nsb

Nov 20, 2016

සමකය: මනරංජන වධ බන්ධන

ධ හිංසාවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවේ 59වැනි සැසිය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම ආරම්භ වූයේ නොවැම්බර් 15 වැනිදා ය. 16 වැනිදා සැසිය නිමාවන විට එකළොස් දෙනෙක්ගෙන් සමන්විත ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙහෙය වූ නීතිපතිවරයා නියත පරාජය වළකා ගනු වස් 'බෑඩ් ලයිට්' වාසනාව උදාවන තුරු කඩුල්ලේ රැඳී සිටින පසුපෙළ පිතිකරුවෙකු මෙන් කල් මරමින් සිටියේය.

කමිටුව විසින් එල්ල කරන පීඩනයෙන් ගැළවෙනු වස් තැත් දරන රජයේ නියෝජිත පිරිසේ සජීවි රූ එක්සත් ජාතීන්ගේ වෙබ් විකාශය ඔස්සේ දහස් සංඛ්‍යාත පිරිස් නැරඹූහ. මඟ හැර යා නොහැකි ලෙස දෙදිනක් තිස්සේ කමිටුව විසින් මතුකළ ප්‍රශ්නයක් කෙසේ හෝ මඟහැර යනු පිණිස කල් මරමින් 'වටේ යෑම' රාජ්‍ය තාන්ත්‍රික නිපුණතාවක් බවට හිටි හැටියේ පෙරළුණු සෙයකි. සැකෙවින් කිවහොත් අර්බුදයට තුඩුදුන් ප්‍රශ්නය මෙයයි:

'තමන් යටතේ ක්‍රියාත්මක වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවාගනු ලැබූ පුද්ගලයන්ට එරෙහිව පමුණුවන ලද සාහසික වධ බන්ධන පිළිබඳ චෝදනා ගැන  ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අයත් හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්ට කමිටුව හමුවේ කියන්නට ඇත්තේ කුමක්ද?'

දෙදිනක් තිස්සේ නැවත නැවතත් මතුකළ මේ පැනයට එක් වරක් හෝ පිළිතුරු සපයන්නට රජයේ නියෝජිතයෝ අසමත් වූහ. ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් 'දෙබසින් දුක වැඩි හෙයින් මුනිවත හොඳ' බවට තීරණය කර තිබූ බව පෙණුනි. සෙස්සෝ කල්පනා කිරීම, ලිපි ගොනු පෙරළා බැලීම සහ ඉන්ටවල් ඉල්ලීම වැනි සරළ විනෝදාංශයන්ගේ සරණ පැතූහ. 'මෙන්ඩිස් මහතාට යොමුකළ ප්‍රශ්න ඇතුළු වැදගත් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු නොසැපයීම ගැන කණස්සල්ල පළ කරමින් කමිටු ප්‍රධානී යෙන්ස් මොඩ්විග් සැසිය නිමා කරන මොහොත වන විට, මර්දනකාරී රාජපක්ෂ පාලනය නිමා කිරීමේ දෙවර්ෂ පූර්ණ සැමරුම් ධජ යට  'අප රක්නා උරුමය' කවරේදැයි කදිමට අනාවරණය වී තිබිණ.

මේ මතභේදයන්ට තුඩු දුන් නිධාන කතාව ඉපැරණි එකක් නොවේ.

නැගෙනහිර යුද ගැටුම් ගැන ඉංග්‍රීසි බසින් ලිපි දෙකක් ලිවීමේ වදරට විසි වසරකට සිර දඬුවම් නියම වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජෙයප්‍රකාශ් තිස්සනායගම් 2008 මාර්තු මාසයේ සිට වධ හිංසා පමුණුවමින් 18 මාසයක් රඳවා තබා සිටියේ ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ ය. ඒ ලියූ ලිපි ප්‍රකාශයට පත්කිරීම  හේතුවෙන් අත් අඩංගුවට ගත් මාධ්‍යවේදී හා ප්‍රකාශක වෙට්ටිවේල් ජසීකරන් හා ඔහුගේ බිරිඳ වඩිවෙල් වලර්මදී සාහසික වධ බන්ධනයන්ට පාත්‍ර කරමින් රඳවා සිටියේ ද ත්‍රස්ත විමර්ශන ඒකකයේ මූලස්ථානයේ ය. වන්නියේ අවසන් මිනිස් දඩබිම් අතහැර යනු වෙනුවට දිවි පරදුවට තබා රැඳී සිටිමින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමේ වරදට, නිසි වෛද්‍ය ප්‍රතිකාර පවා ප්‍රතික්‍ෂේප කරනු ලැබූ මුලතිවු හිටපු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය තුරෛරාජා වරධරාජා ඇතුළු වෛද්‍යවරුන් ව්‍යාජ පාපොච්චාරණයක් කරන්නට එකඟ වන තෙක්  රඳවා තබා සිටියේ ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කුප්‍රකට 'හතරවැනි තට්ටුවේ' ය.

මේ නොවැම්බරයේ වධ හිංසාවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවනු පිණිස යැවුනු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත්ව සිටියේ, මේ සියළු වධක බිම් අධීක්‍ෂණය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ය.

ඒ වනාහී එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක ලේ වැකි පාලනය පෙරළා 1994 අගෝස්තුවේ දී බලයට පත් පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයන්ට නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ හෝ බ්‍රිගේඩියර් පැරී ලියනගේ  යැව්වාක් මෙනි. නමුත් ඉකුත් දස වසර තුළ රාජ්‍ය ආරක්‍ෂක අංශයන්ගේ පරපීඩක වධ බන්ධනයන්ට වැඩිමනත් පාත්‍ර වූයේ දෙමළ ජනයා නිසාදෝ කිසිවෙකුට ඒ පිළිබඳ ගැටලු මතු වූ බවට සළකුණකුදු නොතිබිණ. 

වධ බන්ධන පිළිබඳ දකුණේ  කෲරතර ඉතිහාස නිමේෂයන් පරපුරින් පරපුරට නිස්කාංසුවේ පෙරළා බැලිය හැකි පින්තූර ඇල්බමයක් වී නම්  රාජ්‍ය ආරක්‍ෂක සේනාවන්ගේ සාහසික පරපීඩකත්වය දශක දෙක හමාරක කාලයේ බරින් යටව වැළලී නොයන්නට ඉඩ තිබුණි. ඒ නිධන් වූ ඉතිහාසයේ ඇතැම් පිටු තවමත් තැන් තැන්හී හමු වේ. මාතලේ විජය විදුහලේ පවත්වාගෙන ගිය යුද  හමුදා වධකාගාරයේ හිඳ දිවි ගළවාගත් අයෙක් 2013 ජනවාරි 06 වැනිදා 'ජනරළ' පත්‍රයට මෙසේ කියා තිබිණ:

"වධකාගාරයේ මුල්ලක බෙලි කපලා ඔළු ගොඩ ගහලා තිබුණා. ඒවට කළු තෙල් හලලා අඳුර ගන්න බෑ. මාව ගෙනියනකොට දෙන්නෙක්ට කකුල් දෙකෙන් එල්ලගෙන ගහනවා. කාමරේ පුරාම ලේ හැලිලා, මිදිලා කැට වෙලා තිබුණා. මස් කෑලි පිටින් බිත්ති පුරාම ලේ වේළිලා. මාව මස් මඩුවට අරගෙන ආවෙ දෙන්නෙක්. තවත් ආමිකාරයෙක් කඹයක් අරගෙන පිටිපස්සෙන් ආවා. මොකද උඹ බය වෙලා? කැමති නම් ඔහොම හිටගෙන කතා කරපන්..... ඊට පස්සෙ තමයි මට වධ දෙන්න පටන් ගත්තේ......එදා මගෙ ඉස්සරහම වධ දුන් මනුස්සයත් මැරුණා. පස්සෙ බෙල්ල කපලා කඳ  අරගෙන ගියා. එකෙක් කාමරේ මුල්ලකට විසි වෙන්න ඔළුවට පයින් ගැහුවා."

නමුත් ඒ වධකාගාර මෙහෙය වූ බවට චෝදනා එල්ල වූ හමුදා ප්‍රධානීහු විසි වසක් ඇවෑමෙන් දිවි ගළවාගත්තවුන්ගෙන් අපමණ කිත් යසස් උපයා විශාරද අමරදේව සමඟ ප්‍රසංග වේදිකාවට නැග  'රත්නදීප ජන්මභූමි' ගායනා කොට තුති පැසසුම් ද ලද්දාහ.

1989 ජූනි මාසයේ දිනක අලුත්ගම කොස්වත්තගොඩ ගම්මානයේ කළ මෙහෙයුමක් මගින් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවටවට ගත් තරුණයන් සිව් දෙනෙකුගේ ඉරණම බෙන්තොට හබුරුගල මංසන්ධියේ ජංගම වධකාගාරයක් තුළ විසඳු අයුරු 1989 ජූලි මාසයේ 'විනිවිද' සඟරාව මෙසේ ලියා තිබිණ:

"සන්නද්ධ භටයෝ සිය රයිෆල් බඳවලින් තරුණන්ට පහරදීම ඇරඹුහ. භටයන්ට හතිවැටෙද්දී තරුණයෝ කපා හෙළු කෙසෙල් කඳන් සේ තාර පාරේ ඇද වැටුණාහ. ඔවුහු යළි නැගිටුවාලුහ. බිම පතිතවන්නට පෙරාතුව වූ තත්පර කීපයේදී ජීප් රියෙන් ඇද ගත් ටයර් හතරක් තරුණයන්ගේ බෙල්ලට දමන්නට සන්නද්ධ භටයෝ සමත් වුහ. ඉක්බිති පැට්‍රල් වලින් ටයර් පෙඟ වුහ....යළි බිම හොවාලු තරුණයන්ගේ දෙපා සහ දෑත් යළිදු වරක් බැම්මකින් බැඳ එක පෙළකට රඳවන ලැබිණ.....දෑත් දෙපා දෙපසින් දෙදෙනෙකු අල්ලා ගනිද්දී ඒ මෘගයෝ යෞවනයන්ගේ කන් මත පරාල ඇණ ගැසුහ.......මේ දකින්නේ සැබෑවක් යැයි දැන කම්පිත වූ කාන්තාවෝ සිහි විසඥව වැටුනාහ.....වික්‍රමාන්විතව හාත්පස දෙසට රළු දෑස් එල්ල කළ භටයෝ ගෑස් ලයිටරයකින් තරුණන්ගේ ගෙල සිර කොට ලු ටයර් හතරට ගිණි දල්වුහ. ගිණිදැල් වහා අහසට නැගිණි........හබුරුගල වැසියෝ නොනවත්වා හඬා වැළපුනාහ."

සාහසික රාජ්‍ය අපරාධකාරීත්වය පිළිබඳ මේ වන් ලේ බත් පරිච්ඡේදයන් ඉඳහිට හෝ නැවත කියවා බැලීමට අතපසු වූ රටක රාජ්‍ය අපරාධකාරීත්වයට එරෙහි යුක්තිය වනාහී 'දෙමළුන්ගේ තුරුම්පුවකැ'යි බහුතරයක් දෙනා කල්පනා කරති. නිරායුධ මිනිසුන් මැඩලා නොපනත් කමින් නිරා දුක් පැතිර වූ සාහසික වධක බිම් අරා සිටියවුන් ගෞරව පදක්කම් පැළැඳ රාජ්‍ය තාන්ත්‍රික මුක්තියෙන් සජ්ජිතව රටින් රට සැරි සරන්නේ ඒ  ඇම්නීසියාවේ පිහිටෙනි. 

උතුරේ ද, දකුණේ ද දශකයෙන් දශකය මඟහළ යුක්තිය වනාහී අපේ නින්දා සහගත සාමූහික ගැළවුම පිණිස අත්හළ මිනිස් ලේ වැකි ධජයකි. නොවැම්බර් 15 හා 16 වැනිදා ජිනීවා නගරයේදී හෝරා කිහිපයකට හෝ යළිත් එස වී තිබුණේ ඒ විරළ යුක්තියේ ධජයයි.☐

(මෙම ලිපිය 2016 නොවැම්බර් 20 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය.)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top