වෙනුවෙනි.

“විවරණේ මම වැඩ කළේ මගේම වැඩක් විදිහටයි. අදාළ නැති වුණත් විවේක තියෙන වේලාවට එහි තිබුණු ඕනෑම වැඩක් කිරීම මගේ සිරිතක්. 1987 අවුරුද්දේ දවසක මට කාන්තාව හා මාධ්‍ය සාමුහිකයේ වැඩක් තිබුණා. වැඩ අවසන්ව ඒකට යන්න කියල සුදානම් වෙනකොට අපේ කතෘ වින්සන්ට් කුරුඹාපිටිය මට කිව්වා එකවුන්ට් වගයක් තියෙනවා පිළියෙළ කර දෙන්න කියලා. වෙන දිනවලත් මම ඒ එකවුන්ට්ස් හදලා දෙනවා. මම කිව්වා මට අද නම් බැහැ කාන්තා සංවිධානයේ වැඩක් තියෙනවා යන්න ඕනේ කියල. එතකොට එයා කියනවා ඔයාගේ කාන්තා විමුක්තියෙන් මට වැඩක් නැහැ, මේ එකවුන්ට්ස් ටික හදල දෙන්න කියලා. ඔයාගේ පුරුෂාධිපත්‍යයට ‍මම බය නැහැ කියලා එළියට බැහැලා මම ආවේ රස්සාවටත් ආයුබෝවන් කියලා. ඊට පස්සේ කාලෙකට මම විවරණ ඔෆීස් එක පැත්තටවත් ගියේ නැහැ. එන්න කියල පණිවිඩ පිට පණිවිඩ එව්වාත් මම ගියේ නැහැ.”

චාල්ස් අබේසේකර

charles abeysekaraවිවරණ සඟරාවෙන් සීතාගේ රැඩිකල් නික්ම යාම කොළඹ කේන්ද්‍රීය සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයන් තුළ කතාබහට මෙන්ම ඇගයුමට ද ලක් විය. අනෙක් අතට ඇයට ජීවත් වීමේ අර්බුදයකට ද මුහුණ දෙන්නට සිදු විණි. ඇයට මර්ජ් සංවිධානයේ ප්‍රධානි චාල්ස් අබේසේකර හමුවූයේ එවකට මර්ජ් සංවිධානයේ සහකාර ලේකම් වූ සී. ජේ අමරතුංග හරහා ය.

“චාලි හරිම නිහතමානී කෙනෙක්, අනෙකාට ගරු කරන, ඇහුම් කන් දෙන නිවුණු කෙනෙක්”, ඈ කියයි.

ජනවාර්ගික සමගිය වෙනුවෙන් සාහිත්‍යකරණයේ යෙදෙන නිර්මාණකරුවන් දිරි ගැන්වීම උදෙසා ඔවූන්ගේ නිර්මාණ හදුන්වා දෙන සඟරාවක් මුද්‍රණය කිරීම ඇයට භාර කෙරිණි.

“අත් අකුරින් ලියල පිටු 16 ක සඟරාවක් කළා. පිටපත් 1000 ක් විතර, ජනවාර්ගික සාමය උදෙසා නිර්මාණකරණයේ යෙදෙන නිර්මාණකරුවන්ට තැපැල් කළා. හරිම අමාරුයි එක දිගටම ලියන එක. දැන්නම් හිතාගන්නවත් බැහැ එහෙම දෙයක් කරන්න. මොන තරම් අමාරු වුණත් වැඩේ අත් ඇරියේ නැහැ. බිම දණ ගහගෙන ලිව්වා. එක දිගටම වැඩ කළා. ඒ දවස්වල දැන් වගේ නෙවෙයි, අතින්ම තමයි ලේ අවුට් කරන්නෙත්. 'සංකලන' නමින් කරපු මේ සඟරාව මේ විදිහට කළාප 10 ක් කළා. මේකට මට ගෙවීමක් ලැබුණා. මේ අතර ආයතන ගතව නොවුණත් ස්ත්‍රී මධ්‍යස්ථානයේ “ ශක්ති” කියල සඟරාවක් කරන්නත් මට අවස්ථාව ලැබුණා. ඒක නම් ටයිප් කරලා රෝනියෝ මුද්‍රණයෙන් තමයි එළි දුටුවේ. ඒක කරනවාටත් මට ගෙවීමක් ලැබුණා. ඊට අමතරව කාන්තාව හා මාධ්‍ය සාමුහිකයෙන් ප්‍රකාශයට පත් කළ 'ධරණී' සඟරාව සංස්කරණයටත් මම දායක වුණා. ඒක ඒ වකවානුවේ තිබුණු හොඳ සඟරා අතරින් එකක් ලෙසයි සැලකුණේ.”

භීෂණ සමය

ඒ වන විට මර්ජ් සංවිධානය හරහා කෙටි පුවත් හසුනක් මුද්‍රණය වෙමින් තිබිණි. ඒ රජය නොවන සංවිධානයන්හි විවිධ ක්‍රියාකාරකම් වාර්තා කරනු පිණිස ය. “යුක්තිය” නම් වූ එම පුවත් හසුන සංස්කරණය කරනු ලැබුයේ සුනන්ද දේශප්‍රිය විසිනි. බොහෝ අවස්ථාවන්හිදී කුසල් පෙරේරා ද ඊට දායක විය.

“දෙමළ නිර්මාණකරුවන්ගේ කවි කෙටි කථා හොයාගෙන ගිහින් ‘ සංකලන’ සඟරාවේ මම පළ කළා. සිවගුරුනාදන් මට මේ සඳහා සෑහෙන්න උදව් කළා. සිවා හඳුන්වා දුන් කෙනෙක් තමයි ගුවන් විදුලියේ කුගමුර්ති. රාජනී තිරාණගම දවස් 60 සමරුවට යාපනේ ගිය වෙලාවේ අපි ලොකු පෙළපාලියක් පැවැත්වුවා. එතකොට ඉන්දියන් හමුදාවත්, කොටි සංවිධානයත් යාපනේ හිටියා, එදා මම නතර වුණේ යාපන සරසවියේ හොස්ටල් එකේ. එතකොට චේරන්ගේ නංගි අව්වෙයි හිටියේත් හොස්ටල් එකේ. එයාගෙන් යම් තොරතුරු ටිකක් දෙමළ නිර්මාණකරුවන් ගැන දැන ගන්න ලැබුණා. පස්සේ මමයි කුගමුර්තියි ගියා 'සැටර්ඩේ රිවීව්' පත්‍රයේ දෙමළ ප්‍රකාශණය වන “තිසෙයි” වලට. එකේ පරණ පත්තරවලින් අපිට හොඳ කෙටි කථා 10 ක් 12ක් විතර හොයාගන්න ලැබුණා. කුගමුර්ති එක්ක එකතුවෙලා ඒවා පරිවර්තනය කරලා අපි 'සංකලන' සඟරාවේ පළ කළා. එ්ත් 1990 දී කුගමුර්ති අතුරුදහන් වුණා. අද වෙනකම් තොරතුරක් නැහැ එයාට මොකද වුණේ කියලා.”

ඉන්දු - ලංකා සාම ගිවිසුම මුල්කොට ගනිමින් ඊට එරෙහිව දකුණේ කැරළිකාරීත්වය පුපුරා ගියේ 1987 ජූලියේදී ය. ගිවිසුමට පක්ෂපාතීවුන් දේශද්‍රෝහීන් ලෙස නම් කළ ජනතා විමුක්ති පෙරමුණ සිය ආණ්ඩු විරෝධී යුද ව්‍යාපාරයේ ප්‍රධාන ඉලක්කයක් බවට පෙරළා ගන්නා ලද්දේ සුළුතර ජන කොටස්වලට කිසියම් හෝ විසඳුමක් ඉන්දු-ලංකා ගිවිසුම ඔස්සේ ලබාදීමට මුල් වූ වාමාංශික සහ විකල්ප සමාජ ක්‍රියාකාරිකයන් ය. ඒ හේතුවෙන්ම මර්ජ්, MDDR හා කාන්තාව හා මාධ්‍ය සාමුහිකය වැනි සංවිධාන වැටුණේ ද 'දේශද්‍රෝහීන්ගේ' කඳවුරට ය.

ප්‍රගීත් එක්නැලිගොඩ

prageeth ekneligoda cropped“මේ වෙනකොට අපිටත් දේශද්‍රෝහී ලේබලය වැදිලා තිබුණේ. මේ දවස්වල අපේ ගෙදර අම්මලා බයවෙලා මගේ වැඩ නිසා. මගෙන් අහන්නෙත් නැතුවම, මගේ ගෙදර තිබුණු නිර්මාණ ඔක්කොම ගිනි තියලා දාලා. ඒ දවස්වල ටෙලිෆෝන් තිබුණෙත් නැහැනේ කතා කරලා අහන්න. අන්තිමේදී ඒ භීෂණයත් එක්ක මගේ නිර්මාණ ඔක්කොම මට අහිමි වුණා. නමුත් භීෂණය දරුණු වුණා කියල අපි අපේ වැඩ නතර කළේ නැහැ. නන්දන මාරසිංහ, විජය කුමාරතුංග, ජේමිස් ඇතුගල ඇතුළු ප්‍රගතිශීලී පිරිස් එහි ප්‍රතිඵලයක් විදියට ඝාතනය වුණා. විජයගේ මළ ගෙදරදී අපි විජයගේ ප්‍රකාශයක් බෙදුවා. මායි ප්‍රගීත් එක්නැලිගොඩයි , සී ජේ අමරතුංගයි , නිර්මාල් රන්ජිත් දේවසිරියි එකතු වෙලා තමයි ඒක කෙරුවේ.”

මේ වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කණ්ඩායම් මඟින්ද පුද්ගල ඝාතන සිදු කෙරිණි. දෙපාර්ශවයම විසින් සිදුකෙරෙන ඝාතන නවත්වන ලෙස ඉල්ලා මර්ජ් සංවිධානය විසින් පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරන්නට තීැණය කරන ලද්දේ ඒ නිසා ය. සීතා රංජනී ඊට ද මුල් විය.

“දේශපාලන ඝාතන නවතනු! කියන පෝස්ටරය නිර්මාණය කරේ ප්‍රගීත් එක්නැළිගොඩ. ප්‍රගීත්ව මම අඳුනා ගත්තේ අමරේ හරහා. ඒ දෙන්නා සමාන්තර දේශපාලන කණ්ඩායම්වල වැඩ කරලා තියෙනවා. මටත් මේ වැඩේට සහභාගිවෙන්න ලැබුණේ පෝස්ටරය සිල්ක්ස්ක්‍රීන් මුද්‍රණයෙන් කරන්න යෝජනා වී තිබුණු නිසා. ඒ වෙනකොටත් මම කාන්තාව හා මාධ්‍ය සාමූහිකය හරහා පාකිස්ථානයට ගිහින් සිල්ක්ස්ක්‍රීන් මුද්‍රණය ගැන පාඨමාලාවක් කරලා තිබුණ. එක තමයි මගේ පළමු විදේශ සංචාරය. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ඔෆිස් එකේ අපි රෑ දෙක විතර වෙනකම් වැඩ කළා. ප්‍රගීත්, අමරේට අමතරව කුමුදුනි සැමුවෙල් (කුමී) අපිත් එක්ක හිටියා. ඒ වෙනකොට පුල්සරා ලියනගේලා ගොඩනඟා තිබු “ලක් බිමේ මව්වරු සහ දියණියෝ” කියන සංවිධානයෙනුත් මේ වගේ පෝස්ටරයක් නිර්මාණය කළා. “මරුවන් බිලිගත් දරුවන් කෝ?” කියල එකත් මුද්‍රණය කිරීම අපිට තමයි පැවරුණේ. ප්‍රගීත්, අමරේ, කුමී සහ මම එකටත් මැදිහත් වුණා. ස්වාධින ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී ශිෂ්‍ය පිරිස් තමයි ඒක ඇලෙව්වේ.”

'යුක්තිය' බිහිවීම

1989 භීෂණයෙන් දිවි ගළවාගැනීමට සීතා සමත්වුව ද අවදානම් කලාපයේම තවදුරටත් ගැවසෙන්නට ඇයට සිදු විය. 1990 වන විට මර්ජ් සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරමින් තිබුණු 'යුක්තිය' නම් පුවත් හසුන හා 'සංකලන' නම් කලා නිර්මාණ අතිරේකය එක්කොට වෙළඳපොළට නිකුත් කළ හැකි පුවත් පතක අවශ්‍යතාවය පිලිබඳ යෝජනා ඉදිරිපත් කෙරුණේ ඒ කාලයේදී ය. ඒ අනුව ටැබ්ලොයිඩ් පුවත්පතක් ලෙස මුද්‍රණය කරන ලද 'යුක්තිය', එම වසරේ මැයි දින රුළියේදී පාඨකයන් අතරට පත් කෙරිණි.

“මුලින්ම පත්තරේට හිටියේ මමයි සුනන්දයි විතරයි. මට භාරවුණේ සාහිත්‍ය කලා කොටස සංස්කරණය කරන්නයි. බෙදාහැරීම් කළේ මර්ජ් එකේ ජෝශප්. මාස දෙකකට විතර පස්සේ තමයි සී. ජේ. අමරතුංග, අමරේ, නිර්මාල්, ජෝ සෙනෙවිරත්න පත්තරේට ලියන්න සම්බන්ධ වෙන්නේ. කෙටි කාලයකින් පස්සේ පත්තර අලෙවිය විධිමත් කරන්න සරත් සාරංගව බඳවා ගන්නවා. ඊ ළඟට සී දොඩාවත්ත යුක්තියට එකතුවෙනවා. ඊටත් අවුරුද්දකට විතර පස්සේ තමයි සමන් වගාරච්චි සම්බන්ධ වෙන්නේ. පරිසර ව්‍යාපෘතියක වැඩ කර කර හිටිය සමන්ව යුක්තියට අරගෙන එන්නේ සුනන්ද. ඒ වෙනකොට පත්තරේ පිටු සැළසුම් කරන්නේ ඒ කාලේ ඇඩ්වර්ටයිසින් ක්‍ෂේත්‍රයේ හිටපු සඳරුවන් සේනාධීරයි. එයාගේ ගාන සැරයි. ඒ හින්දා රවී චන්ද්‍රලාල්ව පිටු සැළසුම්වලට බඳවා ගන්නවා. රවී ඒ වෙනකොට දැන්වීම් ප්‍රචාරක ආයතනයක වැඩ කරලා තිබුණේ. එයාගේ වේගය මදි පත්තරේකට. රවී වැඩේ අල්ලා ගන්නකම් එයාට උදව් කරන්න අපිට සිද්ධ වුණා.”

සුනන්ද දේශප්‍රිය

sunanda deshapriya 1992යුක්තිය පුවත්පත මුද්‍රණය කරනු ලැබුවේ 1971 ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකු ලෙස ක්‍රියාකළ කෙලී සේනානායකට අයත් දෙහිවල 'නවමඟ' මුද්‍රණාලයේ ය. 1991 වසරේ එවකට ජනාධිපති ප්‍රේමදාස 'නවමඟ' මුද්‍රණාලයට සීල් තබන ලද්දේ 'යුක්තිය' පත්‍රයේ මුද්‍රණය වෙළක්වන අදහසිනි. එහෙත් වෙනත් මුද්‍රණාලයක් මගින් 'යුක්තිය' මුද්‍රණය කර වෙළඳ පොළට නිකුත් කෙරිණි. ප්‍රේමදාසගේ එම ක්‍රියාවත් සමගින් 'යුක්තිය' පාඨකයන් අතර තවත් ජනප්‍රිය විය.

මාධ්‍ය හා සමාජ ක්‍රියාකාරී ක්ෂේත්‍රයට සම්බන්ධවීමත් සමඟින් සීතා රංජනීට සිය නිර්මාණකරණයට තිබුණු ඉඩ ප්‍රස්තා ගිලිහී ගිය බව ඇතැම්හු කියති. ඒ හමුවේ ඇගේ පිළිතුර තියුණු ය.

“මම පොඩි කාලේ ඉඳලම අදහස් කලේ කිසියම් පොදු සාමුහික වැඩක යෙදෙන්න. ඒ හින්දා මම සමාජය වෙනුවෙන් මගේ ශක්ති ප්‍රමාණයෙන් වැඩ කළා. මටත් තිබුණා ගෙයක් ඇතුළකට වෙලා ඉඳන් නිර්මාණ කරමින් පොත් අච්චු ගහන්න. පොත් ප්‍රකාශකයෙක් මාව හමුවෙන්න දින කිහිපයක්ම ඇවිත් මගේ නිර්මාණ ඉල්ලුවා පළකරන්න. ඒත් මට හිතුණා මගේ නිර්මාණ පොතක් විදිහට පළකරන්න තරම් උසස් තත්ත්වයේ නැහැ කියල. මම දායකවුනේ පොදු වැඩවලට. මම ඒකෙන් තෘප්තිමත්. දෝංකාරය: යුධ බිමෙන් උපන් කවි, කතාකරන ගිනි දැල්,රාමන්: දෙමළ ගරිල්ලෙකුගේ කතාව, තන්ගම්මා (ගීත රචනා) , බැරි බර ගෙනියන්නෝ (ගුවන් විදුලි නාට්‍ය) යක්කු (දෙමළ කෙටි කථා එකතුව) සුනාමි වැන්දඹුවෝ, වගේ මම පළ කරපු හැම ප්‍රකාශණයක්ම ඉදිරිපත් වෙලා තියෙන්නේ සමාජ වැඩක ඵලයන් විදිහට", ඇය කියයි.

යළිත් රෝගාතුරව

ගී පද රචනා අතර ද සීතාගේ නිර්මාණයන් බොහෝ දුරට පදනම් කරගෙන ඇත්තේ ජනවාර්ගික සමගිය පිළිබඳ තේමාවන් ය.

“මම රජරට සේවයේදී රචනා කරපු සින්දු කීපයක් දිවුල්ගනේ පටිගත කළා. ඒත් ඒවා අද හොයා ගන්න බැහැ. නන්දන මාරසිංහගේ ‘ කාලයේ රාවය” ප්‍රසංගයට මම ලියපු “අන්දර ලන්දේ දෙයියෝ” මුලින්ම ගායනා කළේ සන්ධ්‍යා බුලත්සිංහලයි. පස්සේ ඒක චරිතා ප්‍රියදර්ශිනි පීරිස් ගායනා කළා. “ 'එලොව මෙලොව' කියන ගීතය මුලින්ම ගායනා කළේ ඒ කාලයේ විමුක්ති ගී ගායනා කළ තිලක් ඉද්දමල්ගොඩයි. ඒක පස්සේ කාලෙක 'ආරාධනා' වැඩසටහනට ගුණදාස කපුගේ ගායනා කළා. 'වහින්නේ එදා මල් වරුසාවමයි' කියන ගීතය දීපිකා ප්‍රියදර්ශිනි පීරිස් විසිනුත්, ‘ කක්කුටි' ගීතය ප්‍රදීපා ධර්මදාසත් ගායනා කරනවා. අනුෂා නානයක්කාර සමඟ එඩ්වඩ් ජයකොඩි සින්දු දෙකක් කියල තියෙනවා. 2000 දී ඒඩ්ස් දිනය නිමිත්තෙන් මගේ රචනයක් තමයි ඇන්තනි සුරේන්ද්‍රගේ හඬින් ගැයෙන්නේ. චන්ද්‍රපාල කුරුවිටගේ සංගීතවත් කළ මගේ ගීතයක් වන 'නෑදෑයෝ අපි නෑදෑයෝ' නිර්මාණය වුනේ යොවුන් පුරය වෙනුවෙන්. ඒක තරුණ සේවා සභාවේ යොවුන් ගී කණ්ඩායම ගායනා කරනවා. කාන්තාව හා මාධ්‍ය සාමූහිකයෙන් 2015 දී කළා මැතිවරණවලදී කාන්තා අපේක්ෂකත්වය වැඩි කිරීම අරමුණ කරගෙන ප්‍රචාරාත්මක ගීතයක් නිර්මාණය කිරීමේ වැඩසටහනක්. මේකට නිලාර් එන්. කාසිම් ඇතුළු ගීත රචකයෝ දහ දෙනෙක් විතර හිටියා, ඒ අතරින් මගේ රචනය තමයි තේරුණේ. “අපේ චන්දෙ අපි දෙනවා සහෝදරීට” එම් ජී ධනුෂ්ක සමග කේ. සුජීවා තමයි මේ සින්දුව ගායනා කළේ. මම රාජනී තිරාණගම වෙනුවෙන් වරක් සින්දුවක් ලිව්වා. ඒක නවරත්න ගමගේ සංගීත නිර්මාණයත් කරලා තිබුණේ. මට ඕනේ උනේ එක සුනිලාගේ කටහඬින් ගයන්න. ඒත් තිබුණු වැඩත් එක්ක සුනිලාට ඒක කරන්න බැරිවුනා ඒ දවස්වල."

seetha lasantha waruna 2001
සීතා රංජනී, ලසන්ත වික්‍රමතුංග සහ වරුණ කරුණාතිලක - 2001

නුහුරු විවේකී දිවිය

1998 වසර සීතාගේ ජීවිතයට තීරණාත්මක වසරක් වූයේ ඒ ඇය බරපතල ලෙස රෝගාතුර වීමෙනි. පසුව ඇය පිළිකා රෝගයෙන් පෙළෙන බවට වෛද්‍යවරුන් විසින් තහවුරු කරන ලද විට සීතා ඊට මුහුණ දුන්නේ දැඩි අදිටනින් යුතුව ය. ඒ දිගින් දිගටම ලේඛනයේ යෙදීමෙනි. 'දෝංකාරය' නමින් පළ කළ කෘතිය ඇය අතින් ලියැවුණේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

“කොහොම නමුත් අදත් මම දිගින් දිගටම වෙහෙස නොබලා වැඩ කරනවා. විවේකය කියන එක මගේ ජිවිතයට නුහුරු දෙයක් වගේ.”

මාධ්‍යවේදිනියක් ලෙසින් සීතා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භයේ සිට අද දක්වාම ක්‍රියාකාරිනියක්ව සිටින්නීය.

“අනෙක් මාධ්‍ය සංවිධානවලට සාපේක්ෂව ගත්තහම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ස්ත්‍රී පුරුෂ සමාජභාවී තුලනය පිළිබඳව යම් තරම් දුරකට සංවේදියි. ඒත් ඒක ප්‍රමාණවත් නැහැ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේත්, යුක්තිය පත්තරෙත් මම වැඩ කරේ බහුතරයක් වුනු පිරිමින් එක්ක උරෙන් උර ගැටෙමිනුයි. යම් කනගාටුදායක දේ තිබුණත් මට ශක්තියක් තිබුණා අද වෙනකම් අවුලක් නැතුව මේ ක්ෂත්‍රයේ වැඩ කරන්න” ඇය කියයි.

2015 වසරේදී යළිත් රෝගාතුර වූ ඇය එතැන් සිට මේ දක්වා අඛණ්ඩව ප්‍රතිකාර ලබන්නීය. තිස් අට වසරක් තිස්සේ මාධ්‍යවේදිනියක් හා සමාජ ක්‍රියාකාරිණියක් වශයෙන් ගෙවූ දුෂ්කර හා සක්‍රීය දිවිය පිළිබඳ සීතා රංජනීගේ ආවර්ජනයන් දශක තුනක් පිළිබඳ වැදගත් දේශපාලන හරස්කඩකි. ප්‍රචණ්ඩත්වයෙන්, භීෂණයෙන්, වර්ගවාදයෙන් හා සංහාරයන්ගෙන සළකුණු වූ ඒ දශක තුන දෙස ආපසු හැරී බලන ඇය, ඉන් ඇතැමෙක් පිළිබඳ මතකය මිතුරු බැතියෙන් සමරන්නී ය.

“මගේ මාධ්‍ය ජීවිතයට ඇත්තෙන්ම නම් රුකුළක් වුනේ රජරට සේවයේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයි. මගේ හැකියාවන් දියුණු කරගන්න ඔහු කළ අගය කිරීම් වගේම මට දුන්නු නිදහසත් ඉතාමත් වටිනවා. සමාජ ක්‍රියාකාරිනියක් ලෙස වැඩෙන්න මට ආලෝකයක් වුණේ සුනිලා අබේසේකර සහ කුමුදුනී සැමුවෙල්. ඔවුන්ගෙන් ලැබුණු දැනුම අදත් මට ශක්තියක්.”☐

© JDS

සංවාද සටහන: අතුල විතානගේ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top