Sep 20, 2017

'අහන්න' සිංදුව අහන්නෙ මොකටද ? (මග නොහැර කියවිය යුතුම සටහනක්)

මේ ළඟදී, `අහන්න` කියල සිංදුවක් රිලීස් වුණා. ඒක ටිකක් වෙනස් සිංදුවක්. ගයන්නෙ, ඉන්ද්‍රචාප ලියනගේ. සමහරුන් එහෙම එකක් ආව බව දන්නව වුණත්, ගොඩක් අය තාම දන්නෙ නෑ.  හැම සිංදුවක්ම හැම ගායකයෙක්ම ගයන්නෙ, `අහන්න` තමයි. ඒත්, මේ සිංදුවෙන් `අහන්න` කියල ඉල්ලනවා. අහන්න ? ඒත්, අහන්නෙ මොකක්ද ? අන්න ඒක තමයි ප්‍රශ්නෙ.

අහන්න සිංදුවට හරි ලස්සන ටැග් ලයින් එකක් තියෙනව. ඒ තමයි, `ඒ කියන්නේ සාමය ගැනයි` කියන එක. දැන් අපිට ටිකෙන් ටික පැහැදිලි වෙන්න පටන් ගන්නව, මොකක්ද මේ `අහන්න` සින්දුව කියලා. ඔව්. මේ ගීතයෙන් කියැවෙන්නේ `සාමය` ගැන ! `සංහිඳියාව` ගැන. අපි සමාජයක් හැටියට දියුණු වෙන්න හිතාගෙන ඉන්නවනම්, අපි මේ ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නවනම්, අන්න ඒ ඉලක්කවලට යන්න `සංහිඳියාව` කොච්චර වැදගත් වෙනවද කියන සාකච්ඡාව පටන් ගන්නම වෙනව කියන එක ගැන.

සාමය සංහිඳියාව වගේ වචනවලට එච්චර කැමති නැති `පොදු ජනතාවක්` ඉන්න එකම රට ලංකාවද මන්දා. ඒකෙන් කියන්නෙ, ලංකාවේ මිනිස්සු සාමයට සංහිඳියාවට කැමති නෑ කියන එකම නෙවේ. ඒ වචනවලට එච්චර කැමති නෑ කියන එකයි. ඒකට හේතු දෙකක් තියෙනව. ඒ තමයි, මේ වචන සෑහෙන්න අවභාවිතා කරලා තියෙනවා. ඒ වචන ඇහෙද්දීම සමහරුන් කියන්නෙ ``ඕක ෂුවර් එකටම NGO ප්‍රොජෙක්ට් එකක්`` කියල. ඇත්ත තමයි. සමහරුන් මේකෙන් හම්බ කරන් කාල තියෙනව.

අනෙක් පැත්තෙන්, ලංකාවේ ඉන්න ජාතිවාදී දේශපාලනඥයෝ, මිනිස්සුන්ගෙ ඔළුවලට නොසෑහෙන්න විස කවලා තියෙන්නෙ. ඒ ගොල්ලෝ ගහල තියෙන ඉන්ජෙක්ෂන් එක , ``යුද්ධෙ තමයි වැඩේ. සාමය කියන්නෙ රට කඩන වැඩක්`` කියන එක. මොකද, බහුතර මිනිස්සු ජාතිවාදයට හෙන ආසයි. යටි හිතින් ජාතිවාදයට හරි ආසයි. ``මං අයිති ජාතිය තමයි මේ ලෝකෙ හොඳම ජාතිය`` කියන කෑල්ල, පපුවෙ කොතන හරි හැංගිලා තියෙනව. ඊළඟට, ඒ කෑල්ලම තමයි පිකප් වෙන්නෙ, ``අනෙක් ජාතීන් සේරම හතුරො`` කියන ලෙවල් එකට.

අවුරුදු හත් අටසීයක ඉඳන්, එහෙමත් නැත්නම් දාහක දෙදාහක ඉඳන් එන මේ හැඟීම, එකපාරට අයින් කරන්න බෑ. ජාතිවාදය නිද්‍රාගත පිළිකාවක් වගේ අපේම ඇතුලාන්තයේ හැංගිලා තියෙනවා. හිටපු ගමන් ඇහැරෙනවා. ``අපි ඔක්කොම මිනිස්සු`` කියන අදහස හරියටම තහවුරු කරගත්ත මිනිස්සු විතරක් අන්න ඒ පිළිකාව පරාජය කරනවා. එක අතකට බැලුවම, මේකත් නිකං සෝවාන් වෙනවා වගේ වැඩක්. කෙළෙස් නසන එක පට්ට අමාරුයි. ඒත් බුදු හාමුදුරුවො කිව්වේ, අමාරුවෙන් හරි ඒක කරන්න කියල.

අන්න ඒ වගේ ජාතිවාදය නසන එකත් ලේසි වැඩක් නෙවේ. ඒත් සමාජයක් හැටියට දුකින් මිදෙන්න නම්, ජාතිවාදය නසන්නම වෙනවා. දුකින් මිදෙන්න විතරක් නෙවේ, සැපෙන් හිඳින්න නම් ජාතිවාදය නසන්නම වෙනවා. කොටින්ම කියනවනම්, මේ රට ඇත්තටම දියුණු රටක් වෙන්න නම්, ජාතිවාදය පරද්දන්නම වෙනවා. දියුණුව කියන්නෙ පාරවල් හදන එකම නෙවේ. ඒකත් එකක් තමා. ඒත් ඒකම නෙවේ.

උදාහරණයක් හැටියට, පාරවල් ලස්සනට හදලා, ඒ පාරවල් දිගේ ගිහිං තවත් ජාතියක් එක්ක මරාගන්නවනම්, මොන මගුලකටද ඒ පාරවල් ? ඒ පාරවල්වල උදේ හවා යන්න සිද්ද වෙන්නෙ, ලේ පෙරාගත් මිනිස්සුන්ගෙ සිරුරු අරගෙන, විලාප තියාගෙන දුවන ඇම්බියුලන්ස්වලට නම්, මොන කෙහෙල්මලකටද ඒ පාරවල් ? වැඩියෙන් වටින්නෙ මනුස්ස ජීවිත. අන්න ඒකටයි අපට සංහිඳියාව ඕනේ. අන්න ඒකටයි අපට සාමය ඕනේ. ඇත්ත දියුණුව, ඇත්ත සංවර්ධනේ හැදෙන්නෙ නෑ, ඇත්ත සාමය, ඇත්ත සංහිඳියාව නිර්මාණය වෙනකම්.

දැන් කෙනෙකුට අහන්න පුළුවන් මෙන්න මෙහෙම. ``ඉතින් දැනුත් සාමය තියෙනවනෙ ? දැනුත් සංහිඳියාව නැත්තෙ නෑනේ ? දැන් මේ වෙනකොට යුද්ධෙකුත් නෑනේ ? ඉතින් මොකටද මේ පණ කඩාගෙන සාමය සංහිඳියාව කිය කිය මොරදෙන්නේ ? මේ යන විදිහ අවුලක් නෑනේ ?`` කියල. නෑ. ඒක නෙවේ ඇත්ත. මේ යන විදිහෙ අවුලක් තියෙනව. අවුල තමයි, මේ පේන්න තියෙන්නෙ ඇත්ත සාමය නෙවේ. මේ පේන්න ඇත්ත සංහිඳියාව නෙවේ. තාමත් අළු යට ගිනි පුපුරු තියෙනව. යුද්ධෙ ඉවරවෙද්දි සිද්ද වුණේ, උඩින් ඇවිලිච්ච ගින්න බලෙන් නිව්ව එක විතරයි.

`උඩින් ඇවිලිච්ච ගින්න බලෙන් නිව්ව එක` හොඳද නරකද කියල, ඒ නිව්ව විදිහ හොඳද නරකද කියල හැමදාමත් තර්ක කරන එක තේරුමක් නැහැ. සමහරු කියනව හොඳයි කියල. ඔහොමවත් නිව්වේ නැත්නම්  කොහොම නිවන්නද කියල සමහරු අහනව. හැබැයි සමහරු කියන්නෙ, හැම බිම් අඟලක්ම ගිනි තියල ගින්නෙන්ම ගින්දර නිව්ව එක වැරදියි කියල. එතකොට අනික් කට්ටිය කියනව විස නසන්න ඕන විසෙන් කියල. එතකොට ප්‍රශ්න මාලාවක් එනවා, විස හැදුවෙ කවුද, ඇත්ත විස මොකක්ද, විස ගහලා මහා සංහාරයක් කරලා ගින්න නිව්වේ මහා ගින්දරක් අළු යට හංගලා නේද කියල.

දැන් ඉතින් මේ විවාදය කරා ඇති. කවදා  වෙනකම් ඔව්ව ගැන තර්ක කර කර ඉන්නද ? කවුරු කැමති වුණත් අකමැති වුණත් ඒක සිද්ද වෙලා ඉවරයි. වලකට වැටීම මොළයට ලාභයක් කියනවනේ. අන්න ඒ නිසා, සිද්ද වෙච්ච දේවල් වලින් පාඩම් ඉගෙනගන්න ඕනේ. ආයෙමත් ඒ වෙච්ච වැරදි කාගෙ කාගෙ අතිනුත් නොවෙන්න, පාඩම් ඉගෙන ගන්න ඕනේ. දැන් ප්‍රශ්නෙ මේකයි. අළු යට ගිනි තියෙනව. ඒ කියන්නෙ, ආයුධ සන්නද්ධ උදවිය හැංගිලා ඉන්නවා කියන එක නම් නෙවේ. අළු යට ගිනි තියෙන්නෙ මිනිස්සුන්ගෙ හිත්වල. තාමත් උතුරට දකුණ සැකයි. දකුණට උතුර සැකයි. ඒ විතරක් නෙවේ, උතුරට නැගෙනහිර සැකයි. දකුණටත් නැගෙනහිර සැකයි. නැගෙනහිරට උතුරයි දකුණයි දෙකම සැකයි. ඒ මදිවට සමහරුන්ට කඳුකරයත් සැකයි. හෘද සාක්ෂියෙන් අහල බලන්න, මේක ඇත්තද බොරුද කියල. මේක තමයි අපි පිළිනොගන්න තිත්ත ඇත්ත.

මොකද්ද මේ විහිලුව ? එකම රටක මිනිස්සු තමන්ගෙම රටේ එක එක පළාත්වල මිනිස්සුන්ව සැක කරනව. උතුරෙ රතිඤ්ඤාවක් පිපුරුවත් සමහරුන්ට සැකයි. සමහරු නම් බලං ඉන්නෙ රතිඤ්ඤාවක් හරි පුපුරනකම්. එතකොට පුළුවන්නෙ, ``අන්න කොටි එනෝ`` කියල දකුණ අවුස්සලා ඡන්ද ටිකට වැඩේ දෙන්න. ඒවා අතුරු කතා. වැදගත් අතුරු කතා. හරි. අපි මාතෘකාවට එමුකො.  දැන් මොකද කියන්නෙ ? යුද්ධෙ ඉවර වෙච්චි පළියට සාමය උදා වෙලාද ? බෝම්බ පිපිරිච්ච එක නතර වෙච්ච පළියට සංහිඳියාව උදා වෙලාද ? නෑ. එහෙම වෙලා නෑ. හැම මිනිහෙක්ගෙම හිත ඇතුලෙ තවත් ජාතියක් ගැන තවත් ජන ප්‍රජාවක් ගැන සැකයක් තියෙනව. ``මුන් කොයිවෙලේ හරි අපට කෙළියි`` කියල හැමෝම හිතනව.

මෙන්න මෙහෙම හිතනකම් අපට අනාගතයක් නෑ. මෙන්න මෙහෙම හිතනකම්, අපි ජාතිවාදී දේශපාලඥයන්ගේ ලණු කනවා. මෙන්න මෙහෙම හිතනකම් අපි එකිනෙකාව කොටවන්න ආයුධ ජාවාරම්කාරයන්ට හෙන ලේසියි. ජාතිවාදී දේශපාලනඥයෝ, ආයුධ ජාවාරම්කාරයෝ, ජාතිවාදය රස්සාව කරගත්ත උදවිය විතරක් නෙවේ සාම වෙළෙන්දෝ, මේ හැමෝම කැමති ආයෙත් යුද්ධයක් එනවට. ඒ ඔක්කොටම ඕන අපි ආයෙමත් මරාගන්නවා දකින්න. ඒ ඔක්කොටම ඕන තම තමන්ගෙ මඩිය තර කරගන්න. එහෙමත් නැත්නම්, අපිව මරාගන්න තැනට තල්ලු කරලා, හොඳට ලේ හලාගන්න ඇරලා, මිනිස් ජීවිත සිය දහස් ගාණක් නැතිවෙන්න ඇරලා, ඊට පස්සෙ ඒ මැද්දට පැනල වෙඩි තියල මිනිස්සු මරලා වැඩේ ක්ලෝස් කරලා, ඔන්න අපි යුද්ධය අවසන් කළා සාමය ගෙනාවා කියල වීරයෝ වෙන්න. ඒ වීරත්වය පාවිච්චි කරලා රට වනසන්න, රටේ සම්පත් හූරන්කන්න, සදාකාලිකව රජ සැප විඳින්න කට්ටියක් බලාගෙන ඉන්නවා. පොඩ්ඩක් හිතල බලන්න. අපිව ජාතිවාදයේ ගිල්ලවලා කී දෙනෙක් ගොඩ යනවද කියලා.

මෙන්න මේ නිසයි, සාමය ගැන ඇත්ත සංවාදයක් ඕනේ. මෙන්න මේ නිසයි සංහිඳියාව ගැන ඇත්ත කතිකාවක් ඕනේ. කාටවත් අපිව අන්දවන්න දෙන්න බෑ. කාටවත් අපිව මුළා කරන්න දෙන්න බෑ. කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් ඇවතුමෙන් පැවතුමෙන් විතරක් නෙවේ, ජාන වලින් පවා එකිනෙකා සමග මුහු වෙච්ච ආඩම්බර ශ්‍රී ලාංකික ජාතිය අපි. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ආදී සියලු ජන ප්‍රජාවන්ගේ සංස්කෘතික උරුමයන් සුරැකෙන්න ඕනේ. එතකොට තමයි ලස්සන. එක පාට මල් පිපෙනවට වඩා නෙක පාට මල් පිපෙනකොට ලස්සනයි. විවිධත්වය තමා විචිත්‍රත්වය. මතක තියාගන්න ඒකම තමා ශ්‍රී ලංකාවේ ශක්තිය.

මේ පළාත් නවයේ මිනිස්සුන්ට ස්වාධීනව තමන්ගෙ හැකියාවන්  වර්ධනය කරගන්න දීල, ඒ සියලු ශක්තීන් එක මිටකට එක ජවයට ගන්න පුළුවන් නම් අන්න එක තමයි සංවර්ධනය කියන්නෙ. එකිනෙකාට ගරු කරමින් අපට ඒ ගමන යන්න පුළුවන්. අපි එකතු වුණොත් ලංකාවේ ඉතිහාසය වෙනස් කරන්න පුළුවන්. යුද්ධෙ ඉවරවෙච්ච ගමන් මෙන්න මේ ස්වර්ණමය අවස්ථාව ගන්න තිබ්බා. හැබැයි ඒක වුණේ නෑ. කමක් නෑ. ගිය දේ ගියා. දැන් අපි ඒ ස්වර්ණමය අවස්ථාව ගමු. එකිනෙකාට ගරු කරමින්, එකිනෙකාට ආදරය කරමින්, එකිනෙකාව  විශ්වාස කරමින්, එක මිටකට එකතු වෙමු.

මෙන්න මේ පණිවිඩය තමයි `අහන්න` ඕන. මෙන්න මේ කතාව තමයි අපි ගමක් ගමක් ගානෙ `අහන්න` සලස්සන්න ඕන.  ඉතින්, `අහන්න` සිංදුව අහන්න ඕන අන්න ඒකටයි !

විමුක්ති රණසිංහ

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top