Oct 16, 2017

මාධ්‍ය බුක්ති විඳින චාරයක් නැති නිදහස

දෙසතියකට පමණ ඉහතින් යාපනයේ ගිය බැසිල් රාජපක්ෂ මහත් ආන්දෝලනයකට ලක් විය. එය ආරම්භ වූයේ යුධ අපරාධ සම්බන්ධයෙන් ඔහු කියූ කතාවකට අදාලව රජයේ මාධ්‍යයෙහි පළවු ප්‍රවෘත්තියක් මුල්කර ගෙනය. වහා එම ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ නව පක්ෂයෙන් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළේය. එහෙත් ඔහුගේ එම කතාවට අදාල විඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මහත් උනන්දුවකින් යුතුව බෙදා හදා ගනු ලැබිණ.

ඒ මාතෘකාවට කිසි සම්බන්ධයක් නැති විද්‍යුත් තරංග නැතිනම් සංඛ්‍යාත ආණ්ඩුව විසින් බදු දීම සම්බන්ධයෙන් ඔහු ඉන් දින කිහිපයකට පසුව ඉකුත් ඔක්තෝම්බර 08 වන දින වෙනත් රැස්වීමකදී සඳහනක් කර තිබිණ. “මේ රටේ විකාශන අයිතිය දෙන ෆ්‍රීක්වන්සීස් නැත්නම් සංඛ්‍යාත එක සමාගමකට දෙනවා.......අපේ සන්නිවේදනය අඩපණ නොවෙන්න හදන්න ගිය ඒ සංඛ්‍යාත ටික මහරාජා සමාගමට අත යටින් දුන්නා....” ඔහු ආණ්ඩුවට චෝදනා කළේය.

ඒ සම්බන්ධ ඇත්ත දැන ගැනීමේ අයිතිය ජනතාවට ඇත. නූතන ලෝකයේ ෆ්‍රීක්වන්සීස් නැත්නම් සංඛ්‍යාතවල අයිතිය ඇත්තේ ආණ්ඩුවකට හෝ රජයකට නොවේ. ඒවායේ අයිතිය ඇත්තේ සමාජයටය. ආණ්ඩුවට පැවරී ඇත්තේ ඒවායේ තාවකාලික කලමනාකාරිත්වය පමණි. ඒවා බදු දිය හැක්කේද කෙටි කාලීනව පමණි. එම සංඛ්‍යාත කුලියට හෝ බදු දෙන්නේ කවර කොන්දේසි යටතේ දැයි හා කවර මුදලකටදැයි දැන ගැනීමේ අයිතිය ජනතාව සතු අයිතියකි. එම නිසා බැසිල්ගේ චෝදනාවට උත්තර බැඳීමට මූලික හා ප්‍රධාන වගකීම ඇත්තේ ආණ්ඩුවටය. සංඛ්‍යාත කලමනාකරණය කිරීමේ වගකීම ඇති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවන ජනාධිපති ලේකම් ඒ වෙනුවෙන් උත්තර බැඳිය යුතුව ඇත.
 
ආණ්ඩුව ඒ පිළිබඳව නිහඬව සිටියදී එය හරහට පැන්නේ බැසිල් නම් කළ සමාගමේ රූපවාහිනි නාලිකාවය. ඔවුන්ටද අවශ්‍යයැයි සිතුනේ නම් ඔවුන්ගේ පැත්තෙන් සංඛ්‍යාත බදු ගැනීම පිළිබඳව නැගුණු එම චෝදනාවට අදාලව උත්තර දීමේ අයිතිය ඇත. එහෙත් ඔවුන්ගේ මැදිහත්වීමෙහි ඒ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් නොවුනි. චෝදනාවට හේතු වූ සංඛ්‍යාත ගත්තේද නොගත්තේද යන්න හෝ නොකියවුනි. ඒ වෙනුවට ඔවුන්ගෙන් සිදු කෙරුණේ “මිස්ට ටෙන් පසන්ට් ලෙස කුප්‍රකට, ජනවාරි 08 ඡන්දයෙන් පසු කදමළු බැඳගෙන රටෙන් පැන ගිය ඇමෙරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ....” ලෙස නම් කරමින් ඔහුව ඉලක්ක කළ අතිශය බාල, කඩමණ්ඩි කතාය. ඔවුන්ගේ ඒ සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට ලක් කළ විට එහි තිබූයේ බැසිල් රාජපක්ෂට එරෙහිව සාක්ෂි කිසිත් නොමැතිව දමා ගැසූ අවලම් කතා ගොන්නකි. හිරිකිතයකින් තොරව චරිත ඝාතනය කරන බවට වූ තර්ජනාත්මක ඇඟවීමකි. සංඛ්‍යාත ලබා ගැනීම සම්බන්ධ චෝදනාවෙන් නිදහස්වීමට හැකි කිසිදු හේතු දැක්වීමක් නොකිරීමෙන්ම, ඔවුහු ඔවුන්ට එල්ල වූ චෝදනාවට වැඩි වටිනාකමක් ලබා දුන්හ.

බැසිල් රාජපක්ෂ හෝ රාජපක්ෂ පාලනයේ සිටි බලසම්පන්නයික් කිසිවකු ගැන හෝ චරිත සහතික ලිවීමට සිහිබුද්ධියෙන් ඉන්නා කිසිවකු ඉදිරිපත් නොවනු ඇත. මේ ආණ්ඩුවේ ප්‍රධානීන්ට මෙන් ඒ ආණ්ඩුවේ ප්‍රධානීන්ටද කප්පරක් උසට දූෂණ හා වංචා චෝදනා ඇත. මේ ආණ්ඩු පාලනයේදී ඒවා නිසියාකාරව හා ස්වාධීනව පරීක්ෂා කෙරෙනු ඇතැයිද, ඒ අනුව නීතිමය පියවර ගත යුතු නම් නඩු පවරනු ඇතැයිද මේ සමාජයේ ඉතිරිව ඇති විශ්වාසයක් දැන් නැත. ඒවා වෙනම කතා කළ යුතු වැදගත් මාතෘකාවන්ය.

මාධ්‍ය පිළිබඳ ගැටළුව ඇත්තේ එහි නොවේ. මාධ්‍ය පිළිබඳ ගැටළුවෙහි බරපතලකම ඇත්තේ මෙලෙසින් මාධ්‍ය භාවිත කිරීමේ ආචාර්ය ධර්මීය හා සදාචාරාත්මක අයිතිය කුමක්ද යන්නෙහිය. චරිත ඝාතන කිරීමේ අශීලාචාරකම් මාධ්‍ය කලාව අහලින්වත් නොයන්නකි. මාධ්‍ය නිදහස හා මාධ්‍ය සදාචාරය ගැන දේශන තබණ විශාරදයින්ද, මාධ්‍ය හිමිකම් පිළිබඳව හඩ නගන, උද්ඝෝෂණය කරන සංවිධානද මේ අශීලාචාර මාධ්‍ය භාවිතය ගැන තවමත් නිහඬය. හැම අයිතියක් ගැනම “වොයිස් කට්” දෙන කිහිප දෙනාද මේ සම්බන්ධයෙන් සොයා ගන්නට නැත. ඒ සම්බන්ධව විරෝධය පෑමට ඉදිරිපත් වූයේ මා දන්නා තරමින් කොළඹ විශ්ව විද්යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පමණි. අදාල නාලිකාව වර්ජනය කළ යුතු යැයි ඔහු සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබා තිබුණි. ඉන් පසු එම නාලිකාවේ පොර පිටියකට සහභාගිවන්නට ඔහුට ආරාධනා කෙරින. එහිදී මේ මාධ්‍ය භාවිතය පිළිබඳවත් කතා කරන්නේදැයි ආචාර්ය කුමුදු කුසුම් කුමාර සමාජ මාධ්‍ය ජාලයෙහි තැබූ සටහනකින් නිර්මාල් රංජිත්ගෙන් ප්‍රශ්නකර තිබුණි. එසේ යැයි ඔහු පිළිතුරු සටහන් කළ පසුව එම නාලිකාව විසින් තමන්ට කළ ආරාධනාව ඉවත් කරගත් බව නිර්මාල් රංජිත් සමාජ මාධ්‍ය ජාලියෙහි සටහන්කර තිබුණි.
 
එම ආරාධනාව ඉවත්කර ගැනීමට තීන්දු කෙරුවේ නාලිකා හිමිකරුද නැතිනම් වඩසටහන් සම්පාදක මාධ්‍යවේදියාදැයි නොදනිමි. එය කෙසේවූවත් මෙවැනි අශීලාචාර මාධ්‍ය භාවිතයක ලජ්ජා නැතිව යෙදෙන්නට මාධ්‍යවේදීන් ඉදිරිපත් වන්නේ මන්දැයි හෝ කෙසේදැයි හෝ කතා කළ යුතුව ඇත. මීට පෙර යම් සමාජ විරෝධයක් මතු වූයේ පසුගිය වසරේ නිදහස් දින සැමරුමෙහි ඔපෙරා ශෛලියෙන් දන්නෝ බුදුන්ගේ ගීතය ගැයූ කීර්තිමත් ශ්‍රී ලාංකීය ගායිකාව අපහාසයට ලක් කළ වෙනත් නාලිකාවක “දේශප්‍රේමී” වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකුගේ අමන කතාවකටය. එවැනි අසීමිත කැතකම් මාධ්‍ය භාවිතයේ අඩු වැඩි මට්ටමින් නිතර සිදුවන්නක් බවට පසුගිය දසකයක දෙකක කාලයෙහි විශේෂයෙන් විද්යුත් මාධ්‍යයන්හි වර්ධනයවී ඇත.

මේ මාධ්‍යකරණය තුළ ‘fact’ හෙවත් ‘කරුණු‘ වලට ප්‍රමුඛත්වයක් ලැබෙන්නේ නැතැයි පවසන මාධ්‍ය හා සන්නිවේදන විශාරදයෙකු වන ක්‍රිෂාන් සිරිවර්ධන, මාධ්‍යවේදීන්ගේ ලජ්ජා නැති මේ භාවිතයට එක් ප්‍රධාන හේතුවක් යැයි කියන්නේ “හිමිකරුවාගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව හිමිකරුවා බලාපොරොත්තු වනවාටත් වඩා (මාධ්‍යවේදියා) පක්ෂපාති වීම”ය. මාධ්‍යවේදියකු ලෙස තමන්ගේ වටිනාකමට වඩා බෙහෙවින් වැඩි මාසික වේතනයක් හා වරප්‍රසාද ලබා ගැනීමේ එක් පිළිවෙතක් වනුයේ මෙවැනි නොහික්මුනු මාධ්‍ය හැසිරීම්ය. එය පෞද්ගලික විද්යුත් මාධ්‍යන්ට විශේෂය. එයට එක් හේතුවක් වන්නේ මුද්‍රිත මාධ්‍යයට වඩා ආකර්ශනීය මාධ්‍ය චරිත විද්යුත් රුප මාධ්‍යයෙහි හදා ගැනීමට ඇති වර්ණවත් ඉඩ ප්‍රස්ථාවන්ය. මාධ්‍යයෙහි එවැනි පිරිහීම් සඳහා ඉඩ ඇත්තේ මේ කිසිදු මාධ්‍යයක ස්වාධීන මාධ්‍යවේදීන් සඳහා වෘත්තිමය අවකාශයක් නොතිබීමය.

අපේ රටේ වැදගත් සක්‍රීය වෘත්තීය සිමිති ව්‍යාපාරයක් නැත. සාමාජික හා කම්කරු අයිතීන් වෙනුවෙන් වැදගත් ලෙස මැදිහත්වන වෘත්තීය සමිති ඉතිරිව ඇත්තේ කිහිපයකි. නාමිකව හෝ කිසිදු වෘත්තීය සමිතියක් නැති එක ක්ෂේත්‍රයක් වනුයේ පෞද්ගලික මාධ්‍ය ක්ෂේත්‍රය ය. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතියක් වන 14(1)(ඈ) ව්‍යවස්ථාවට අනුව “සෑම පුරවැසියෙකුටම වෘත්තීය සමිතියක් හැදීමට සහ වෘත්තීය සමිතියක සාමාජිකත්වය ගැනීමට නිදහස ඇත” යන්න පවා උල්ලංඝණය කෙරෙන පෞද්ගලික මාධ්‍යයන්හි වෘත්තීය සමිති හැදීමට ඉඩ නැත. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 87 හා 98 සම්මුතීන් සඳහා අත්සන් තබා ඒවා බලාත්මක කර ඇති ශ්‍රී ලංකාණ්ඩුව මේ රටේ මාධ්‍යවේදීන් ඇතුලු සියලු සේවකයින්ට වෘත්තීය සමිති හැදීමටත් තමන්ගේ තේරීම අනුව වෘත්තීය සමිතියක සාමාජිකත්වය ගැනීමට හා සාමුහිකව කේවල් කිරීමටත් ඇති අයිතිය පෞද්ගලික මාධ්‍ය ක්ෂේත්‍රයෙහි තහවුරු කිරීමට පියවර ගන්නේද නැත. එබැවින් අනුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන මේ පෞද්ගලික මාධ්‍ය ආයතනයන්හි  මාධ්‍යවේදීන් තමන්ගේ අයිතිවාසිකම් සහතික කර ගැනීමට ඉදිරිපත් වන්නේ නැත. කලු සල්ලි වෙල්ලාවට දමන විශේෂයෙන් පෞද්ගලික විද්යුත් මාධ්‍ය ක්ෂේත්‍රයෙහි අති බහුතරයක් මාධ්‍යවේදීන්ගේ රැකියා සඳහා විධිමත් පත්වීමේ ලිපි හෝ නැත්තේ එම හේතුව නිසා ය. එනිසාවෙන්ම ඔවුන් සඳහා සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ සාමාජිකත්වයක්ද නැත.  
 
“සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට” යැයි ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවුන්ගෙන් කී දෙනෙකුට ස්ථිර පත්වීම් ඇතිදැයි හා ඔවුන්ට සේවක අර්ථසාධක අරමුදලේ දායක සාමාජිකත්වයක් ඇතිදැයි ඔවුන්ම ගණන් බලාගත යුතුය. වෘත්තීය සමිති අයිතියක් නොමැති, පත්වීම් ලිපි නොමැති, එනිසාම තමන්ගේ පත්වීමේ කොන්දේසි නොදන්නා සහ සේවක අයිතීන් හා රාජකාරී සීමාවන් කවරේදැයි අසන්නටවත් අයිතියක් නොමැති මාධ්‍යවේදීන්ට වෘත්තිකයින් ලෙස ස්වාධීන විය නොහැක. අපේ රටේ ස්වාධීන මාධ්‍යවේදී වෘත්තීයක් නොමැත්තේ එබැවින්ය. වෘත්තීයක් වශයෙන් සංවිධානය වන්නට නොහැකි සහ රටේ නීතියට අනුව සේවය කිරීමේ අයිතියද නොමැති මාධ්‍යවේදීහු ඔවුන් පළමුව වගකිව යුත්තේ සමාජයට බැව් නොදනිති. ජනතාවට අයිති සංඛ්‍යාත භාවිතා වන විද්යුත් මාධ්‍යන්හි වැඩ සටහනක දෙකක ඉන්නා මාධ්‍යවේදීන් සමාජයට පළමුව වගකිව යුතු බව නොදන්නවාට අමතරව රූප මාධ්‍ය ඇත්තේ “තරු” වන්නට යැයි සිතීම වඩාත් අනතුරුදායක වන්නකි.

මාධ්‍ය සතු සමාජ වගකීම ගැන අවධාරණය කිරීම අද අතිශය වැදගත් කාරණාවක් බවට පත්ව තිබෙන්නකි. මාධ්‍ය අද භාවිත වන්නේ දේශපාලන බලය හා කේවල් කිරීමේ මෙවලමක් ලෙස ය. මාධ්‍ය හිමිකරුවා පමණක් නොව, එහි ප්‍රධාන සේවකයින් කිහිප දෙනද මාධ්‍ය එසේ යොදා ගන්නට උත්සාහ කරති. එබැවින් මාධ්‍ය භාවිතයෙහි ඇත්තේ සහතික කරගනු ලැබූ ප්‍රවෘත්ති, නිවැරදි තොරතුරු, අලුත් දැනුම, අධ්‍යාපනික හා සෞන්දර්යාත්මක වටිනාකම් ඇති විනෝදය සඳහාවන වැඩසටහන් නොවේ. සමාජයේ යහ පැවත්ම නොතකා වෙනත් න්‍යාය පත්‍ර සඳහා සමාජ මතවාද හා සමාජ වටිනාකම් නිර්මාණය කරන්නාවූ මාධ්‍ය භාවිතයට එරෙහිව සමාජය විසින් කොන්දේසි පැනවීමේ අවශ්‍යතාව අද වහා පෙරට ගත යුතුව ඇත. ඒ සඳහා සංඛ්‍යාත භාවිතය මත සිදු කෙරෙන විකාශන සේවා සඳහා ස්වාධීන විකාශන නියාමන අධිකාරයක් තිබිය යුතු යැයි මාධ්‍ය හා ජන සන්නිවේදනය පිළිබඳ ජාත්‍යන්තරව පිළිගනු ලබන විශේෂඥයෙකු වන, යුනෙස්කෝවේ මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ, පසුගිය සැප්තැම්බර 27 වන දින ආසියානු කලාපයේ ගෞරවනීය සන්නිවේදන ආයතනයක් වන මැනිලාවේ “ආසියානු මාධ්‍ය තොරතුරු හා සන්නිවේදන කේන්ද්‍රය” (AMIC) විසින් සන්නිවේදනය සඳහා ආසියාවේ ඉහළම සම්මානයෙන් පුදනු ලැබූ ශ්‍රී ලාංකීය විද්වතුන් දෙදෙනාගෙන් කෙනෙකු වන විජයානන්ද ජයවීර විශ්වාස කරන්නකි. ඔහු විසින් ස්වාධීන විකාශන නියාමන අධිකාරයක් වෙනුවෙන් ඉතා සවිස්තරාත්මක හා දියුණු පනත් කෙටුම් පතක් පසුගිය කාලයේ සංවාදයට තබනු ලැබිණ. එහි ඔහු සඳහන් කරනුයේ, “විද්යුත් තරංග යනු සමාජ සම්පතකි. එය පොදු මහජන යහපත ප්‍රවර්ධනය කිරීම සඳහාත් විශ්වසනීය තොරතුරු සහ අදහස් ලබා ගැනීමටත් ප්‍රකාශ කිරීමටත් ජනතාවට ඇති අයිතියක් ලෙස භාවිත කළ යුතුය” යනුවෙනි.          

එම සමාජ කතිකාව ඉක්මන් කිරීමේ අවශ්‍යතාව දැන් අත හැරිය නොහැක්කකි. ආරම්භයක් ලෙස විද්‍යුත් මාධ්‍ය නිවැරදි ලෙස ස්වාධීන අධිකාරයක් මගින් නියාමනයට වහා යටත් කළ යුතුව ඇත. ඒ වෙනුවෙන් මාධ්‍යවේදය ස්වාධීන වෘත්තියක් ලෙස දියුණු කරගැනීමේ කතිකාවද තිබිය යුතුය. විජයානන්ද ජයවීරගේ නියාමනය සඳහාවන කෙටුම්පතට ස්වාධීන මාධ්‍ය වෘත්තිකයින් හැදීමේ කොන්දේසියක්ද ඇතුලු විය යුතුය. එබැවින් විකාශන සේවාවෙහි වෘත්තීය සමිති පිහිටුවීමද අනිවාර්ය කොන්දේසියක් ලෙස එහි තැබිය යුතු යැයි මම යෝජනා කරමි.

කුසල් පෙරේරා

 


          

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top