Oct 14, 2017

ඇමෙරිකාවෙන් කොළඹ මැරතන් තරගයට පෑයූ තරු දෙක !

පසුගිය ඉරිදා පැවැති කළම්බො මැරතන් ජාත්‍යන්තර තරගයේදී අපූරු චරිත දෙකක් එළියට ආවේය.

ඒ අර්ධ මැරතන් ඉසව්ව දිනූ හිරුණි විජේරත්න හා එහි පිරිමි තරගය ජයගත් ඇගේ සැමියා ලුවිස් ඕර්ටා යි.

හිරුණි විජේරත්න අමෙරිකාවේ පදිංචිකාරියකි. ඇය එහි ගොස් ඇත්තේ වසර 2000දී වන අතර හිරුණි එහි යන විට ඇගේ වයස අවුරුදු නවයකි.

කෙසේවුවද, වසර 17කට පසුව යළි මව්බිමට පැමිණි විසි හය හැවිරිදි හිරුණි ඇගේ ආගමනය සංකේතවත් කළේ ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගයක ජයග්‍රහණයකින් වීම විශේෂිතය.

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාථමික පාසලෙන් අධ්‍යාපනය ලැබූ හිරුණි ඉක්බිති උසස් පෙළ හදාරා කෙන්ටකි සරසවියට ඇතුළු වී ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය  ක්ද ලැබූ තැනැත්තියකි.

අධ්‍යාපනයට අමතරව මලල ක්‍රීඩාවට ද ඇලුම් කරන හිරුණි කෙන්ටකි සරසවියේ මලල ක්‍රීඩා කණ්ඩායමට බැදී තිබේ.

අනාගතයේ ඇයගේ ආදරණීය සැමියා බවට පත්වන වෙනිසියුලාවේ ලුවිස් ඕර්ටා හිරුණි ට මුණගැසී ඇත්තේද මේ ධාවන පථයේ දී ය.

“අපි දෙන්නම ඒ මලල ක්‍රීඩා කණ්ඩායමේ හිටියා. ඒ, 2009දීයි. එයා මීටර 3000 ස්ටේප්ල් චේස් (බාධක දිවීම) හා මීටර 5000 ඉසව් කරද්දී මම මීටර 5000 හා මීටර 10,000 ඉසව් දිව්වා.”

එකිනෙකා සමඟ පෙමින් වෙළෙන මේ යුවළ විවාහ ගිවිස ගෙන ඇත්තේ 2015 වසරේදීය.

වෙනිසියුලාව නියෝජනය කරමින් දුර දුවන හිරුණිගේ සැමියා 2016 රියෝ ඔලිම්පික් උළෙලට ගොස් මැරතන් ඉසව්වේ 51 වැනියා ලෙස එම තරගය අවසන් කළ අයෙකි.

විසිහත් හැවිරිදි ඕර්ටා  කියන්නේ ඔලිම්පික් යන්නට පෙර ඉන්ද්‍රජිත් කුරේ හා තමා කෙන්යාවේ දී එකට පුහුණුවූ බවයි.

මැරතන් ඉසව්වලට හපන් මේ යුවළ දැන් ජීවත් වන්නේ අමෙරිකාවේ කොලරාඩෝ පෙදෙසෙයි. හිරුණි පෞද්ගලික ආයතනයක ගබඩා කළමනාකාරිනියක් ලෙස සේවය කරයි.

ඕර්ටා වෙනිසියුලාවේ වෘත්තීය මැරතන් ක්‍රීඩකයෙකි.

හිරුණි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2015 අමෙරිකාවේ ඉන්ඩියානිහිදී පැවැති ඉන්ඩියානා අර්ධ මැරතන් තරගය පැයයි මිනිත්තු 17ක කාලයක් සටහන් කරමින් ජය ගැනීමට ද සමත් විය.

ශ්‍රී ලංකා අර්ධ මැරතන් වාර්තාව බවට පත්වන එය අදටත් එසේම පවතී.

හිරුණි මේ වසරේ අගෝස්තුවේ නැවත ලන්ඩන් ගියාය. ඒ, ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ මැරතන් තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටය. කෙසේවුද තරගය අතරවාරයේ හටගන්නා පාදයේ වේදනාවක් හේතුවෙන් ඇයට තරගය නිම කිරීමට නොහැකි විය.

“අපි ලංකාවට ආවේ මේ තරගය වෙනුවෙන්මයි. මෙහෙට එන්න අපට දවස් තුනක් ගත වුණා. ඒ වගේම ලොකු මුදලකුත් වැය වුණා.”

“අපි දෙන්නගෙ ම ලොකු ම ඉලක්කය 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලයි“ හිරුණි කියයි. මගේ ඉදිරි සැලැස්ම ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලයි. මාව තෝරා ගත්තොත් මම ශ්‍රී ලංකාව නියෝජනය කරනවා” යැයි හිරුණි මාධ්‍යට පවසා තිබිණි.

මේ ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට තමන්ට කල් තියා දැනුම් දුන්නොත් පැමිණිය හැකි බව හිරුණි කියන්නීය.

ඇය සිය වචනවලින් එය කියා සිටින්නේ මෙසේය.

“ප්ලේන් ටිකට් එකක් දුන්නොත් එනවාමයි. මොකද ඒ ටිකට් හරිම මිල අධිකයි.”

එංගලන්තයේ පැවැති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය අරබයා ශ්‍රී ලංකාවේ පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගවලට හිරුණි සහභාගි වූයේ නැත. එහෙත්, ඇය පැය 2යි මිනිත්තු 43ක දක්ෂතාවක් පෙන්නුම් කර තිබූ නිසා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට හිරුණි ට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අනුමැතිය ලැබිණි. එහි පරිසාධක මට්ටම ලෙස ප්‍රකාශයට පත්කර තිබුනේ පැය 2යි මිනිත්තු 45කි.

“ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබන්න මම ලංකාවට නෑවිත් සිටියදීත් ඒකට සහභාගි වෙන්න ඔවුන් මට අවසර දුන්නා. ඒ අවසරයට මම ශ්‍රී ලංකාවට මගේ ස්තූතිය පළ කරන්නේ කළම්බො අර්ධ මැරතන් තරගය රට වෙනුවෙන් ජයග්‍රහණය කරලායි!”

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top