15976 BM WEB BANNER 01
Oct 10, 2017

වෛද්‍ය සභාව නවීකරණයට කොල්වින් නොවේ නම් කවුද?

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ සභාපති ධූරයේ දිගු කෙරුණු සය මසක කාලය අවසන් වන්නට පෙරාතුවම, එහි ඊළග සභාපති ලෙස මහාචාර්ය කොල්වින් ගුණරත්නගේ නම යෝජනා වී තිබිණ. එහෙත් මාස 03 ක් එය ක්‍රියාවට නොනැගුණේ මහාචාර්ය කොල්වින් ගුණරත්න එම යෝජනාවට එකඟ නොවු නිසාම නොව, එම තනතුරට ගැලපෙන වෙනත් එවන් පුද්ගලයෙකු නොවුනු නිසා ය. එසේ තිබියදී පසුගිය සැප්තැම්බර 11 වන දින සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් මහාචාර්ය ගුණරත්න එම ධූරයට පත් කිරීමේ ලිපිය නිකුත් කළේය. එහෙත් මහාචාර්ය කොල්වින් ගුණරත්න පත්වීම බාර ගැනීමට අදි මදි කරමින් සිටියේය. අවසානයේ මා දන්නා තරමින්, ජනාධිපතිගේ සහ අමගමැතිගේ මැදිහත්වීම හේතුවෙන් පසුගිය 02 වන දින ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයේ ඔහු වැඩ බාර ගත්තේය.

ඒ සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායක මාෆියාව කලබලයට පත් විය. විශ්ව විද්‍යාලයේ ඉගෙන නොගෙන පාරවල පෙළපාලි යන්නේ ඇයිදැයි නොදන්නා වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ ක්‍රිරයාකාරීන්ද කුලප්පු කර පසුදිනම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපිට විරෝධයක් පැවැත් වූහ. මහාචාර්ය කොල්වින් ගුණරත්නගේ පත් වීමට විරෝධය දක්වමින් එම පත්වීම නැවත සළකා බලන මෙන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිට හා අගමැතිට ලිපියක් යොමු කළ බවද වාර්තා වින. එයට ලැබෙන ප‍්‍රතිචාරය කවරක් වූවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මාධ්‍ය හරහා මිස වෙනත් ක්‍රි‍රයාකාරී විරෝධයකට යා නොහැක. පසුගිය මාස ගණනාවේම ඔවුන්ගේ වර්ජන තීන්දු අතිශය අසාර්ථක වූ වර්ජන විය. වෛද්‍යවරුන්ට රජයේ රෝහලේ වැඩ වර්ජනයකර තම පෞද්ගලික සායනයෙහි හෝ චැනල් සේවාවේ යෙදිය නොහැකි තාක් කල් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සාර්ථක වැඩ වර්ජන දියත් කළ නොහැක. ඔවුන්ගේ විරෝධතා සඳහා විශ්ව විද්‍යාල සිසු සිසුවියන් කඬේ යවන්නේ එබැවින්ය.

ඒ අතර, තමා කටයුතු කරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිහිටුවා ඇති වෛද්‍ය පනත විසින් තමන්ට ලබා දෙන බලයේ සීමාවන් අනුව ස්වාධීනව යැයි මහාචාර්ය ගුණරත්න මාධ්‍යයට පැවසූ බව වාර්තාවක කියැවීමි. එය අලූතින් කියන්නට තරම් කාරණාවක් නොවේ. ඔහු හැමදාමත් එවැනි ය. ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ ඔහුගේ වසර 09 ක ධූර කාලය ගැන හොඳ අවබෝධයක් ඇති වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද එය හොඳින් දන්නා කාරණාවකි. මේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායක මාෆියාවට ඇති ගැටළුවද එයම ය. කොල්වින් ගුණරත්න, ඔවුන් දන්නා කාලෝ ෆොන්සේකා නොවීමය.
 
ඒ වෙනස නිසාම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීන්දු ගැනීමේ පැහැදිලි වෙනසක් මෙතැන් සිට ඇති විය යුතුය. එවැනි ප‍්‍රතිපත්තිමය වෙනසක් වෙනුවෙන් මහාචාර්ය ගුණරත්න කටයුතු කරණු ඇතැයිද විශ්වාස කළ හැක්කකි. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකයින් කිහිප දෙනා පමණක් නොව, ඔවුන් හා සමීපව කටයුතු කළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනෙක් සාමාජිකයින් අතුරින් තවත් කිහිප දෙනෙකුද මහාචාර්ය ගුණරත්නගේ පත්වීම සමග කලබලයට හා කණස්සල්ලට පත්ව ඇත්තේ එනිසාවෙනි. පසුගිය වසරවල එහි තීන්දු ගනු ලැබූයේ තාර්කිකව එළැඹුණු නිගමන අනුව නොවන බැව් සැඟවිය නොහැකි කාරණාවකි. සයිටම් විරෝධය එහි ලජ්ජා සහගත ප‍්‍රකාශනය වේ. සයිටම් විරෝධය සඳහා අවශ්‍ය හේතු කාරණා නිර්මාණය කිරීමට තමන්ගේම කමිටු වාර්තා පවා මහාචාර්ය කාලෝ ෆොන්සේකා යොදා ගනිමින් බලහත්කාරයෙන් වෙනස් කළ බැව් දැන් කවුරුත් දන්නා රහසකි.

‘‘සයිටම් විරෝධය’’ සඳහා එලෙසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට කටයුතු කළ හැකිවූයේ පුද්ගලයින්ගේ පටු ආත්මාර්ථකාමිත්වයට ඉඩ ලබා දෙන එහි සංයුතියද නිසාවෙනි. සයිටම් විරෝධය කරළියට එන තෙක් එහි තිබූ අතිශය බාල හා දූෂිත පැවැත්ම හෙළි නොවුනකි. තවමත් එය සාමාන්‍ය ජනතාව දන්නේ නැත. රජයේ වෛද්‍යවරුන්ට විරුද්ධව ඉදිරිපත්වන පැමිණිලි කිසිවක් එහිදී ස්වාධීනව විසඳෙන්නේ නැති බව දන්නේ එය වෙත පැමිණිලි රැගෙන ගිය රෝගීන් හෝ ඥාතීන් පමණි. විදේශ වෛද්‍ය විද්‍යාල එහි ලියාපදිංචි කිරීමේද වැදගත් ප‍්‍රමිතියක් නොමැති බැව් අති බහුතරයක් දන්නේ නැත. වඩාත්ම බරපතල කාරණාව වන්නේ රටේ සෞඛ්‍ය සේවාව දියුණු කළ හැක්කේ වෛද්‍යවරුන්ට වන අතර, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇත්තේ වෛද්‍ය වෘත්තියෙහි අභිවෘද්ධිය වෙනුවෙන් යැයි ඇති පොදු මතය ය. එය එළෙසින් පවත්වා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායක මාෆියාවට හැකිව ඇත්තේද වෛද්‍ය සභාව පිහිටුවීමේ ඇති බරපතල සීමාවන් සහ ඌණතාව නිසා ය.

රටේ සෞඛ්‍ය තත්ත්වය තීන්දු වන්නේ වෛද්‍යවරුන්ගෙන්ම නොවේ. ඔවුන්ගේ ප‍්‍රධාන වගකීම රෝග සුව කිරීමය. රටේ සෞඛ්‍ය තත්ත්වයෙහි දියුණුව ඇත්තේ රෝග වැළැක්වීමෙහි මිස සුව කිරීමෙහි නොවේ. ඒ වෙනුවෙන් දැනුවත් සමාජයක් පවත්වා ගැනීමෙහිය. මැලේරියා වසංගතයේ සිට බරවා රෝගය, පෝලියෝව වැනි බරපතල වසංගත රටින් තුරන් කිරීමේ සිට ක්ෂය රෝගය, පණු රෝග, සරම්ප වැනි බහුතර සමාජයේ පැතිර තිබූ රෝග බොහෝමයක් අද අසන්නටවත් නැත්තේ සෞඛ්‍යයෙහි අතුරු සේවාවන් නිසාවෙනි. ළමා උත්පත්ති මරණ, ළදරු මරණ වැනි කතාන්තරද අද නොඇසෙන තරමට අඩුවී ඇත්තේද එතරම් වැදගත්කමක් නොලැබුණද පවුල් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක තත්ත්වය නිසාවෙනි. මේ සමාජයේ පෞද්ගලික හා ප‍්‍රජා සනීපාරක්ෂක පැවැත්ම ඉහළ නංවනු ලැබූයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාව මගින්ය. ගමින් ගමට ගොසින් ඉතා කාර්යක්ෂම ලෙෂ ක්‍රියාත්මක කළ එන්නත් ව්‍යාපාර සෞඛ්‍ය සේවාවේ මේ ප‍්‍රජා ක්‍රියාකාරීන්ගේ ඇප කැප වීමකි. ප‍්‍රජා සෞඛ්‍ය ඉහළ මට්ටමක පවත්වා ගැනීම රටට වැදගත් වනුයේ ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත වන සංඛ්‍යාව අඩුකර ගැනීම සෞඛ්‍ය සේවාවෙහි මුඛ්‍ය පරමාර්ථය විය යුතු හෙයින්ය. ඒ සඳහා හෙද සේවයද ඇතුලූව මෙම අතුරු සේවා දියුණු කළ යුතු නමුදු වෛද්‍ය ප‍්‍රතිකාර මුදලට විකිණිය හැකි විවෘත වෙළඳපල සමග පසුගිය දසක කිහිපයේ වෛiවරුන් සෞඛ්‍ය සේවාවේ ඔවුන්ගේ ආධිපත්‍යය තහවුරු ගර ගෙන ඇත. ඒ සමග දැන් සෞඛ්‍ය සේවාව ගැන කතා කරන්නේ රෝහල්ගත ප‍්‍රතිකාර සඳහා රෝහල් ඇඳන් සහ වෛද්‍යවරුන් වැඩි කිරීම ගැන මිස රෝග වැළැක්වීම සඳහා සෞඛ්‍ය අතුරු සේවා දියුණු කිරීම ගැන නොවේ.   

අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගැන කතා වන්නේද ජාතික සෞඛ්‍ය සේවය ගැන තැබිය යුතු අවධාරණය එළෙසින් විකෘති කෙරුණු පසුබිමකය. වෛද්‍ය සභා සංශෝධිත පනත ලෙස හැඳින්වෙන පනතෙහි තෙවන කොටස යටතේ එහි 12 වන වගන්තියේ අනු ඡේද මගින් 23 ගෙන් යුත් වෛද්‍ය සභාව පිහිටුවීමේදී එහි 13 වන වගන්තියට අනුව එය වෛද්‍යවරුන්ට හා දන්ත වෛද්‍යවරුන්ට පමණක් සීමා කෙරෙන අයුරු සංයුතිය තීන්දු කෙරෙන්නේය. ඉන් 08 කු රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ 08 හා පේරාදෙණියේ දන්ත වෛද්‍ය පීඨය නියෝජනය කරති. තවත් 08 කු පත් කෙරෙන්නේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් නියෝජනය වෙනුවෙනි. සභාපති සහ තවත් 04 කු පත් කිරීමේ බලය සෞඛ්‍ය ඇමතිවරයා සතුය.

මේ හේතුව නිසාම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් පිහිටුවනු ලබන වෛද්‍ය සභාවක් වෙනුවට වෛද්‍ය වෘත්තිකයින්ගේ වුවමනාවන් වෙනුවෙන් ක්‍රියා කරන සභාවක් බවට පත්ව ඇත. අපගේ වෘත්තිකයින්ගේ ආත්මාර්ථකාමී සදාචාර විරෝධී සහ මුදලට ඇති කෑදර පැවැත්ම සමග තත්ත්වය වඩාත් බරපතල වන්නේය. රටට අවශ්‍ය වන්නේ සමස්ථ සෞඛ්‍ය සේවාව යහපත් ප‍්‍රමිතියකින් පවත්වා ගැනීම වෙනුවෙන් කටයුතු කරන්නා වූ සහ ඒ වෙනුවෙන් තීන්දු ගත හැකි වෛද්‍ය සභාවකි.

දියුණු ලෝකයේ වෙනත් රටවල වෛද්‍ය සභා පිහිටුවා ඇත්තේ ඒ වෙනුවෙනි. එබැවින් එවැනි රටවල වෛද්‍ය සභා වෛද්‍යවරුන්ගේ ආධිපත්‍යයට යටත් නොකිරීමට වග බලා ගෙන ඇත. ඒවා සැබවින්ම ජාතික වෛද්‍ය සභාවන්ය. ඒවායේ ජනතා නියෝජනයක් වෙනුවෙන් වෙනත් වෘත්තිකයින් සඳහාද ප‍්‍රතිපාදන ඇත.  ඕස්ත්‍රේලියානු වෛද්‍ය මණ්ඩලය සංයුක්ත වන්නේ ඔවුන්ගේ ප‍්‍රාන්ත වෛද්‍ය මණ්ඩල නියෝජනයක්ද ඇතුලත්වය. ප‍්‍රාන්ත වෛද්‍ය මණ්ඩල ඇති හෙයින් සහ ඒවායේ නියෝජනයක්ද නිල බලෙන් ඇතුලූ වන හෙයින්  ඕස්ත්‍රේලියානු වෛද්‍ය මණ්ඩලයේ තෝරා පත් කෙරෙන සභිකයින් ඇත්තේ 13 කි. ඉන් 07 කු කාන්තාවන් විය යුතුය. ඔවුන්ගේ වෛi මණ්ඩලයේ ඉතා විශ්ෂ්ඨ සේවාවක් වෙනුවෙන් වෙනත් වෘත්තීන්හි නම් දැරූ පුද්ගලයින්ද ඇතුළත් වන්නේය. වඩාත් වැදගත් වන්නේ ඔවුන්ගේ තෝරා පත්කර ගැනීමේ ක්‍රියාවලිය අපගේ මෙන් නොව, විවෘත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක්‍රියාවලියක් වීමය.

කැනේඩියානු වෛද්‍ය කවුන්සිලය ඊටත් වඩා පුළුල් නියෝජනයක් සමගින් 52 කුගෙන් සමන්විත වන්නකි. ඔවුන්ද ප‍්‍රාන්ත වෛi මණ්ඩල පත් කර ගන්නා අතර ජාතික වෛද්‍ය කවුන්සිලයෙහි 05 කු ජනතා ඡුන්දයෙන් පත් කෙරෙන වුන්ය. පෞද්ගලික හා මුදල් අය කෙරෙන වෛද්‍ය විද්‍යාල 17 ක් ඇති කැනඩාවෙහි ජාතික වෛද්‍ය ශිෂ්‍ය සම්මේලනය මගින් ඔවුන්ගේ ශිෂ්‍ය නියෝජිතයින් 02 කුද කැනේඩියානු ජාතික වෛද්‍ය කවුන්සිලයට පත් කරනු ලබයි. මෙම ජාතික වෛද්‍ය කවුන්සිලය ඔවුන්ගේ වාර්ෂික සභා රැස්වීමෙහිදී එදිනෙදා කාර්යන් හා සාමාන්‍ය කටයුතු වෙනුවෙන් නිරන්තරව රැස්වන විධායක සභාවක් පත්කර ගන්නේය.

මහ බ්‍රිතාන්‍යයේ වෛද්‍ය මණ්ඩලය සඳහා 12 කු තෝරා පත් කෙරෙන්නේය. ඉන් සය (06) දෙනෙකු ජනතා නියෝජනයක් වෙනුවෙනි. ඔවුන් හඳුන්වනු ලබන්නේ ‘‘ගිහි සාමාජිකත්වය’’ ලෙසින්ය. ගිහි සාමාජිකයින් වෛද්‍යවරුන් නොවීම එහි ඇති වැදගත් කමය. ඔවුන් තේරෙන්නේ වෙනත් වෘත්තීන් නියෝජනය සඳහාය. බ්‍රිතාන්‍යයේ වත්මන් වෛද්‍ය මණ්ඩලයේ ගිහි සාමාජිකයින් සය දෙනාගෙන් 05 කු සාමාජිකාවන් ය.

දියුණු බොහෝ රටවල වෛද්‍ය සභා පිහිටුවීමේ මූලික සිද්ධාන්තය වන්නේ රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වෛද්‍ය වෘත්තියට ඒකාධිකාරී බලයක් නොතැබීමය. ඊළගට සමාජ නියෝජනයේ විවිධත්වය උපරිම වශයෙන් තබා ගැනීමය. අපටද සයිටම් විරෝධය විසින් උගන්වන එකම පාඩම එයය. වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරිත්වය යටතේ මේ රටේ සෞඛ්‍ය දියුණු කළ නොහැකිය යන්නය. ඒ අනුව, මෙතැනින් ඔබ්බට ඉතිරිවන එකම පියවර වෛද්‍ය සභාව නවීකරණය කිරීමය. එය පළාත් අනුවද වඩා පුළුල් සමාජ නියෝජනයක් සහිත විද්වත් මණ්ඩලයක් ලෙස ස්ථාපිත කිරීමය. ඒ සඳහා වගකීමක් ඇතිව තීන්දු ගැනීමේ නායකත්වයක් පවතින වෛද්‍ය සභාවට ලබා දිය යුතු වේ නම්, ඒ මහාචාර්ය කොල්වින් ගුණරත්නගේ නායකත්වය යැයි මම විශ්වාස කරමි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්ව මාෆියාවේ කැමැත්ත ඒ කිසිවකට අවශ්‍ය නොවන්නේය. අද ඒ සඳහා අවශ්‍ය වන්නේ සෞඛ්‍ය ඇමතිවරයාගේ ඉදිරි දැක්ම හා අධිශ්ඨානය පමණි.

කුසල් පෙරේරා
ඉරිදා ලක්බිම

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top