Aug 28, 2017

සියාතුටයි මහා රාජාටයි එකම බද්ද

මෙම සතිය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා දේශපාලනයට තීරණාත්මක සතියකි. මන්ද යත් බදු සංශෝධන පනත් කෙටුම්පත මෙම සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ මගින් ලංකාවේ බදු ක්‍රමයේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට රනිල් මෛත්‍රී ආණ්ඩුව බලාපොරොත්තුවේ. නිදහසින් පසු නිදහස් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් මාර්ගය වනුයේ ජනතාවගෙන් අයකරන බදු මුදල්ය.

ශ්‍රී ලංකාවේ ජනතාව තුල බදු පිළිබඳ ඇති ආකල්ප යහපත් නොවීම නිසා, එසේම බදු ගෙවීමට ඇති ප්‍රදර්ශනාත්මක විරෝධා ආකල්ප නිසා මේ රටේ බිහිවු සියළුම ආණ්ඩු බදු සම්බන්ධයෙන් සිදු කරනු ලැබුයේ කොලේ වසා ගැසීමකි.

එහි අවසාන ප්‍රතිපලය රටේ බදු ආදායමින් 80%ක් පමණ වක්‍රබදු වන අතර සෘජු බදු ආදායම 20%කටත් වඩා අඩුවේ. එය විවෘත වෙළඳපොල ආර්ථිකයක් පවතින රටක විපරීත තත්වයකි. එය තවදුරටත් පැහැදිලි කරන්නේනම් රටේ හිඟන්නාගේ සිට ඉහලම ධනපතියා දක්වා සියළුම දෙනා ගෙවනු ලබන්නේ එක හා සමාන බදු මුදල් ප්‍රමාණයකි. උදාහරණයක් ලෙස ගතහොත් සීනි ආනයනය සඳහා විශාල බද්දක් රජය විසින් අයකරනු ලබයි. පරිප්පු හා අනෙකුත් ආහාර ද්‍රව්‍ය සඳහාද රජය විශාල බද්දක් අයකරනු ලැබේ. ඒවා වක්‍රබදු වේ. සීනි කිලෝවක් මිලදී ගන්නා හිඟන්නා ගෙවන බදු මුදලම, මහරාජා කොමිපැණියේ කෙලි මහෙන්ද්‍රන්ද සීනි කිලොවක් මිලදී ගැනීමේදී ගෙවයි. හිඟන්නාත් මහරාජාත් එකම සමාන බදු මුදලක් ගෙවීම සමාජ අසාධාරණයක් නොවන්නේද?  වක්‍රබදු මත ආණ්ඩුවේ ප්‍රතිපත්තිතය රඳවා තැබීමෙන් බදු ගෙවිය නොහැකි හිඟන්නා බදු ගෙවන අතර ගිනි තපින්නට සල්ලි තිබෙන මහරාජාලාද හිඟන්නා ගෙවන බදු මුදලම ගෙවයි. මෙම නිසා ආණ්ඩුවේ වක්‍ර බදු ආදායම ඉදිරි තෙවසර තුල 60%දක්වා අඩුකිරීමට නියමිත අතර සෘජු බදු ආදායම 40% දක්වා වැඩි කිරීමට නියමිතය.

නව බදු ක්‍රමය මගින් බදු ගෙවිය හැකි බදු ගෙවියයුතු ඉහල ආදායමි උපයන්නන් තම ආදායමට සාපේක්ෂව බදු ගෙවිය යුතු අතර දිළින්දන් හා අබාධිතයන් තමන්ගේ එදිනෙදා දෛනික අවශ්යතාවලදී සීනි කිලෝවට, පාන් රාත්තලට, පිටි කිලෝවට ගෙවන බදු මුදල පහල යනු ඇත. මෙම නව බදු පනත මගින් රටේ ආණ්ඩුවේ ආදායම ඉහල යන අතර බදු ගෙවිය යුතු බදු ගෙවිය හැකි ආදායම් උපයන්නන් බදු ගෙවන අතර බදු ගෙවිය නොහැකි බහුතර දුප්පත් ජනතාව බදු බරින් නිදහස් වනු ඇත.

මෙම බදු ක්‍රමයට විරුද්ධව බන්දුල ගුණවර්ධනත්, මහින්දලාගේ රාජපක්ෂවරුත්, විජේදාස රාජපක්ෂත්, දිනේෂ් ගුණවර්ධනත් තම ගොත්‍රික ආකල්ප අමතක කොට එකට අත්වැල් බැඳ ගෙන තිබේ. මහින්ද රජපක්ෂ හොරු බව කියා මහින්දගේ ආණ්ඩුවෙන් එළියට ආ අවශේෂ වලස්මුල්ලේ විජේදාස රාජපක්ෂ තම ගෝත්‍රික ආකල්පද නෙසලකා හරිමින්, අමතක කොට රාජපක්ෂවරු සමග අත්වැල් බැඳ ගැනීම දෛවෝපගත සිදුවීමකි.

පසුගිය විසිවසර තුල රටේ බදු ආදායම සීඝ්‍රයෙන් පහල ගිය අතර, පැවති ආණ්ඩු විසින් සිදුකරනු ලැබුයේ බදු ආදායම අමතක කොට ණය ලබාගෙන එමගින් රජයේ වියදම් පියවීමයි. මෙම අසීලාචාර මරි මෝඩ ක්‍රමවේදයේ තාර්කික අවසානයට රටත් ආර්ථිකයත් පත්ව තිබේ. තව දුරටත් ණය ලබාගැනීම මගින් රජයේ ආදායම පියවා ගැනීමේ හැකියාවක් ආණ්ඩුවට නැත.

 රාජපක්ෂවරු හා අවශේෂ විජේදාස රාජපක්ෂ ණයටගත් මුදලින් හොඳින් කා බී, විනෝද වී, හැකිතරම් හොරකම් කොට යටි මගඩි ගසා ඉන්පසු එම බිල්පත් මේ රටේ පොදු ජනතාවට ඉදිරිපත් කරිමන්  පොලිසිය හා අධිකරණය නොමග යවා එම අපරාධයන්ගෙන් නිදහස් විය.

මෙම තත්වය මත බදු ක්‍රමයේ යෝජිත සංශෝධනය තීරණාත්මක හා ඓතිහාසික වේ.
රටේ මුළු ජාතික ආදායමෙන් 50%ටත් වඩා බෙදී යන්නේ ධනවත් 20%ක් අතරය. මෙම ධනවත් 20% අතරින් බදු ලිපිගොනු විවෘත කර  ඇත්තේ 5% ප්රමාණයක් පමණි. එනම් මිලියන 22ක් වන මුළු ජනගහනයෙන් බදු ලිපි ගොනු ඇත්තේ මිලියනයක් පමණි. අප මගතොටේ දකින සුඛෝපගෝගී  රථවල ගමන් බිමන් යන, විශාල නිවෙස් වල වාසය කරන ලන්ඩන් සිංගප්පුරු සාප්පු සාවරි යන ධනපතියන් බොහෝ දෙනකු ගෙවන්නේ ඔබේ ගමේ සියතුලා, සයිමන්ලා ගෙවන වක්ර බදු ප්‍රමාණයමය.

රාජපක්ෂවරුන් යටතේදී ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තියේ මුලික පදනම වුයේ කොතරම් මුදලක් රාජපක්ෂවරුන්ට ගෙදර ගෙන යා හැකිද මිස රටේ සුභ සිද්ධිය නොවේ. එම අපරාධයට රාජපක්ෂවරු දඩුවම් ලැබිය යුතු වුවත්, අවශේෂ විජේදාස රාජපක්ෂ වැන්නවුන් ආණ්ඩුව ඇතුලේ සිට හොරුන් මංකොල්ලකරුවන් හා මිනීමරුවන් ආරක්ෂා කල බැවින් ආණ්ඩුව ඉදිරිපත් කරනු ලබන මෙම සාර්ථක බදු ක්රමයට විරුද්ධව හඩ නැගීමට ඉඩ ලැබී තිබේ.

එම නිසා රාජපක්ෂවරුනට එරෙහිව මීනිමැරුම් දූෂණයට වංචාවට එරෙහිව නඩු පවරා නීතිමගින් කටයුතු කරන අතරම හිතාමතාම රටේ බදු ක්‍රමය විකාරයක් බවට පත්කිරීමට සිදුකරන ලද කටයුතු වෙනුවෙන් ද දඩුවම් කල යුතුය.

පසුගිය රජය විසින් රටේ ආණ්ඩුවේ වියදම් වලින් 60%ටත් වඩා පාලනය කරනු ලැබුවේ රාජපක්ෂවරු පාලනය කරන ලද අමාත්‍යංශ හා ආයතන තුලින්ය. එනමුත් ආණ්ඩුවේ ආදායම ඉහල දමා ගැනීමේ කිසිදු ව්‍යාපෘතියක නිරත නොවු ඔවුන් චීන ණය මත පමණක් පදනම් කොටගෙන ආණ්ඩුවේ කටයුතු මෙහෙය වීය. අද එම පාපයත් මේ ආණ්ඩුවටත් ජනතාව මතත් පැටවී තිබේ.

එබැවින් රටේ බදු ක්‍රමය සංශෝධනය කොට විනිවිද පෙනෙන සමාජ සාධාරණය ඉෂ්ඨවෙන බදු ගෙවිය යුතු අය පමණක් ගෙවන වක්ර බදු ප්‍රමාණය අඩුම තරමේ මුළු බදු ප්‍රමාණයෙන් 60% දක්වා වත් අඩුවන සෘජු බදු ප්‍රමාණය 40% දක්වා ඉහල යන බදු ක්‍රමයට රට යොමු කල යුතුය.

- තුෂාර ඩී වන්නිආරච්චි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top