15976 BM WEB BANNER 01
Sep 04, 2017

'මම හිතාගෙන හිටියේ ලංකාවම මංගල උයනක් කියලා' - ඇන්තනී සුරේන්ද්‍ර

ඇන්තනි සුරේන්ද්‍රගේ සැහැල්ලුව අබියස සිත බර වේ.

‘ඇත්තම කියනව නම් මාව සංගීතඥයෙක් කළේ හැත්තෑ හතේ ජාති ආලේ', ඔහු කියන්නේ සිනහසෙමිනි.

සුරේන්ද්‍රගේ තාත්තා - බොහෝ දෙනා දැන සිටි 'ඇන්තනී මාස්ටර්’ - හේවුඩ් කලායතනයේ පළමු කණ්ඩායමේ සංගීතය හැදෑරූ අති දක්ෂ සංගීතවේදියෙකි. ආරිය සිංහල ඇඳුම ඇන්ද ඔහු වෘත්තීයෙන් රේඩියෝ සිලෝන් හි සිංහල අංශයේ වාදකයකු විය.  නමුත් හැත්තෑ හතේ අගෝස්තුවේ 'ජාති ආල' රැල්ලේ නැගී ආවුන් ඇන්තනි මාස්ටර් දෙමළකු බව සිහිපත් කර එතෙක් හරි හම්බ කළ සියල්ල කොල්ල කනු ලැබිණ. 

‘එයා අවුරුදු හතළිහක් විතර තිස්සෙ හම්බකරපු හැම දේම එක රැයින් ඉවර වුණා’ ඇන්තනි සුරේන්ද්‍ර අතීතය මෙනෙහි කරයි.

‘අපි හැමෝම හොඳටම දන්නවා අපි දෙමළ නිසා තමයි මේ දේවල් උණේ කියලා. ඒත් සමසමාජකාරයෙක් වෙච්ච තාත්තා කොහොමද එහෙම හිතන්නේ? එයා අපිට කිව්වෙ අපේ ගෙවල් කැඩුවෙ හොරු, මංකොල්ලකාරයො කියලා’ ඔහු සැහැල්ලුවෙන් සිනහසෙයි. එහි ඇත්තේ කම්පාවක්ද, උත්ප්‍රාසයක්දැයි මට නොතේරේ.

‘එයා කවදාවත් කිව්වෙ නැහැ ඒක කළේ සිංහලයෝ කියලා’, අනතුරුව ඔහු කියයි.

කලක් 'ශක්ති' සංගීත කණ්ඩායම හැදීමට ඔහු සමග පුරෝගාමී වූ තවත් සංගීතකරුවකු වන රොහාන් ෆොන්සේකාගේ පැරිසියේ නිවසේදි ඇන්තනී සුරේන්ද්‍ර ජේඩීඑස් හා සමාලාපයකට එක් විය.

සංවාද සටහන: මංජුල වෙඩිවර්ධන


මො කද හිතන්නේ? අපි කතාව පටන් ගමුද මංගල උයනෙන්?

ඇන්තනී සුරේන්ද්‍ර: ඔව්, අපි හිටියෙ තිඹිරිගස්යායෙ, මංගල උයනේ. ඒක වත්තක්. එතැන ගෙවල් හතලිස් පහක් විතර තිබ්බා. ගෙවල් පිහිටලා තිබ්බෙ වටේට වගේ. මැද ලොකු හිස් ඉඩමක් තිබුණා. ඒකෙ තමයි අපි සෙල්ලම් කරන්නෙ. හැබැයි මේ ගෙවල් ඇතුළෙ අශ්ව ලාඩම් තිබුණා. මට දැන්  හිතෙනවා, මේක කලින් අශ්ව ගාලක් ද දන්නෑ කියලා. මොකද රේස් කෝස් එක තිබුණෙත් ඒ ළඟනේ. ඒ කොහොම වුණත් ජීවිතය ගැන මගේ හොඳම මතකයන් තියෙන්නෙ එතැන. මම තාම හීනෙනුත් දකින්නෙ මංගල උයන. මොකද ඒ වත්තෙ ගෙවල් හතළිස් පහේ හිටියා සිංහල භාෂාව කතා කරන අය, තමිල් භාෂාව කතා කරන අය, මැලේ භාෂාව කතා කරන අය, තෙළිඟු භාෂාව කතා කරන අය, ඉංග්‍රීසි භාෂාව කතා කරන අය, මලයාලම් භාෂාව කතා කරන අය. මේ සියලු දෙනාගේම ගෙවල් පිහිටලා තිබුණේ කිසියම් අනුපිළිවෙලකට නෙමෙයි, මිශ්‍ර වෙලා.

අපි හැදුණෙ මේ වගේ ලස්සන තැනක. මේක තමයි නියම ලංකාව. මං හිතනවා මං පොඩිකාලෙ මං හැදුණෙ නියම ලංකාව ඇතුළෙ කියලා. සියලුම ආගම් එතැන තිබුණා. කෙනෙක් බෞද්ධ ආගම අදහනවා, තවත් කෙනෙක් හින්දු ආගම අදහනවා, තව අය ක්‍රිස්තියානි හෝ කතෝලික ආගම අදහනවා, තව කෙනෙක් ඉස්ලාම් ආගම අදහනවා. ඒ කුඩා බිම් කොටස ඇතුළෙ තමයි ලංකාව ම තිබුණෙ. මේ කුඩා කොටසෙ සිද්ධ වෙච්ච දේ සමස්තයටම ආරෝපනය කළාම නේද ශ්‍රී ලංකාව සම්පූර්ණ රටක් බවට පත්වෙන්නේ? මං ඒ කාලේ හිතාගෙන හිටියේ ලංකාවම මංගල උයනක් කියලා. මං මේ දේ කියන්නෙ මේකයි. ඒ මංගල උයන ඇතුළෙ ජීවත් වෙද්දි අපි ඇත්තටම දන්නෑ අපි මොන ආගමේද කියලා. අපි දන්නෑ අපි ඇතුළත් වෙන්නෙ මොන භාෂාව කතා කරන කොටසට ද කියලා. ඇයි කිව්වොත්, සියලුම භාෂාවල් අපිට පොඩ්ඩ පොඩ්ඩ හරි කතා කරන්න පුළුවන්. ඕනෑම භාෂාවක් කතා කරන කෙනෙක් එක්ක සන්නිවේදනය කරගන්න පුළුවන්. ඒ හින්දා මේ සියලුම භාෂාවල්වලට, මේ සියලුම ආගම්වලට, සියලුම අනන්‍යතාවලට ගරු කරන්න පුළුවන් ජීවන පදනමක්, ජීවන දෘෂ්ටියක් අපිට ජීවිතය ඇතුළෙන්ම ලැබුණා.

ඒ වගේ සමාජ පසුබිමක හැදී වැඩුන හින්දා ඔබට හිතෙන්නේ ඔබට වෙනම අනන්‍යතාවක් නැහැ කියලාද?

සුරේන්ද්‍ර: තියෙනවා. අනන්‍යතාවක් නැතුව නෙමෙයි. නිදසුනක් විදිහට ආගම ගත්තොත්, හැමෝටම කිසියම් ආගමක් ඕනි වෙන්න පුළුවන්. අපි කවුද, කොහොමද ජීවත්වෙන්න ඕනි වගේ මඟපෙන්වීමක් මේ සෑම ආගමක් තුළින් ලැබෙනවා වෙන්න පුළුවන්. නමුත් අන්‍යාගමකට ගරු කරන කෙනා තමයි තමන්ගෙ ආගමට ගරු කරන්න දන්නේ. අන්‍යාගමකට ගරු කරන්නැති කෙනෙක්, තමන්ගෙ ආගමට ගරු කරන්නේ නැහැ. ඒ විග්‍රහයම තමයි ජාතිකත්වයට අදාළව, සංස්කෘතියට අදාළව පවතින්නෙත්. අන්‍ය සංස්කෘතියකට ගරු කරන්නැති කෙනා තමන්ගෙ සංස්කෘතියට ගරු කරන්නෙක් කියලා මම නම් විශ්වාස කරන් නෑ. අන්‍ය ජාතිකත්වයන්ට ගරු නොකරන්නා තමන්ගෙ ජාතිකත්වය තකන්නෙක් කියලාත් මං විශ්වාස කරන්නෑ.  වෙන් වෙන් අනන්‍යතා තිබුණත් හැමෝටම තියෙන්නෙ සමාන මනුෂ්‍යභාවයක්. අන්න ඒක තමයි අපේ ජීවත්වීමේ සමාජ පදනම වෙන්න ඕනි.

ඔබේ පියා, ඇන්තනී මාස්ටර්, වාමාංශිකයෙක්. ගෙදර තිබුණු පරිසරය මොන වගේද? සංගීත පරිසරය නෙමෙයි මං අහන්නෙ, වමේ මිනිහෙක් හදපු ජීවන පරිසරය?

සුරේන්ද්‍ර: මං හොඳටම පොඩියි. මම පුද්ගලිකව දන්නෙ නැහැ මේක වම ද - දකුණ ද, මොකද්ද කියලා. නමුත් අත්දැක්ක දේ තමයි මම කියන්නේ. මං දැනං හිටියා යූඑන්පී කියලා පක්ෂයක් තිබුණා, සමසමාජ කියලා පක්ෂයක් තිබුණා, මේ දෙකෙන් මගේ තාත්තා යූ ඇන් පී කියන එකේ නෙමෙයි, මගේ තාත්ත සමසමාජ කියන පක්ෂෙ කියලා. තාත්තා රේඩියෝ සිලෝන් එකේ සිංහල වාදක මණ්ඩලයේ වාදකයෙක්. ඒ වගේම ඔහු සරල ගී ගායකයෙක්. තාත්තා ඇන්දෙ ආරිය සිංහල සූට් එක, නැෂනල් එක. මගේ තාත්තා අත්සන් කළේ ඇන්. ඇන්තනි කියලා. 'එන්' නෙමෙයි 'ඇන්'! හරියට ඇන් ඇම්ලා වගේ.

මගේ තාත්තා රටට ගොඩක් ආදරේ කෙනෙක්.  එයා දන්නෙත් නැති ගාණයි එයා සිංහල ද, දෙමළ ද කියලා. එයා ඒ දේවල් කවදාවත් හිතලා නෑ. අනිත් පැත්තට එයාට ක්‍රිස්තියානි නමක් තිබුණෙ, නමුත් එයා බෞද්ධ ධර්මය හදාරපු කෙනෙක්. සමාජෙට ගොඩක් ආදරේ කෙනෙක්. එයා ලංකාවෙ තිබ්බ භාෂාවල් සියල්ලම කතා කළා. අපිටත් පෙන්නුවෙ ඒ පාර. අපිටත් හැඟීමක් තිබ්බෙ නැහැ අපි වෙනම කොටසක්ද, නැද්ද කියන කාරණාව ගැන.

හැත්තෑ පහට කලින් තාත්තලා රේඩියො සිලෝන් එකේ ස්ට්‍රයික් එකක් කළා. සමගි පෙරමුණු ආණ්ඩුව කාලේ. තාත්තගෙ ස්ට්‍රයික් එකට සමාන්තරව ආවා සිංහල අවුරුද්දයි, මගේ ලොකු මල්ලිගෙ උපන්දිනෙයි. අපි මේ දෙකටම කෑවෙ සම්බෝලයි, බතුයි. මං ඒ කතාව කිව්වෙ මේකයි: තාත්තා ඉතුරු කළේ නෑ. වාදකයොනේ, ඒ හින්දා හම්බු කළා. නමුත් හරි වාදකයො, කලාකාරයො ඉතුරු කරලා නැහැ කියලා තමයි මං අත්දැක්කෙ. ඒ මගේ තාත්තාට අදාළවයි.  එයාගේ අතේ සල්ලි තිබුණොත් වත්තේ හැමෝටම එයා තෑගි බෝග දෙනවා. අපිට ගේනවාටත් වඩා වටිනා තෑගි එයා අහළ පහළ ගෙවල්වල ළමයින්ට ගෙනැත් දෙනවා. එයාට අපිත් එකයි, වෙනත් ළමයෙකුත් එකයි. එයා තමන් දරපු දේශපාලන අදහසට විශාල ගෞරවයක් දක්වපු කෙනෙක්.

මංගල උයනෙන් අපි ගියා පාමංකඩ සරණංකර පාරට.  අපි හිටපු ගේත් වෙන පවුලකට නිකං දීලා ගියේ. ඒක මං දැනගත්තෙ පස්සෙ. සරණංකර පාරෙ හුඟක් පෝසත් මිනිස්සු හිටියේ. ලොකු ගෙවල් තිබුණේ. අපි පොඩි ඇනෙක්ස් එකක හිටියේ. දැන් ජීවත්වෙන අය අතර වැඩිය ප්‍රසිද්ධ සිද්ධියක් නොවුණත් හැත්තෑ හතේ අගෝස්තුවෙ 'ජාති ආලයක්' ආවා. මහා රෑ ඇවිත් අපේ ගේත් කැඩුවා. තාත්තා එතෙක් හම්බකරපු සේරම අපිට නැතිවුණා.  අපි ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම පොල්හේන්ගොඩ අපේ අච්චිලාගෙ ගෙදෙට්ට ගියා. ආච්චි කියන්නේ අම්මගෙ අම්මා. එයාලත් පෝසත් අය නෙමෙයි. කුප්පි ලාම්පු පත්තු කරපු තැනක්, දිග ඇරපු තාර බාරල් දාලා තිබුණෙ වහළට. ලෑලිවලින් ගහපු ගෙයක්, කෑලි දෙකයි. මැටිවලින් ගහපු කුස්සියක් තිබුණා. තාත්තා බොහොම රටට ආදරේ කරපු, ආරිය සිංහල ඇඳුම ඇඳපු, සිංහල අංශෙ වැඩකරපු කෙනෙක්. ඒත් ඒ අගෝස්තු මාසය ඒ හැම දේම නොවැදගත් වුණ අගෝස්තුවක්. මේ ගැන හිතලා හිතලාම තාත්තාට හාට් ඇටෑක් එකක් ආවා. ඊට පස්සෙත් තාත්තා බොහෝම රස්තියාදු වුණා මේ වෙච්ච දේට සාධාරණයක් ඉෂ්ට කර ගන්න. නමුත් කාගෙන්වත් සහයෝගයක් ලැබුණේ නැහැ. එයා අපිට පෙන්නුවෙ නැති වුණාට අපි දන්නවා, එයා නැති වෙනකල්ම ඒ වේදනාවෙන් හිටියෙ. මං කැමතිම චරිතය තමයි මගේ තාත්තා.

මැන්ඩලීන් එක ගත්තම, ඒ වාද්‍ය භාණ්ඩය කියන්නේ ඇන්තනි සුරේන්ද්‍ර කියන සමස්තයෙන් වෙන් කරලා පෙන්නන්න බැරි ඔබටම අනන්‍ය  වුණු කොටසක් වගේ. ඇන්තනි සුරේන්ද්‍ර  සම්පූර්ණ වෙන්න මැන්ඩලීන් එක තියෙන්න ඕනි වගේ. මොකද්ද මේකෙ ඉතිහාසය? තාත්තා නේද?

සුරේන්ද්‍ර: ඔව්, මගේ තාත්තා නිසා තමයි මං මැන්ඩලීන් එක ගහන්නෙ. මගේ එකම ගුරුවරයා මගේ තාත්තා. මගේ ඊ ළඟ ගුරුවරයා මේ සමාජය. මම හැමතිස්සෙම යමක් ඉගෙන ගන්න කැමතියි. මං වැඩ කරපු හැම දෙනාගෙන්ම මං ඉගෙනගෙන තියෙනවා. දැනුමක් ලබලා තියනවා. නමුත් මගේ ශිල්පීයභාවයේ ගුරු තැනේ ඉන්නෙ ඇන්තනි මාස්ටර් විතරයි. ඊළඟට ලංකාවේ සමාජය.

මම අවුරුදු නමේදි වගේ ඉඳන් මැන්ඩලින් ගහනවා. මට සිංදු පවා ගහන්න පුලුවන් ඒ කාලෙ වෙද්දිම. නමුත් ඒක ගෙදර පරිසරය ඇතුළෙ තිබිච්ච දේ මිසක් සීරියස් හැදෑරීමක් වුණේ නෑ. නමුත් මට හොඳට මතකයි ඒක වුණේ 77දි. සංගීතය මට සීරියස් විදිහට දැනෙන්න ගත්තෙ,  තාත්තා මට සීරියස් විදිහට කියලා දෙන්න ගත්තට පස්සෙයි. ජාති ආල කෝලහලෙදි අපේ ගේ  කඩලා, තාත්තා ජීවිත කාලයක් හම්බකරපු සියල්ලම නැති වුණාම අපි නැත්තටම නැති වුණා. අඳින්න ඇඳුමක්වත් තිබුන් නෑ. තාත්තා හෘදය රෝගියෙක් බවට පත් වුණේ මේ සිදුවීම් නිසායි.

එක් පැත්තකින් තාත්තාට අසනීපයි - අනෙක් පැත්තෙන් මල්ලිලා ඉස්කෝලෙ යනවා. ඒ නිසාම මම මොකක් හරි රස්සාවක් කළ යුතුව තිබුණා. ඒ වෙද්දි මගේ ආශාව තිබ්බෙ නැවක වැඩට යන්න. මගේ යාළුවො ගොඩක් හිටියා සීමන්ලා. දන්නවනෙ ඒ ලයිෆ් එක. ඒ කාලේ ලොකු ජොබ් එකක් - මමත් දත මැදන් හිටියෙ එහෙම වැඩකට.

නමුත් මේ ජාති ආල සිද්ධියෙන් පස්සෙ තාත්තා හරියට මට සංගීතය කියලා දෙන්න ගත්තා. ඒ පටන් ගැනීම ඇතුළේ අර්ථයක් තිබුණා. ඊට පස්සෙ තමයි මං පිළිවෙලකට සංගීතය ඉගෙන ගන්න ගත්තෙ. තාත්තා සීරියස්ලි කියලා දෙනවා. සමහර විට බනිනවා. ඒ බැනිලිවලට මං අඬලත් තියෙනවා. ඊට පස්සෙ අභ්‍යාසයක් දීලා යනවා. කොහෙද? අර ජාති ආලෙන් සිද්ධ වෙච්ච දේට සාධාරණයක් හොය හොයා රස්තියාදු වෙන්න. ගෙදර ඇවිත් මගේ ප්‍රැක්ටිස් කෙරිල්ලේ කොලිටිය බලනවා. තාත්තාගෙ ඉගැන්වීම්වලින් ලැබුණු විශ්වාසය හින්දා ගුවන් විදුලියෙ ඔඩිෂන් තුනකින් සමත් වෙලා, මම 77 දෙසැම්බර් පළවැනිදා ගුවන්විදුලි සංස්ථාවෙ සිංහල වාදක මණ්ඩලයේ පත්වීම ලබා ගත්තා.

මං කිව්වනේ, තාත්තා මට සංගීතය උගන්නන්න පටන් ගත්ත එක ඇතුළෙ ලොකු අර්ථයක් තිබුණා කියලා. ඒක මට අහුවෙන්න ගත්තෙ හිමින්. ඒකම තමයි අපේ තාත්තාගෙ විශේෂත්වය.  අර තරම් අයුක්ති සහගත බේදවාචකයක් තිබුණු පසුබිමක වුණත් තාත්තා, ගැටවරයෙක් වුණු මාව නිවෙන්න හැරියා. මැන්ඩලීන් එක තමයි අතට දුන්නෙ. ඒකත් ගැඹුරුම තැනින් අල්ලන විදිහ. ඔන්න අපේ තාත්තා. ඒ ඇන්තනී මාස්ටර් තමයි මගේ ජීවිත ආදර්ශය වුණේ.

ඔබ මැන්ඩලීනය තාත්තා කියා දුන්නු විදිහට ගැඹුරුම තැනින් අල්ලනවා කියලා ඔබට විශ්වාසද?

සුරේන්ද්‍ර: මං එහෙම හිතනවා. තාත්තා මට විශාල දැනුමක් දීලා තියෙනවා. නමුත් දැන් මට හිතෙනවා එදා තාත්තා මට සීයක් දේවල් කියලා දුන්න නම් මට තාම ඒකෙන් දහයක්වත් ගහගන්න බැහැ කියලා. ඒ තරම් සංකීර්ණයි එයා කියලා දුන්න දේවල්. ඇත්තෙන්ම නම් මට එයා ගැන පුදුමයි. කිසිම තාක්ෂණයක් සන්නිවේදනයක් නැතුව කොහොමද මේ අය මෙච්චර ඉගෙන ගත්තෙ, දැනුම රැස් කරගත්තෙ කියන එක ගැන. මං ලෙජන්ඩ්ස්ලත් එක්කයි වැඩ කළේ.

මම දන්නෙ නැහැ මම හොඳ ප්ලෙයර් කෙනෙක්ද, නැද්ද කියන එක. නමුත් මං අතිවිශාල නිර්මාණ ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා මැන්ඩලීන් එකෙන්. මං හිතනවා මාව ඒකටම ස්පෙෂලයිස් වුණා කියලා. මං හිතන්නෙ මාව වැඩවලට සම්බන්ධ කරගත්ත අය කැමති වුණා මගේ ටෝන් එකට, මම ප්ලේ කරන මූඩ් එකට.

මට දැනෙනවා මැන්ඩලින් එකේ තියෙනවා කියලා මිනිස්සුන්ගෙ හිතට සමීප වෙන්න පුළුවන් විශේෂ ගතියක්. අපි දන්න කියන ජනප්‍රිය ගීතයක් වුණත් මැන්ඩලින් එක හරහා මතු කළාම මං හිතනවා අහන් ඉන්න අයට මොකද්දෝ ෆීල් එකක් යනවා කියලා. ඒක මොකද්ද කියලා හරියට කියන්න මට තේරෙන්නෙත් නැහැ, නමුත් ඒක මමත් විඳලා තියෙනවා.

මේ මැන්ඩලීන් එකත් එක්ක මුලදි මං ගියේ රස්සාවට - ගුවන් විදුලියට. ගෙවල් දොරවල් කඩලා, හරියට අඳින්න ඇඳුනුත් නැතිව, ජීවත් වෙන්න විදිහක් නැතුව ඉද්දි තමයි මං රස්සාවට ගියේ. එහෙම පටන් ගත්ත ගමන දැන්, මම වෘත්තීය කලාකරුවෙක්.  ඇත්ත මෙහෙමයි,  මම විඳිමින් තමයි ප්ලේ කරන්නෙ. මං ප්ලේ කරන්නෙ මමත් එන්ජෝයි කරමින්. මං කැමතියි තව කෙනෙක්ව එන්ටර්ටෙන් කරන්න. කාව හරි සතුටු කරන මොහොත ගැන මං සතුටුයි.  ස්ටූඩියෝ එකට නෙමෙයි මං හුඟක් කැමති, වේදිකාවට. වේදිකාව කියන්නෙ සංගීත සංදර්ශන නෙමෙයි. අතිශයින් විශේෂ සංගීත වේදිකාවලට. මං ‘ශක්ති’ හැදුවෙත් ඒ නිසායි. ඒක ක්‍රමානුකූලව සමාජගත කරන්න ක්‍රියා කළෙත් ඒ නිසායි.

‘ශක්ති’ සංකල්පය මං දන්න විදිහට ඔබ තමයි ගොඩනැගුවේ.  කොහොමද ඒක සිද්ධ වුණේ?

සුරේන්ද්‍ර: මගේ ගුවන්විදුලි අත්දැකීම් ඇතුළෙ මට දැනුණා හැමෝම අතර අන්‍යෝන්‍ය  වශයෙන් අර්බුදයක් තියෙනවා කියලා. තමන් භාවිතා නොකරන වෙනත් සම්ප්‍රදායයක සංගීතයක් කරන අයව හෙළා දකින ස්වභාවයක් මට පෙනුණා. වෙස්ටන් මියුසික් කරන අය අනිත් අය ගැන හිතුවෙ 'ගොඩයො' කියලා වගේ. අඳුරන්නැති කට්ටියක් ආවාම ඒ අයව දන්න කෙනෙක් එයාලව අදුන්නලා දෙන්නෙ, ‘හාපෝ, ඒ අර ජන ගී කියන කට්ටිය. හෙණ අවුට් කියන්නෙ’ ඔන්න ඔය වගේ. නමුත් මං හිටියෙ විවිධත්වය විඳගන්න පුළුවන් පදනමක. කොටින්ම මං වචන එක්ක නෙමෙයි හිටියේ. මං වාදකයෙක්නෙ, මට වචන නෑනෙ. එකම ස්වර ඇතුළෙ තමයි ඔක්කොම අය තමන්ගෙ වැඩ දාන්නෙ. ඉතින් මොකද්ද මේ? මට පෙනුණා මේක ඇතුළෙත්, ඊර්ෂ්‍යාවල්, කුහක සිතිවිලි, භේදවීම් වගේ දේවල්. මට හිතුණ මේ හැමෝටම චැලෙන්ජ් එකක් වෙන්නත් එක්ක මේ සම්ප්‍රදායයන් එකතු කරලා මොකක් හරි වැඩක් කළොත් කොහොම වෙයිද කියලා. එහෙනම් අපි 'ෆියුෂන්' කියන සංකල්පෙ ඇතුළෙ වැඩක් කරමු කියලා. ඒ වෙද්දි ලංකාවේ නැතත් ඒක ලෝකෙ හරිම ප්‍රසිද්ධ වෙලා තිබුණා.  ෆියුෂන්වලින් බෙස්ට්ම එක ශකීර් හුසේන්, එල්. ශංඛර්, ජෝන් මැක්ලෝෆ්ලින්, රම්නාද් රාඝවන්, වික්කු කියන පෙර අපර දිග ශිල්පීන් එකතු වෙලා කරපු ‘ශක්ති’ ඇල්බම් එක. ඒක ලෝක ප්‍රසිද්ධ වුණා. තබ්ලා, ගිටාර්, මෘදංගම්,ඝටම්, වයලීන් ඔක්කොම එකට. ඒ ෆීල් එක ඇතුළෙ තමයි ලංකාව ඇතුළෙ ‘ශක්ති’ බිහිකෙරෙන්න පදනම වැටුණෙ. මං හිතන්නෙ අපි පොඩිකාලෙ හැදිච්ච පරිසරයම තමයි මියුසික්වලටත් බලපෑවේ. මිනිස්සු වන අපි අතර බේදයක් නැහැ කියන එක මත තමයි මේ කියන ‘ශක්ති’ සංගීතය ගොඩනැඟුණෙ.

shakthi l shankar john mclaughlin shakeer hussain

ශක්ති (1976) - වමේ සිට: රාම්නාද් රාඝවන්, ජෝන් මැක්ලෝෆ්ලින්, එල්. ශන්කර් සහ සකීර් හුසේන්

අපේ ෆස්ට් ඇක්ට් එක තිබ්බේ තිලක් ඩයස්ලා ඕගනයිස් කරපු රොක් කොන්සට් එකක්. ජෝන්ද සිල්වා එකේ. ‘ශක්ති’ කියන එකේ මුල වාදනය කරපු අය නෙමෙයි මැද හිටියේ. මැද අය නෙමෙයි අග වෙද්දි හිටියේ. ආනන්ද දාබරේ කියන දැවැන්ත වයලීන් වාදකයත් මුල්ම 'ශක්ති' වාදකයෙක් විදියට අපිත් එක්ක ප්ලේ කළා. ගාල්ලගේ හිටියා. මගේ මල්ලි විජේන්ද්‍ර හිටියා. ජූඩ් පීරිස්, රොහාන් ෆොන්සේකා, රංගන්, රවීන්ද්‍රන් වගේ අය තමයි එතැන හිටියෙ. උපතිස්ස පෙරේරා ෆ්ලූට් ගැහුවෙ. සිතාර් එක ගැහුවෙ ප්‍රියානන්ද පෙරේරා. කී බෝඩ් එකෙ හිටියෙ ප්‍රිමාල් ප්‍රනාන්දු.  ඔන්න ඔහොම තමයි ‘ශක්ති’ සංකල්පෙ ෆස්ට් ඇක්ට් එක. මට වැදගත් වුණේ මේ සංකල්පයයි.

ඔය කතාවම අපි ආයේ වෙන තැනකින් පටන් අරන් ඉස්සරහට ගෙනියමු. සරළ ඇහුවොත් ඔබට අනුව සංගීතය කියන්නෙ මොකද්ද?

සුරේන්ද්‍ර: සංගීතය කියන්නෙම මේ සමස්ත විශ්වය. ස්වභාව ධර්මය. සොභාදහමෙන් තමයි මේ සංගීතය බිහිවෙන්නෙ. ශබ්ද කියන එක අපි අවට තමයි තියෙන්නේ. කුරුල්ලො ගත්තොත් උන් කෑ ගහනවා, අඬනවා, ලස්සනට ගී ගයනවා, මේ දේවල් අනන්ත කාලෙක ඉඳන් වෙනවා. වැස්ස, ගහකොළ, හුළඟ පවා මේ සංගීතයට අදාළයි. මුහුද ගත්තොත්, මුහුද කියන්නෙ සිම්ෆනි එකක්. එක රැල්ලක් නෙමෙයි එන්නේ, එකක් ඉවර වෙද්දි තව එකක් එනවා, ඊළගට තව එකක්. සම්පූර්ණ සංධ්වනියක්. මේ කියන සොභා දහමේ ශබ්දයන්ගේ සහ සම්බන්ධය තමයි මිනිසා තමන් තුළට උරාගන්නෙ. මේ සොභාදහමේ තියෙන දේ, ෆීල් එක, හැඟීම, එහෙම අප තුළට උරාගෙන නැවත කොහොමද ඉදිරිපත් කරන්නෙ මේ විශ්වයට, සොභාදහමට, මනුෂ්‍යයාටම? ඒක තමයි සංගීතය.

මිනිසා තමන්ගෙ හැඟීම් එළියට දාන්න යනකොට, තමන් දැකපු දේවල්, අහපු දේවල්, විඳපු දේවල්, අධ්‍යයනය කරපු දේවල් එක්ක තමයි සංගීතයක් එළියට එන්නෙ. ඒ අනුව නිර්මාණය කරන ලද සංගීතයක් කියන්නෙ කෙනෙක්ගෙ ෆීල් එකක්. එහෙම සමාජගත කරන ලද සංගීතයකට කෙනෙක් කියයි මේක ලෝකෙ හොඳම නිර්මාණය කියලා, නමුත් තවත් කෙනෙක් කියයි නෑ ඊට වඩා හොඳ දේවල් තියෙනවා කියලා. ඒක එකිනෙකාගෙ විඳීමේ පරාසය සහ විඳීමේ විලාශය එක්ක තමයි සිද්ධ වෙන්නේ සහ වෙනස් වෙන්නේ. ඒ අනුව අපි කාටවත් කියන්න බෑ අර නිශ්චිත සිම්ෆනිය කරපු කෙනා තමයි හොඳම නිර්මාණකරු කියලා.  පොපියුලර් මියුසික් මත පදනම් වෙලා පොපියුලර් සිංදුවක් කරපු කෙනා ඒක ලිව්වා, ඒක කළා, සිම්ෆනියක් කරපු කෙනා ඒක ලිව්වා, ඒක කළා. එහෙම තමයි තමන් එළියට දාන ෆීල් එක වෙනස් වෙන්නේ. ඇතැම් විට ඉතා කුඩා කවියක තියෙන අර්ථයක් දීර්ඝ කාව්‍ය ආඛ්‍යානයක තියෙන දේකට වඩා ප්‍රබල වෙන්න පුළුවන්. එහෙම තමයි ඒක සිද්ධ වෙන්නෙ. සංගීතය ගත්තොත් මේ තියෙන ස්වර දොළහ හසුරුවනවා තම තමන්ගෙ ෆීල් එක අනුව. විශ්වයේ තියෙන්නෙ ශබ්ද වුණාට ඒක තැනින් තැන වෙනස්. රටින් රට වෙනස්. ඒක කලාප විදිහට ගත්තමත් එහෙමයි. ඒ පරිසරයට අදාළ ශබ්ද තමයි සංගීතය විදිහට මතුවෙන්නේ. අපේ  රටේ, අපේ කලාපෙ තියෙන ශබ්ද නෙමෙයි අප්‍රිකානු රටක, අප්‍රිකානු කලාපේ තියෙන්නෙ. ඒ ශබ්ද නෙමෙයි අරාබියෙ තියෙන්නෙ. මියුසික් කියන එක වෙනස් වෙන්නේ එහෙමයි. ෆීල් එක වෙනස් වෙනවා. ඒ අනුවම යමින් පාවිච්චි කරන සංගීත භාණ්ඩත් වෙනස් වෙනවා. ස්වර ටික ගත්තම එකයි. ඒවයෙත් වෙනස් කම් තියෙනවා අරාබි ගත්තම, කර්ණාටක් ගත්තම, හින්දුස්ථානි ගත්තම, වෙස්ටර්න් ගත්තම ඒවයේ වෙන වෙන ස්වර ස්ථාන තියෙනවා. ඒක තමයි අනන්‍යතා ලක්ෂණය වෙන්නේ.

නමුත් අද ලංකාව අතුළේ දෛනිකව සිද්ධ වෙන ගීතමය දේවල්වල නම් වචන ටිකක් හම්බවුණාම ඒකට ක්ෂණික සංගීතයක් දාන එකයි සිද්ධ වෙන්නෙ. ඒ විදියට මටත් පුළුවන් මෙලඩි දාහක් දාන්න වචන දාහකට. නමුත් ඒක නෙමෙයි සිද්ධ වෙන්න ඕනි. ඒක නිර්මාණාත්මක සිතීමක් හරහා තමයි මතුවෙන්න ඕනි. ඒක තමයි සාර්ථක වෙන්නෙ. මං හිතන්නෙ මම ඒකයි සිංදු හදන්න ඒ තරම්ම උනන්දු නොවුණේ. මම හුඟක් ගීත හදලා නෑ. මං හදපු ගීත වලින් ‘සඳ සාක්කි කියාපුදෙන්’, ‘රෑ දොළොස් පැයේ’, ‘ඉස්සර කාලෙ පටන්’, ‘සඳ ඔබ මගේ’ වගේ ගීත කිහිපයක් තමයි මිනිස්සු දන්නෙ. මම බලෙන් ගීත හදන්න ගියේ නෑ. ඒක එන්න ඕනි. මම විශ්වාසය තිබ්බේ - සහ තාම විශ්වාසය තියන් ඉන්නෙ - වචනවලට විශාල බරක් නොතියන, සංගීතය මත පදනම් වෙච්ච වැඩවලට.

ඔබට එහෙම සංගීතයම පදනම් කරගත්ත වැඩ කරන්න කිසියම් හේතුවක් තිබ්බද? ඒ වැඩේ සාර්ථක වුණාද? අසාර්ථක වුණා නම් ඒ ඇයි?

සුරේන්ද්‍ර: වචන කියන කාරණාව සීමා සහිත දෙයක්. ඒක කිසියම් ජන වර්ගයකට, සමාජයකට, කිසියම් රටකට හෝ දේශ සීමාවකට සීමා වෙනවා. අපේ රටේ භාවිතා කරන සිංහල සහ දෙමළ ගත්තත් ඒක පැහැදිලියි. නමුත් සංගීතය එහෙම සීමා වෙන්නෑ. ඉතා සරල ගීතයක වුණත් ඒක ඇතුළෙ තියෙන සංගීතය වචනවලින් ඇති කරන සීමාව ඉක්මවා ගමන් කරනවා. ඉතාම ආසන්න නිදසුනක් ගත්තොත්, අපි හින්දි සිංදු අහනවනේ, නමුත් අති බහුතරයකට හින්දි තේරෙන්නේ නැහැනේ. නමුත් සමහර නොතේරෙන සිංදු අහද්දි ඒ රමනීයත්ව හින්දා අපිට මැරෙන්න හිතෙනවා. ඒ තරම් ෆීල්වෙනවා. නමුත් එහෙම ෆීල් වෙන්නෙ මෙලෝ වචනයක් තේරිලා නෙමෙයි. එහෙනම් කොහොමද අපිට ඒක එච්චර වදින්නේ? ඒක තමයි මියුසික්. පින්ලන්ත කොම්පෝසර් කෙනෙක් වුණු ජෝන් සිබේලියුස් කියනවා ‘වචන නවතින තැනින් තමයි සංගීතය පටන් ගන්නෙ’ කියලා. ඔහු පින්ලන්තෙන් බිහිවුණු විශිෂ්ඨ  වයලීනිස්ට් කෙනෙක්. ඔහු ඒ අදහසම  පුළුල් පරාසෙකට ගෙන එමින් භාෂාව ගැන පවා කතා කරනවා. මං හිතන්න සිබේලියුස්ට කලින් මේ අදහසම වෙන විදිහකට කියලා තියෙනවා ඉන්ද්‍රජාල කතාකාරයෙක් වන හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්. ඔහු කියනවා ‘වචන අසමත් වන තැන සංගීතය කතා කරන්න ගන්නවා’ කියලා.

මම වචන වලින් තොරව සංගීතය ගැනම විශ්වාසය තියලා, ඒක භාවිතයට නගන්න ගත්ත උත්සාහයට වෙනත් පදනමකුත් තියෙනවා. මෙහෙමයි, අපේ රටේ වාදකයාගෙන් ගොඩාක් ප්‍රයෝජන ගන්නවා. ගොඩාක්, ගොඩාක්, ගොඩාක්! සංගීත අධ්‍යක්‍ෂවරු විතරක් නෙවෙයි, ගායික - ගායිකාවන් පවා.  ගායක - ගායිකාවන්ගෙ කටහඬ වැඩේට ගැලපිලා ආවොත් තමයි ගීතය අවශ්‍ය තරමින් සමාජගත වෙන්නෙ. ඒ හින්දා ඔවුන්ගෙ දායකත්වය පැහැදිලියි. නමුත් ඒ අනුව අවසානයේ පොපියුලර් වෙන්නෙ සහ ඒ නිර්මාණයෙන් අඛණ්ඩව මුදල් උපයන්නෙ ඒ ගායකයා හෝ ගායිකාවයි. එතකොට වාදකයා කෝ දැන්? වාදකයා කියන්නෙ ඉණිමඟක් විතරයි. ඒකටත් පයින් ගහනවා උඩට ගියාට පස්සේ. අපි මෙතනින් නෙමෙයි ආවෙ කියන එක පෙන්නන්න. ඒ හැඟීම මට දැනුණා මගේ අත්දැකීම් ඇතුළේ. හුඟක් අයට තහුවුරු වෙන්න අපි හුඟක් දේවල් කරලා තියෙනවා. නොමිලේ. මට මේ ගායක ගායිකාවන් ගැන ප්‍රසාදයක් නම් ඇති වුණේ නෑ.

මට ඕනි වුණේ ඒකයි, සංගීතය තහවුරු කරන්න. අනික් අතට ගායකයො නොවෙන අය හරහා ගායනාව මතු කරන්න. ඒ හින්දා අපි හදපු ශක්ති බෑන්ඩ් එකේ ගායකයෝ කියලා විශේෂ කවුරුත් නෑ. ඔක්කොම වාදකයෝ. ඒ වාදකයොම තමයි සිංදු කියන්න ඕනි. මුලදිම අපි හැදුවෙ මියුසික්. වචනත් නැහැ. මං හිතපු දේ තමයි ඇයි වචන නැතුව මියුසික්වලින් විතරක් මේ ෆීල් එක දෙන්න බැරි කියලා. ඒ කාලෙ මම වන්නම් පවා පදනම් කරගෙන ෆියුෂන්ස් කළා. නමුත් මං පුද්ගලිකව හිතන්නෙ ඒ කාලෙ ඒකට ලොකු සාර්ථකත්වයක් ඇති වුණේ නැහැ කියලා.

නමුත් ආට් සම්බන්ධව, මියුසික් සම්බන්ධව යම්කිසි ඇත්ත උණක් තිබුණු කලාපෙකට මේ අලුත් පර්යේෂණාත්මක දේ අල්ලලා ගියා, වැඩේ වැදුණා කියන එකයි මගේ අදහස. ඒකට පුද්ගලිකව මට වුණත් සාක්ෂි දරන්න පුළුවන්.

ඇත්ත. සංගීතය, එහෙම නැත්තං පොදුවෙ සාහිත්‍ය කලාව ගැන කැක්කුමක්, හැඟීමක් තියෙන අයට යම් තේරුමක් තියෙන අයට දැනුණා අපි කිසියම් දෙයක් කරන්න හදනවා කියන එක. පොදුවෙ ගත්තම ඒක කිසියම් පුරෝගාමී වැඩක් වුණා කියලා තමයි අවසානයේ පේන්න තියෙන්නෙ. අද වෙනකොට ලංකාවේ ගොඩක් ෆියුෂන් බෑන්ඩ්ස් තියෙනවා. ෆියුෂන්, ඒ කියන්නෙ මේ වචනවලින් තොරව සංගීත සංකලනයන් ඇතුළෙ විතරක් රසට උපද්දවන සංගීත මැදිහත් වීම අද තරුණ පරම්පරාව අතරත් තියෙනවා. ඒක හොඳ ලකුණක්. මම තමයි ගිටාරයත් එක්ක බෙරය සංකලනය කරලා අලුත් ප්‍රකාශනයක් ඇති කෙරුවේ. නිකම්ම ගිටාර් එකකුයි, බෙරේකුයි ගැහුවා කියලා ෆියුෂන් එකක් වෙන්නෑ. අපි ඒ හරහා ගේන සංගීත අර්ථකතනය තමයි වැදගත්. ඒකට නිර්මාණාත්මක බව වගේම ශිල්පීය නිපුණතාවත් තියෙන්න ඕනි. 

නමුත් ඩෙනිම ගහලා බෙර ගහනවා, සාම්ප්‍රදාය කාබාසිනියා කරනවා කියලා නැතිවෙන්න ගැහුවා නේද ඔබට ඒ කාලෙ?

සුරේන්ද්‍ර: ගොඩක් විවේචන ආවා. මට නැති වෙන්න බැනලා තියෙනවා. අමුවෙන්ම බැනලා තියෙනවා, කෙලින්ම මූණටම මගේ තාත්තගෙ යාළුවො කියලා තියෙනවා, ‘ඔයාගෙ තාත්තා ඔයාලට හොඳ සංගීතයක් උගන්නලා තියෙනවා. මොකද්ද මේ කරන්නේ ඕගොල්ලො? මේවද කරන්න ඕනි වැඩ?’ කියලා. එක සැරයක් මං හනුමා වන්නම ආශ්‍රිතව කෙරුවා ෆියුෂන් එකක් රූපවාහිනියට. ඒ වැඩේ නවත්තන්න විශාල සංගීත විශාරද කෙනෙක් රූපවාහිනියට ලියුමක් එවලා තිබ්බා - මගේ තාත්තගෙ යාළුවෙක්. මාව දැක්කම හොඳට කතාකරනවා. 'මේක නවත්තන්න, මේ වැඩසටහන විකාශය කරන්න එපා, මේ ගොල්ලො කලිසම් ඇඳන් බෙර ගහනවා කියලා' එයා ලියලා. ඒ ලියුම ලැබිච්ච නිලධාරියා මට කිව්වා ‘සුරේන්ද්‍ර, මෙන්න මෙහෙම ලියුමක් ඇවිල්ලා තියෙනවා, මං මේක මෙතනින් උඩට යවන්නෑ, මේකා පිස්සෙක්’ කියලා. මං කිව්වා, අපි කලිසම් ඇඳගෙන හරි අපේ බෙරේ තමයි ගහන්නෙ, එයා ඉන්දියානු ඇඳුම් ඇඳගෙන සිතාර් එක ගහන්නෙ ඇයි කියලා මිනිහගෙන් අහන්න කියලා.

ඊට පස්සෙ ‘රඝුපති රාඝව’ සිංදුවක් හැටියට කළාම, සිංදුව ටෙලිකාස්ට් වෙන්න විනාඩි පහළොවක් තියෙද්දි ඒක කෑන්සල් කළා රූපවාහිනිය බාරව හිටපු ඩිරෙක්ටර්. තාත්තගෙ හොඳ යාළුවෙක්, මාවත් දැක්කම 'කොහොමද පුතා, පුතාලා හරි ෂෝක් වැඩ කරනවා' කියලා යනවා. නමුත් අනිත් පැත්තට කළේ මේක. 'රඝුපති රාඝව' බෑන් කළා, මේගොල්ලො මේක විනාශ කළා කියලා චෝදනාව යටතේ. නමුත් අපි ඒ සිංදුව රෙකෝඩ් කළා. ඒ රෙකෝඩ් කරපු සිංදුව අපි අහනකොට දවසක් අමරදේව සර් අපේ ගෙදර ආවා. මගෙන් ඇහුවා 'මොකද්ද සුරිඳු ඔය' කියලා? (අමරදේව මාස්ටර් මට කතා කරන්නෙ 'සුරිඳු'  කියලා) මං කිව්වා, 'රඝුපති රාඝව' අපි පොඩ්ඩක් හැදුවා සර් කියලා. එතකොට මට කිව්වා ඕක පොඩ්ඩක් දාලා පෙන්නන්න කියලා. මං දැම්මා. එතුමා විශාල වශයෙන් සතුටට පත්වෙලා කිව්වා, 'මේක මහා සම්ප්‍රදායයත් එක්ක සම්බන්ධ කරලා හදලා තියෙන්නෙ' කියලා. එතුමා ඒකට විශාල සංගීතමය අර්ථකතනයක් ඒකට දුන්නා. පස්සෙ මට කිව්වා 'සුරිඳු, මමත් කැමති මේ වගේ සිංදුවක් කරන්න, මටත් එකක් කරල දෙන්න කියලා'.

අමරදේව සර් ඇත්තටම නූතන දේ, පර්යේෂණාත්මක දේ විඳගන්නෙ පුදුම විදිහට. එතකොට තමයි මං හිතුවෙ එකම සිංදුවක් ගැන මේ කලින් අද්දැකීමත් එක්ක මේ දෙන්නගෙ දැනුමෙ මොන තරම් පරතරයක් තියෙනවද කියලා. දැනුම නැති කෙනාට කැත විතරයි පේන්නෙ. අමරදේව සර් දැක්කේ ඒකෙ ලස්සන පැත්ත.

මෙහෙම රමනීය ඉතිහාසයක් තියෙන ‘ශක්ති’ බෑන්ඩ් එක අන්තිමේ කැඩුණා?

සුරේන්ද්‍ර: කැඩුණා නෙමෙයි, කණ්ඩායමක් ‘ශක්ති’ කඩාගෙන ගිහින් ‘සිහ ශක්ති’ හැදුවා.  ‘සිහ’ කියන්න සිංහයානෙ. ඒ ගොල්ලන්ට පෙන්නන් ඕනි වුණේ සිංහලකමනෙ. ඒකට හේතුව පැහැදිලියි. මගේ තාත්තා මාව හැදුවෙ නෑ ජාතිකවාදයක් ඇතුළෙ. මේ දැන් වෙනකම් අපි දෙන්නා කරපු සංවාදය ඇතුළෙ ඒක පැහැදිලියිනෙ. පොඩි කාලේ මංගල උයනේ තිබුණ වර්ගයේ පොදු අනන්‍යාතවක් ගැන තමයි මං තාම හිතන්නෙ. මගේ ෆීල් එක තියෙන්නෙ එතැන. ඒකෙ වෙනසක් නෑ. ශක්ති කඩාගෙන ගිහින් හදපු ‘සිහ ශක්ති’ ව්‍යාපෘතිය අසාර්ථක වුණත් 'ශක්ති' ෆෑන්ස්ලා, අදටත් එහෙම්ම ඉන්නවා.

මේ කියන සිංහ ව්‍යාපෘතිය ‘ශක්ති’ කැඩුවේ ඇයි?

සුරේන්ද්‍ර: ශක්ති කියන එකට ගොඩක් අය දායක වෙලා තියෙනවා මුල ඉඳන්. ශක්ති හදන්න මාත් එක්ක පුරෝගාමී වෙච්ච අය ශක්ති ජනප්‍රිය වෙන කාලෙ හිටියෙ නැහැ. ශක්ති ජනප්‍රියභාවයෙන් ප්‍රයෝජන ගත්තේ හදන්න පුරෝගාමී වුණු අය නෙමෙයි. මං ‘ශක්ති’ නමත් එක්ක මේ ඉන්ස්ටෘමෙන්ට්ල් වැඩේට උත්සාහ කළේ අසූව දශකයේ මැද වගේ ඈත කාලෙක ඉඳන්. නමුත් ‘ශක්ති’ ජනප්‍රියත්වයක් හිමිකරගත්තෙ අනූ තුනේදි විතර.

අපි ප්‍රසිද්ධියෙ කතා නොකළාට කලාවෙදි හරියට ඊර්ෂ්‍යාව, තණ්හාව එනවා. 'ශක්ති' කැඩෙන්න හේතු වෙච්ච වෙන සීරියස් දෙයක් නෑ මම දැනුවත්ව නම්. අපි උදාහරණයක් ගමු. ෂෝ එකක් ඉවර කළාම වුණත් මිනිස්සු මා එක්ක කතා කරලා, පින්තූර ගන්නවා. ඒක මගෙත් සතුට. මං විශාල කැපකිරීම් එක්කයි ‘ශක්ති’ මේ තැනට ගෙනාවේ. අනික් පැත්තෙන්, ෂෝ එකක් ගැන කතා කරන්න හොයද්දි වුණත්, කවුද 'ශක්ති' හැදුවේ? සුරේන්ද්‍රනේ. මේ ගැන කා එක්කද කතා කරන්න ඕනි, සුරේන්ද්‍ර එක්ක. මම මූලික වෙන්නේ 'ශක්ති' ඉතිහාසයට මගේ තියෙන පුරෝගාමී සම්බන්ධය හින්දා. ඒක වෘත්තීය ඊර්ෂ්‍යාවකට හේතුවක් වෙන්න අවශ්‍ය දෙයක්ද? නමුත් යටින් තිබුණ ඇත්ත හේතු මේ වගේ පටු දේවල්. ඒ වුණාට ඇත්ත හේතු පැත්තක තියෙද්දි ශක්ති කඩන් ගිය අය සිංහ අනන්‍යතාව ඉදිරියට දාගෙන තමයි මතුවෙන්න බැලුවේ. ඒ, මම අනන්‍යතාව අනුව දෙමළ නිසා.

'ශක්ති' සංගීතය වින්ද රසිකයෝ හිටියත් දැන් ‘ශක්ති’ පේන්න නැහැනෙ. මං අවසාන වශයෙන් අහන්නෙ ‘ශක්ති’ එකට මොකද වෙන්නේ? ඒක ඉවරද? නැද්ද?

සුරේන්ද්‍ර:  ‘ශක්ති’ ගැන දන්න බොහෝ දෙනෙක් මට කතා කරනවා, මගෙන් අහනවා ඔය ප්‍රශ්නෙම. ඒ හින්දා ඒ ගැන හිතන එක අප්ඩේට් වෙනවා. සරලව ම කියනවා නම්, ‘ශක්ති’ ඉවර වෙලා නැහැ. මං හිතන්නෙ මං ජීවත්ව ඉන්න කල් ‘ශක්ති’ තියෙනවා. ආයෙමත් ඒක සක්‍රීය වෙයි කියන සිතුවිල්ල මේ මොහොතෙත් මං තුළ තියෙනවා.

වැඩේ වෙන්න ඕනි විදිහ ගැන හුඟක් ඔෆර්ස් තියෙනවා. ඒකෙ ආකර්ශනීයම යෝජනාව තමයි ‘රී යූනියන්’ වීම. මං ඒ ගැනත් හිතමින් ඉන්නෙ. ‘රී යූනියන්’ කරන්න ගියොත් 'ශක්ති' බෑන්ඩ් එකේ තිස් පස් දෙනෙක් - හතළිස් දෙනෙක් විතර ප්ලේ කරන්න වෙනවා. මුල්ම ප්ලේ කරපු වාදකයා ඉඳන් හමෝම ‘ශක්ති’ තමයි. ජනප්‍රිය අවදියේ හිටපු අය ‘විතරක්’ නෙමෙයි. බලමු ඉතින් මොකක් වෙයිද කියලා.

මම බලාපොරොත්තු අත් හරින මිනිහෙක් නෙමෙයි. ඒ මං අද ජීවත් වෙන සමාජය වෙනුවෙන් නෙමෙයි, මට තාත්තා කියලා දුන්න සමාජය වෙනුවෙන්.

(www.jdslanka.org/s/)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top