15976 BM WEB BANNER 01
Aug 30, 2017

පුද්ගලිකත්වයේ අයිතිය, ඉන්දියාව සහ අපි

සමාවන්න, ඔබත් හෝමෝෆෝබියාවෙන් පෙළෙන්නෙක් නම් මේ ලිපිය කියවා ඔබ කුපිත වන්නට ඉඩ තිබේ.!

“ලිංගික නැඹුරුතාවයේ නිදහස” (Freedom Of Sexual Orientation) ඉන්දියාවේ දැන් මූලික අයිතියකි. එනයින් එය ප්‍රේමයේ ජයග්‍රහණයකි.

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එරට ජීවත් වන සමරිසි පිරිමි (gay), සමරිසි ගැහැනු (lesbian), ද්වීලිංගික (bisexual) සහ සංක්‍රාන්ති ලිංගිකයන් (trans) හට සුරක්ෂිත ලෙස සිය ලිංගික නැඹුරුතාවය ප්‍රකාශනයට පත්කිරීමේ නිදහස ලබාදුන්නේය. මෙම ඓතිහාසික නඩු තීන්දුව ලබාදුන් විනිසුරු මඬුල්ලේ විනිසුරුවරු 9 දෙනෙක් වූහ. ඔවුන් ප්‍රකාශ කර සිටියේ රටේ ‘පුද්ගලිකත්වයට ඇති අයිතිය’ යටතේ මේ අයිතිය ද සුරක්ෂිත වන බවයි. නඩු තීන්දුවේ මෙසේ ද සඳහන් වේ. “ලිංගික නැඹුරුතාවය” පුද්ගලිකත්වයේ අත්‍යාවශ්‍ය ලක්ෂණයකි... ලිංගික නැඹුරුතාවය මත පුද්ගලයෙක් වෙනස්කොට සැලකීමට ලක්කිරීම, පුද්ගල අභිමානයට සහ ස්වයං වටිනාකමට එල්ල කරන දරුණු ප්‍රහාරයකි. සමාජය තුළ එක් එක් පුද්ගලයාගේ ලිංගික නැඹුරුතාවය උපරිම වශයෙන් සුරක්ෂා කළ යුතුය..”

2867e9016b66b85a0abb70d803ebf860 XLඉන්දියාවේ පුද්ගලික නිදහසේ අයිතිය, නීතියෙන් සුරක්ෂා කළ මානව හිමිකමකි. හෙවත් මූලික අයිතිවාසිකමකි. එනිසා මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ඉන්දියානුවන් අධිකරණ පද්ධතිය තුළ පවතින වෙනස්කොට සැලකීම් සහ දණ්ඩ නීති වෙනුවට පහසුවෙන් ආදේශ කළ හැකිය. ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය මගින් දක්වන්නේ සොබාදහමට පටහැණි හැසිරීමකින් හෝ අස්වාභාවික කාමයකින් කිසියම් පුද්ගයෙක් ස්පර්ශ කරන ඕනෑම පුද්ගලයෙකුට දඬුවම් පැමිණවිය යුතු බව’ ය. නමුත් 1860 වසරේ ඉන්දියානු නීති කොමිසමේ සභාපතිවරයා වූ මැකෝලේ සාමිවරයා විසින් මේ දණ්ඩන වගන්තිය හඳුන්වා දෙන විට සොබාදහමට පටහැණි හැසිරීම හෝ අස්වාභාවික කාමය යන්න කිසිදු විටෙක නිර්වචනය කළේ නැත. එම වගන්තියේ පරම අරමුණ සමකාමී ප්‍රජාව දඩයම් කිරීම පමණක් බව ඔවුන්ගේ කල්ක්‍රියාවෙන් නම් පෙනෙන්නට තිබුණේය. ඔවුන් අස්වාභාවික හැසිරීම යන්නෙන් අදහස් කළේ පටු නිර්වචනයකි. පසුව ඔවුන් 365(අ) වගන්තිය ලෙසින් ලංකාවට ආනයනය කළේ ද එකී අපැහැදිලි, නිරපේක්ෂ නිර්වචනයකින් තොර එම සමකාර්ය වගන්තියයි. එයට අනුව එබඳු හැසිරීම් දක්වන කිසිවෙකුට වුවද කස පහර පවා නියම කළ යුතුය! සමකාලීන ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද එදා තිබූ පරගැති ස්වභාවය නිසා, හිස කඳ දෙකට නමා තාන්න මාන්න ගත්තා විනා ලංකාවේ කිසිම නිලමේ කෙනෙකුට “එසේ නම් ස්වභාවික කාමය යනු කුමක් ද ස්වාමීනී?” යැයි ප්‍රශ්න කරන්නට තරම්වත් කශේරුවක් තිබුණේ ද නැත. ගැටලුව එය නොවේ. එයින් වසර එකසිය තිස් ගණනකට පසුව පවා, අද පවා අප එම ප්‍රශ්නය අඩු වශයෙන් අපෙන්වත් අසාගන්නේ නැත.

   මානව හිමිකම් ගැන ලෝක පරිමාණයේ අර්ථදැක්වීම අති විශිෂ්ට ය. ජගත් මානව හිමිකම් ප්‍රඥප්තිය මෙසේ පවසයි. “මානව හිමිකම් යනු මිනිසා මිනිසෙකු ලෙස උපත ලද නිසාම හිමිවන අනුලංඝනීය අයිතිවාසිකම් සමුදාය”කි. ඒ අයිතිවාසිකම් සමුදාය මහ සයුරක් නම්, ඒ සයුරෙන් ගත් කුඩා ජල දෝතක් පමණක් ලංකාව මූලික අයිතිවාසිකම් ලෙසින් රටේ මූලික නීතිය බවට පත්කරගෙන තිබේ. පුරවැසියාට විධායක හෝ පරිපාලනයේ යම් ක්‍රියාවක් නිසා සිය අයිතිවාසිකම් උල්ලංඝනය වේ නම් නඩු යා හැක්කේ, එසේත් නැතිනම් රජයට එරෙහිව නඩු පැවරිය හැක්කේ ඒ සීමිත අයිතිවාසිකම් කොටස උල්ලංඝනය වුවහොත් පමණි. රටේ වත්මන් මූලික නීතිය වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මිටින් ගත හැකි තරම් කුඩා ඒ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය තුළ ජීවත් වීමේ අයිතියවත් පුරවැසියාගේ මූලික අයිතියක් නොවේ. ජීවත්වීමේ අයිතිය මූලික අයිතියක් ලෙස එදා මෙදාතුර ලංකා නීතියේ පිළිගෙන තිබෙන්නේ මාක් ප්‍රනාන්දු ගෞරවනීය විනිසුරුවරයා විසින් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මගින් පමණි. එහෙත් එය වක්‍රාකාර විවරණයක් වන හෙයින් සහ නඩු තීන්දු නීතිය, නීති මූලාශ්‍රයක් ලෙස අධිකරණය ඉදිරියේ ගිරිය කඩාගෙන කෑ ගසමින් තීන්දු උපුටා දක්වමින් දිනාගත යුතු දෙයක් වන හෙයින් මේ අයිතිය ව්‍යස්ථාපිත පිළිගැනුමෙන් තවදුරටත් බැහැර වේ. නොඑසේ නම් සුදුවෑන් ගැන, උතුරේ මිනිසුන් දැන් දින 180 ක් මුළුල්ලේ නොකඩවා කරන නිහඬ උද්ඝෝෂණය ගැන, ‘අතුරුදන්වූවන්ගේ කාර්යාලය’ පවා මෙතෙක් ‘අතුරුදන් කර තිබීම’ ගැන මේ සා නෑසූ කනින්-නොදුටු දැසින් සිටින්නට බලධාරීන්ට හැකි වන්නේ නැත. ඉන්දියාවේ නඩු තීන්දු රටේ දේශීය නීතියට අදාළ කර ගැනීම නිරන්තරයෙන් සිදුවුවත් ලංකාවේ ඉහළම අධිකරණයේදී පවා එය සිදුවන්නේ ප්‍රශංසනීය අයුරින් නොවේ. ඉතින් ජීවත් වීමේ අයිතියවත් මූලික අයිතියක් නොවන රටක ජීවත් වන ජනතාවකට, ලිංගික නැඹුරුතාවයේ අයිතිය හෝ පුද්ගලිකත්වයේ අයිතිය ගැන කවර කතාද?take1

ජාතික ගීයේ “අප මුක්තිය ඔබ වේ” යැයි පෙබරවාරි හතරවැනිදාට ගිරවුන් සේ ගැයුවාට සමාජය මේ යන හැටියට ගියොත් මේ කපේට ලංකා සමාජයේ ලිංගික නැඹුරුතාවයට හෝ පුද්ගලික නිදහසට නම් මුක්තියක් ලැබෙන්නේ නැත. මුක්තිය කෙසේ වෙතත් ඕනෑනම් 1995 වසරේ කළාක් මෙන් ‘සෑහෙන තරමේ පෞරාණික වටිනාකමකින් යුත්, හෙවත් දැන් අවුරුදු 134 ක් වයසැති දණ්ඩ නීති සංග්‍රහය තවත් පටුකරමින් එම නීතිය තවත් දැඩි කළ හැකිය. ලංකාවේ නීතිය වර්ධනය වන්නේ පස්සා පැත්තට යැයි විචාරකයන් කියන්නේ මේ නිසා ය.

 වසර 134 ක් යනු සැබවින්ම සුළුපටු වයසක් නොවේ. එහෙයින් ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය දැන් බෙහෙවින් ‘නාකි’ ය. හෙවත් එයට දැන් ‘නොහැකි’ ය. එසේ එයට නොහැකි දේවල් මොනවාද? ඒ ලැයිස්තුව අතර, ලිංගික නැඹුරුතාවයේ අයිතිය සුරැකීම සහ ඒ තුළින් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පැනනගින පුද්ගලිකත්වයේ අයිතිය සුරැකීම ඉදිරියෙන්ම සිටියි. 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්ති එයට හොඳම නිදසුන් ය. 1960 දශකය වන විට, තමන් හදාගත් සහ යටත්විජිතවලට බලෙන් පැටවූ දණ්ඩ නීති සංග්‍රහය වේගයෙන් ‘නාකි’ වී ඇති බව හෙවත් සමාජයේ මිනිස් අවශ්‍යතාවන්ට අනුව නවීකරණය වී නැති බව දුටු විට සුද්දා කළේ කුමක්ද? නව ප්‍රතිපාදන හඳුන්වා දී එය තරුණ කර ගැනීමයි. ඒ අනුව 1967 වසරේදී ලිංගික වරද පනත මගින් සමකාමී ක්‍රියාවන් සාපරාධී නොවන බවට එංගලන්තය ප්‍රකාශ කළේය. ස්කොට්ලන්තය එහි සාපරාධී බව 1982 වසරේදී ඉවත් කළ අතර, උතුරු අයර්ලන්තය 1982 දී ඒ මගම ගත්තේය. එදා අපට මේ නීතිය ගෙන ආ සකල මහා බ්‍රිතාන්‍යයම පසුව ස්වකීය සමාජ අවශ්‍යතාවලට අනුගත වන පරිද්දෙන් පැවති නීතිය ප්‍රතිසංස්කරණය කර ගත්තේ අප එකතැන නතර වී සිටින අතරවාරයේය.

මේ අතර අසල්වැසි ඉන්දියාව එදා පටන්ම සමකාමී අයිතීන් වෙනුවෙන් සිය සිවිල් අරගලය ගෙන ගියේය. හිජ්රාවරු ‘තර්ඩ් ජෙන්ඩර් ’ හෙවත් ‘තුන්වැනි සමාජභාවය’ වශයෙන් නීතිමය පිළිගැනීම පවා ලබාගත්හ. නෑෂ් ෆවුන්ඩේෂන් වැනි ආයතන නඩු මාලාවක් මගින් පවත්නා නීතිය දිගින් දිගටම අභියෝගයට ලක් කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2009 වසරේදී දිල්ලි මහාධිකරණය විසින් සමරිසි බව හෙවත් සමලිංගිකත්වයේ සාපරාධී බව ඉවත් කළේය. මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් දිල්ලි අධිකරණය පවසන්නේ “සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂා කිරීම පිණිස වෙනම නීතියක් ගෙන එන තෙක් මේ නඩුතීන්දු නීතිය බලාත්මක වේ” කියා ය. මේ නිසා ඉන්දියානු පොලිසියට ගෙවල්වලට පැන, පාරට පැන සමකාමීන් තවදුරටත් අල්ලාගෙන ලොකප් කළ නොහැකි විය. නමුත් අපේ අසල්වැසියාට සාපේක්ෂව අප නැවතී සිටින්නේ කොහිද?

india lgbtඅනේ, අපි වෙනස් වන්නට කොහෙත්ම කැමති නැත.! සංවේදී සමාජ ගැටලු සම්බන්ධයෙන් අපි ‘මාර’ ‘අචල’ ජාතිය’කි!! දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්ති ඉවත් කර සමරිසි බවේ සාපරාධී බව ඉවත් කිරීම නමැති, ඊනියා සුචරිතවාදීන් කෝපගන්වන කාරණය මොහොතකට පසෙක තබමු.  සුද්දන් විසින් අයාලේ යන හිඟන්නන් අල්ලන්නට ගෙන ආ පාදඩ ආඥාපනත, ලංකාවේ සමකාමී ප්‍රජාව පීඩාවට පත් කරන්නට නීති සාධන ආයතන විසින් ඉවක් බවක් නැතිව පාවිච්චි කිරීම නතර කරන්නට මෙයට මාස කිහිපයකට පෙර කැබිනට් සංශෝධනයක් ගෙන එන්නට උත්සාහ දැරිණි. මෙවිට කුමන හෝ කරුණක් නිසා මේ උත්සාහය සමාජගත වූයේ මේ අන්දමිනි. “අන්න, හෝමෝ අයට විවාහ අයිතිය දෙන්න යනවා බොලව්..! මේ දැන්ම පාරට බැහැපියව්!” ඔවුන්ගේ පණිවුඩය පැහැදිලිය. නමුත් ප්‍රශ්නය වන්නේ, මේ ලංකාවේ හැමවිටම මෙසේ වන්නේ ඇයි?

ලංකාවේ බහුතරය සැබෑ ලෙසටම හෝමෝෆෝබියාවෙන් පෙළෙන්නෝය. ට්‍රාන්ස් අයෙක් දුටු විට ඇහිබැම හකුළා ගන්නෝය. ඉවත බලන්නෝය. සමකාමීන් දුටුවිට කොන්දේසි විරහිතව කුපිත වන්නෝය. හිනා වන්නෝය. ඔවුන් ද මිනිසුන් ලෙස දැකීමට අසමත් වන්නෝය. එය තමන් තුළ පවතින, විවිධ හේතු නිසා විදාරණය වීමට ඉඩ නොදෙන, තමන් නොවන අනෙකා හෙවත් ප්‍රතිවිරුද්ධ යුග්මයේ අනෙකා අනාවරණය වීම තුළින් හෙළිවන විද්‍යාත්මක විවරණය දැක මනෝ භ්‍රාන්තියට හා සංත්‍රාසයට පත්වන්නෝය. එකී නිර්භය ආත්ම විවරණය සහ නිදහස්කාමය ඉදිරියේ  භීෂණ ප්‍රතික්‍රියා දක්වන්නෝය. සමාජයේ හාත්පස පැතිර ඇති මේ භීතිකාවේ දරුණුකම කෙතෙක් ද යත්, සමකාමී ප්‍රජාවගේ අයිතිවාසිකම් ගැන වටහාදීම හෝ ඒවා ඉගැන්වීම පවා විටෙක ගවයන්ට අනුකලනය ඉගැන්වීමකි. බලෙන් හෝ උගන්වා අවසන් වූ විට ද සර්ව නාම රැසක නිල හිමිකාරිත්වය සමගින් පූර්ව නිගමනයක් ඇති වේ. “ෂුවර් එකට එයත් එහෙම වෙන්න ඇති....!”

මේ සියල්ල අතරේ අපේ නූතන අසල්වැසියාගේ පණිවුඩය ඉතා පැහැදිලි ය. “මගේ ලිංගික නැඹුරුතාවය මගේ නිදහසයි. එයට අත නොතබනු!!” සාමාන්‍යයෙන් පුරවැසියා සිය අතියිවාසිකම් දිනාගත යුත්තේ පාලකයන් වෙතින් නමුත් ලංකාවේ මේ සිහිනය දිනාගැනීමට සිදුව තිබෙන්නේ පාලකයන්ට පළමුව සමාජය වෙතින්ම වීම, මෙකී සමාජ ව්‍යාපාරය මේ මොහොතේ අත්දකින සුවිසල්ම අභියෝගයයි.

Hats off India!

- නීතීඥ රදිකා ගුණරත්න

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top