Oct 25, 2017

නිහඬ අරණක යෙදෙන ගමනක සුවය Featured

අපි විහාරයට ගොඩ වුණෙමු. මනරම් නිස්කලංක පරිසරයෙන් හෙබි විහාරයේ පියගැටපෙළ නගිනවාත් සමග පිරිත් සජ්ඣායනා හඬ විහාරයේ දසත පැතිරුණි. ඒ හඬ ඇසෙන දිශාවට අපි ගමන් කළෙමු.

ලොකු හාමුදුරුවන් අසල තවත් එවැනිම දේහ ලක්ෂණවලින් හෙබි භික්ෂූන් වහන්සේනමකුත්, තවත් සාමණේරයන් වහන්සේලා කිහිපදෙනෙකුත් පිරිත් සජ්ඣායනා කරමින් සිටින අයුරු අපට දැකගත හැකි විය. ඒ අතර සිටියේ සෝමසිරි අලකොලාංග නමැති රංගන ශිල්පියා බව අපට එක්වරම හඳුනාගත හැකි විණ. බුද්ධ වන්දනාවෙන් පසු උන්වහන්සේ සිය නායක හිමියන්ට වැඳ නමස්කාර කර පන්සල දෙසට ගමන් කරමින් සිටියදී අපට උන්වහන්සේ බැහැදැකීමට අවස්ථාව උදා විය.

IMG 25102017 103623 0සෝමසිරි අලකොලාංග යනු අප රටේ සිටින ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකි. ඔහු දක්ෂ රංගන ශිල්පියෙක් පමණක් නොවේ, කොළඹ විශ්විද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්වරයෙක් ලෙසද කාලයක් කටයුතු කළේය. සෝමසිරි අලකොලාංග විශ්වවිද්‍යාල සිසුවෙකු වශයෙන් සිටි කාලයේදී රංගනයට පිවිස තිබේ. කෙටියෙන්ම කිවහොත් මෙම කලාකරුවා තමන් කළ රැකියාවට අමතරව විනෝදාංශයක් ලෙසයි රංගන කටයුතුවල නිරතව සිට ඇත්තේ. සැබැවින්ම මොහු චරිතවලට පණ දී තිබෙන්නේ තෝරා බේරාගැනීමක් සහිතවයි. ඔහු ලැබෙන සෑම චරිතයකටම දායක වූයේ නැත.

මේ වන විට සෝමසිරි කලාකරුවාගේ කලා දිවියට වසර පනහක් පමණ වේ. ඔහු දියණියන් තිදෙනෙකුගේ පියෙකි. ඒ දියණිවරු ඉහළ පෙළේ රැකියාවන්වල නියැළේ. සෝමසිරි අලකොලාංග කලාකරුවා කලා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකි. මේ කාලය තුළ ඔහු චිත්‍රපට 40- 50 ක පමණ ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබේ. ටෙලි නාට්‍ය 200කට පමණ රංගනයෙන් දායක වී තිබේ.පසුගිය දිනක අපට ආරංචි වූයේ මෙම රංගන ශිල්පියා රඟ මඬලට සමුදෙමින් පැවිදි දිවියට ඇතුළත් වූ බවට පුවතකි. ගාල්ල, උළුවිටිකේ ජයසුමනාරාම විහාරස්ථානයේ වැඩ සිටින බවටද ආරංචි විය. මෙම කතාවේ සත්‍ය අසත්‍යතාව සොයා අපි විහාරස්ථානයට ගියෙමු.

ආරංචි වූ පුවත සැබෑ විය. සෝමසිරි අලකොලාංග නම් වූ එම රංගන ශිල්පියා හාරිස්පත්තුවේ සෝමානන්ද නමින් පැවිදි දිවියට ඇතුළත්ව සිටියේය.  උන්වහන්සේගේ පැවිදි ගුරුවරයා වූයේ දකුණු පළාතේ අධිකරණ සංඝනායක උළුවිටිකේ ජයසුමනාරාමාධිපති ශාස්ත්‍රපති ආචාර්ය මාබොටුවන පියරතන නාහිමියන්ය.  කෙසේවෙතත් සෝමානන්ද හිමියන් මාධ්‍යයට කතා කිරීමට අකමැති විය. මාධ්‍යවේදීන් රැසක් අවස්ථා කිහිපයකදීම උන්වහන්සේ සමග කතාබස් කිරීමට උත්සාහ ගෙන තිබුණත් ඊට අවස්ථා උදා වී තිබුණේ නැත. එසේ වුවද අපි අපගේ උත්සාහය අත්නොහැරියෙමු. උන්වහන්සේ සමග බණ දහම් පිළිබඳව දිගින් දිගටම කතාබස් කළෙමු. එමෙන්ම බෞද්ධ දර්ශනය පිළිබඳවත්, වර්තමාන සමාජ, අධ්‍යාපන කටයුතු පිළිබඳවත් උන්වහන්සේ අපව දැනුවත් කළහ. එහිදී අපට පැහැදිලි වූ කාරණයක් වූයේ උන්වහන්සේ තුළ තිබූ ධර්ම දැනුම හා අවාබෝධයයි. අධ්‍යාපනය පිළිබඳවත්, ලෝකය ජය ගැනීමට හැකි අධ්‍යාපනයක් වෙතට අපේ දරුවන් රැගෙන යාමට ඉංග්‍රීසි අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳවත් සෝමානන්ද හිමියන් අපව දැනුවත් කළහ.

ජීවිතේ යතාර්ථය පසක් කරමින් හඬ අවධි කළ උන්වහන්සේ,IMG 25102017 103638 0

"ඇත්තටම ලෝක ධර්මතාව අවබෝධ වූ නිසා පැවිදි වීමට තීරණය කළා. මම ගොඩක් කාලයක සිට ආධ්‍යාත්මික පැත්තට නැඹුරුවෙලා හිටියා. ගොඩක් කාලයක ඉඳලා මහණ වීමට බලාපොරොත්තුවෙන් තමයි හිටියේ. ඇත්තටම මහණ වුණේ දාන පාංශකූලවලට වඩින්න නෙවෙයි. භාවනාව කරගෙන සිත දියුණු කරගන්න තමයි පැවිදි වුණේ. ජීවත් වෙන්න අමාරු හින්දවත් කලකිරීම නිසාවත් නෙවෙයි මහණ වෙන්න තීරණය කළේ. පවුලේ සියලුදෙනාගේ වගකීම් ඉෂ්ට කරලා ඒ අයගේ අවසරය ඇතිව තමයි මහණ වුණේ. මම රංගනයට දායක වන අවදියෙත්  කාලයක සිට භාවනාව ප්‍රගුණ කළා. ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතය භාවනා කිරීමට පහසුයි කියලා අවබෝධ වුණා. මහණ වීමට සසර පුරුද්දක් තිබුණාද කියල දන්නෙත් නැහැ. මුලදි වනසේනාසනයක තමයි භාවනාවකට ගියේ. ඇමරිකාවේ වැඩ වසන නායක හාමුදුරු කෙනෙක් දැනට වසර 30 ක පමණ ඉඳලා මම හඳුනනවා.උන්වහන්සේ තමයි  මෙම විහාරස්ථානයට මාව යොමු කළේ. මෙම විහාරස්ථානය බණ භාවනා කිරීමට ඉතාම සුදුසු තැනක්. හොඳ පරිසරයක් තියෙන තැනක්. ඒ නිසා මෙහි පැවිදි වුණා".

"පවුලේ අය හැරෙන්න කවුරුවත් මම  මහණ වෙන බව දැනගෙන හිටියේ නැහැ. මම දැනට වසර විස්සක තිහක පමණ සිට මස්, මාළු කන්නෙ නැහැ. මත්පැන් බොන්නේ නැහැ. මම උදේ පාන්දර තුනට අවදි වෙනවා. ඊට පස්සේ භාවනාවේ යෙදෙනවා. උදේ 5.30 ට බුද්ධ වන්දනාවේ යෙදෙනවා. මගේ දැනුමෙන් පන්සලේ වැඩ ඉන්න භික්ෂූන් වහන්සේලාට ඉංග්‍රීසි උගන්වනවා.
ගමේ දරුවන්ට ඉංග්‍රීසි පන්තියක් කරනවා සේවයක් විදියට. හවසට බුද්ධ වන්දනාවේ යෙදෙනවා. බණ භාවනා කටයුතු තමයි වැඩිපුර කරන්නේ. කාලයක් තිස්සේ හිතේ තිබූ බලාපොරොත්තුවක් තමයි අද ඉෂ්ට වෙලා තියෙන්නේ. භාවනා පන්තිවලට ගිහින් තියෙනවා".

IMG 25102017 103719 0"එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන යන කලාකරුවන් තමයි කලා ක්ෂේත්‍රයේදී මගේ ගුරුවරු වුණේ. තරුණ කාලයේම ප්‍රවීණයන් සමග වැඩ කරන්න මට වාසනවා ලැබුණා. ඇත්තටම මම කලා කටයුතුවලදී ඉක්මන් ගමනක් ගිය කලාකරුවෙක් නෙවෙයි. රැකියාවට බාධාවක් නොවන විදියට තමයි රඟපෑම කළේ. ප්‍රසිද්ධ වේදිකා රංගනයට දායක වුණේ 1965 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වළේ . එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයාගේ "එලොව ගිහින් මෙලොව ආවා" කියන නාට්‍ය තමයි රඟපෑවේ. 65 සිට 2015 විතර වෙනකම් රඟපාලා තියෙනවා. විනෝදාංශයක් විදියට රඟපෑවාට නිකන් රඟපෑවේ නැහැ. එය ක්ෂේත්‍රයට කරන අවනම්බුවක්* යැයි සෝමානන්ද හිමියෝ අප සමග පැවසූහ.

ඇතැම් කලාකරුවන් ජීවිතයේ අවසාන කාලය ගත කරන්නේ අභාග්‍ය සම්පන්නවයි. ඊට හේතු කාරණා උදාහරණ ගෙන පැහැදිලි කළ සෝමානන්ද හාමුදුරුවෝ ජීවිතයේ සමබර බව හා අරමුණු ඇතිව ගමන් කළයුතු බව පැවසූහ. එසේ වුවහොත් ජීවිතය වැරදීම්වලින් තොරව ගෙවිය හැකි බවද උන්වහන්සේ අපට දේශනා කළහ.

(අද)


  

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top