ෂා ජහාන් (Shah Jahan ) මෝගල් අධිරාජයා 1643 දී 'තජ් මහල්' මන්දිරය ඉදි කරන ලද්දේ සිය ප්‍රියාම්භිකාව වෙනුවෙනි. ෂා ජහාන් (Shah Jahan ) මෝගල් අධිරාජයා 1643 දී 'තජ් මහල්' මන්දිරය ඉදි කරන ලද්දේ සිය ප්‍රියාම්භිකාව වෙනුවෙනි.
Oct 17, 2017

'ප්‍රේමයේ ස්මාරකය' ඉන්දියානු සංස්කෘතියේ කළු පැල්ලමක් ද?

'තජ් මහල්' (Taj Mahal) මන්දිරය 'ද්‍රෝහීන්' විසින් ඉදි කොට ඉන්දීය සංස්කෘතියට එක් කළ කළු පැල්ලමක් ' යයි ඉන්දියානු දේශපාලනඥයෙක් පවසයි.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරයකු වන සංගීත් සොම් (Sangeet Som) මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ 'මීරුත්' නගරයේ දී සිය ආධාරකරුවන් අමතමිනි.

මන්ත්‍රීවරයා විසින් එවැනි ප්‍රකාශයක් කරන ලද්දේ 'උත්තර් ප්‍රදේශ්' සංචාරක මාර්ගෝපදේශක අත්පොතෙන් 'තජ්මහල්' මන්දිරය ඉවත් කරනු ලැබීමෙන් සති කීපයකට පසුවයි.

'තජ් මහල්' මන්දිරය සංචාරක අත්පොතෙන් ඉවත් කරනු ලැබීම සංස්කෘතික උරුමය සහ කලාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ජනතාව අතර දැඩි කම්පනයක් ඇති කළ අතර අන්තර්ජාලය තුළ එම පියවර දැඩි දෝෂ දර්ශනයට ලක් වන්නට විය.

"උත්තර් ප්‍රදේශ් සංචාරක අත්පොතෙන් 'තජ් මහල්' මන්දිරය ඉවත් කරනු ලැබීම බොහෝ දෙනකුගේ වේදනාවට හේතු වුනා." සංගීත් සොම් මන්ත්‍රීවරයා පසුගිය ඉරිදා (ඔක්තෝබර් 15) ප්‍රකාශ කළේය.

"තජ් මහල් මන්දිරය ඉදි කැරවූ පුද්ගලයා විසින් ඔහුගේම පියා සිරගත කරනු ලැබීම ඉතිහාසයද ? තජ් මහල තැනවූ පුද්ගලයා හින්දුස්ථානයේ සහ උත්තර් ප්‍රදේශ් හින්දු ජනයා ගොදුරු කර ගැනීම ඉතිහාසය කියල කියන්න පුළුවන්ද ? ඒක ඉතිහාසය නම් ඒක හරිම අවාසනාවන්ත දෙයක්. අපි ඒ ඉතිහාසය වෙනස් කරනවා. මම ඒ ගැන ඔබට සහතික වෙනවා" සංගීත් සොම් (Sangeet Som) මන්ත්‍රීවරයා කියා සිටියි.

ෂා ජහාන් (Shah Jahan ) මෝගල් අධිරාජයා 1643 දී 'තජ් මහල්' මන්දිරය ඉදි කරන ලද්දේ සිය ප්‍රියාම්භිකාව වූ 'මුම්තාස් දේවිය' වෙනුවෙනි.

යමුනා නදිය අසබඩ ඉදි කෙරුණ මෙම ඓතිහාසික ප්‍රේම ස්මාරකය විශ්මය ජනක නිර්මාණයක් ලෙස සැලකෙන අතර ලොවපුරා සංචාරකයෝ එය දැකගනු රිසින් ඉන්දියාව කරා ලඟා වෙති.

ඉහිහාසඥයන් පෙන්වා දෙන පරිදි ෂා ජහාන් (Shah Jahan ) සිය පියා සිර කර නැත.

සිදුව ඇත්තේ ෂා ජහාන් අධිරාජයාගේ පුත් අවුරන්ශෙබ් (Aurangzeb) විසින් සිය පියා වූ ෂා ජහාන් මරණය තෙක් සිරකර තැබීමයි.

සංගීත් සොම් මන්ත්‍රීවරයා මතභේදාත්මක ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් දරයි.

2013 වසරේ හැට දෙදෙනකු මරා දමමින් පැතිර ගිය 'මුසාඵර්නගර්' හින්දු - මුස්ලිම් ගැටුම් සමයේ කුපිතකාරී ප්‍රකාශන සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය.

භාරතීය ජනතා පක්ෂයේ ප්‍රකාශක නලින් කෝලි (Nalin Kohli) සංගීත් සොම් මන්ත්‍රීවරයා කරන ප්‍රකාශන 'පක්ෂයේ මතය නොවන' බව කියා සිටියත් එම් ප්‍රකාශන හෙළා නොදකියි.

"ඒවා ඔහුගේ පෞද්ගලික අදහස්" නලින් කෝලි (Nalin Kohli) NDTV මාධ්‍ය ජාලයට කියා තිබුණි.

'තජ් මහල්' අසිරිමත් ඉන්දීය ඉතිහාසයේ වැදගත්ම පිටුවකි.

"ඉතිහාසයේ සිදු වූ දේවල් මකා දමන්න බැහැ" තජ් මහල් ඓතිහාසික උරුමය වෙනුවෙන් අදහස් දැක්වූ තැනැත්තෙක් අන්තර්ජාලයේ ලියා තිබිණි.

(බීබීසී)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top