Aug 21, 2017

කාබනික වී ‍ගොවිතැන සාර්ථකයි Featured

කාබනික වී ‍ගොවිතැන මෙරටට හිතකරම වගා ක්‍රමය බව පසක් කරමින් පසුගියදා රජරට ප්‍රදේශයේ කාබනික වී ගොවිතැනේ යෙදුනු ගොවීන් සාර්ථක අස්වැන්නක් නෙළාගනු ලැබීය.

එය ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැගුණු " වස විස නැති රටක්" තුන් අවුරුදු ජාතික සැලැස්මේ තවත් එක් කඩයිමක්ද විය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඔුලාගල කොට්ඨාශය සහ ත්‍රිකුණාමලය පදවිය කොට්ඨාශයට අයත් ගොවීන්ගේ වී අස්වැන්න පිළිබදව කරන ලද සමීක්ෂණ ඔස්සේ කාබනික වගාවේ ඇති හිතකර තත්ත්වය පිළිබදව මෙහිදී අනාවරණය කර ගන්නා ලදි.

මෙම අවස්ථාවට මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව , ප්‍රදේශයේ ගොවිජන සේවා කාර්යාල, වෙනත් ගොවි  සංවිධාන, උපායමාර්ගික හා ව්‍යවසායකත්ව කළමනාකරණ ආයතනය සහ සිවිල් ආරක්ෂක බලකාය යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් රැසක් සහභාගී වූහ.
 
කබනික වී වගාව

කාබනික වී වගාවේදී ස්වභාවික ද්‍රව්‍ය භාවිතයෙන් සාදාගත් පොහොර වර්ග සහ දියර වර්ග පමණක් යොදා ගනී.දිගුකලක් රසායනික ද්‍රව්‍ය යෙදවූ මෙම පස මේ වන විට නිස්සාර වී ඇති බැවින් එය යළි සරු පසක් බවට පත්කර ගැනීම ක්ෂණිකව කළ නොහැකිය.යෙදවුම් සහ ක්ෂුද්‍රජීව ක්‍රියාවලිය ඔස්සේ පස සාරවත් වීම වගාවාර වැඩිවීම අනුව සිදුවන්නකි.වී වගාවට යොදා ගතහැකි කාබනික පොහොර සදා ගැනීමට ගිනිසීරියා ,ගවමුත්‍රා ,අමුගොම , ඉදුණු පලතුරු , මාළු වැනි ද්‍රව්‍ය භාවිතයෙන් දියර පොහොර මෙන්ම කොම්පෝස්ට් වර්ග ද සකසා ගනී. මේවා විශාල ක්ෂෙත්‍රයකට කුඩා ප්‍රමාණයක් ප්‍රමාණවත්ය.උදාහරණයක් ලෙස මුහුදු මාඵ කිලෝ තුනකින් සාදාගත් මාළු දියර පොහොර ,වී අක්කරයකට ප්‍රමාණවත් වන්නේය.

පොළොන්නරුව දිඹුලාගල ප්‍රාදේශීය කොට්ඨාශය
මෙම  කොට්ඨාශයට අයත් ගොවීන් 50 වැඩි සංඛ්‍යාවක් කාබනික වගාවට යොමුව ඇත.ඒ අතරින් කරුණාසේන ගොවි මහතාට අයත් කුඹුරෙන් ලත් අස්වැන්නේ ප්‍රමාණය මත කාබනික වී වගාවෙන් අක්කරයකට වී බුසල් 115 ක් පමණ ලබා ගතහැකි බව නිර්ණය විය.

මේ අවස්ථාවේ වගාවේ වැදගත්කම පිළිබද අදහස් දැක්වූ මහවැලි බී ප්‍රධාන පුහුණු උපදේශක රසික රත්නායක මහතා,

"කාබනික පොහොර යෙදූ සහ රසායනික පොහොර යෙදූ ගොයම් ගසක වෙනස හරි පැහැදිලි.කාබනික පොහොර යෙදූ ගොයම් ගසේ ගැඹුරු මූළ පදිධතියක් තිබෙනවා.ඒ නිසා ජලය රදවා ගැනීමේ හැකියාව වැඩියි. කාලගුණ විපර්යාස ,රෝග වලට ඔරොත්තු දීම වැඩියි. පස සංතෘප්තයි. නමුත් රසායනික ද්‍රව්‍ය ‍වලින් සැදූ ගොයම් ගසේ කෙටි මූළ පද්ධතියක් තියෙන්නේ. කාබනිත ද්‍රව්‍ය ව්‍යාප්ත වී නැහැ. පැල ප්‍රමාණය බෙහෙවින් වැඩියි. ඒවගේම කාබනික වගාවේදී ස්වභාවිකවම පළිබෝධ නාශනය සිදුවීම වැදගත්.කාබනික වී වගාවේ යෙදීම ගොවියා ලබන විශාල ජයග්‍රහණයක්"  යනුවෙන් අදහස් දැක්වීය.

සිය වගාව පිළිබද අදහස් දක්වමින් කරුණාසේන ගොවි මහතා කියා සිටියේ  වස විස නැති වී හරියාකාරව විකුණා ගැනීම පිළිබදවද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතු බවයි.මෝල් හිමියන්ට විකිණීමේදී මෙම වී යළිත් රසායනික යෙදූ වී සමඟ කවලම් වීම අපරාධයක් බව ඔහු පවසයි.

වී අලෙවි කරගැනීමේ ගැටලුව පිළිබදව විමසීමේදී කොට්ඨාශ කළමනාකාර තුසිත හේරත් මහතා කියා සිටියේ  මහවැලි අධිකාරිය සහ වෙනත් අදාළ ආයතන එක්ව මේ සඳහා වැඩපිලිවෙලක් සකස් කරන බවයි.

SEMA2 670px 21 08 2017


ත්‍රිකුණාමලය පදවිය කොට්ඨාශය

ත්‍රිකුණාමලය පදවිය කොට්ඨාශයේ ගොවීන් සාපේක්ෂව වැඩි ප්‍රතිශතයක් කාබනික වී ගොවිතැන සඳහා යොමුවී සිටී.බෙත්මයකට අනුව අනුන්ගේ කුඹුරක් අස්වද්දා වගා කිරීමට සිදුව තිබියදීත් ගොවීන් මෙපමණ පිරිසක් කාබනික වී වගාවට යොමු වීම සුභදායී තත්ත්වයකි. පදවිය ශ්‍රීපුර ඩී 1 සහ ඩී 2 ඇළ ප්‍රදේශයෙන්  ලත් අස්වැන්න අනුව අක්කරයට ලබා දෙන වී ප්‍රමාණය බුසල් 177.5කි. මෙය ඉතා හොද මට්ටමක් බව දක්වන ත්‍රිකුණාමල ප්‍රධාන ගොවි පුහුණුකරු  කේ.ඩී සුනන්දලාල් මහතා පැවති ජල ගැටලුව පරදවමින් අස්වනු නෙලා ගෙන ඇති බව සඳහන් කළේය.

එමෙන්ම බිත්තර වී වගාව අක්කර 989 ක භූමි ප්‍රමාණයක සාර්ථකව සිදු කර ඇත. 50% ක දායකත්වය යටතේ ලබා දුන් බිත්තර වලින් මේ වන විට අක්කරයට බුසල් 118 ක අස්වැන්නක් ලබා ගන්නා අතර ඉදිරියේදී එය බුසල් 130-150 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව පදවිය මූලස්ථාන කෘෂි උපදේශක එස්.එම්.ඩී.එන් සෙනෙවිරත්න මහතා පැවසීය.

කාබනික වී වගාවේ යෙදෙන පදවිය,දිඹුලාගල ගොවීන් අනෙක් ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ අඩු වියදමකින් වැඩි අස්වැන්නක් මෙන්ම ස්ථාවර ආදායමක් ලබා ගත හැකි කාබනික ගොවිතැනට යොමුවන ලෙසයි.

 

SEMA1 670px 21 08 2017

 

 

 



Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top