Oct 28, 2017

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීමට නම්

ඉන්දියාවත් සමඟ පැවති තරග සියල්ල පැරදීමත් සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මිය පරලොව ගොස් ඇතැයි කතිතාවතක් රටපුරා පැතිරයයි.

මේ අතර බොර දියේ මාළු බෑමට පටන් ගත් සමහරු ක්‍රිකට් පරිපාලනයට ඇතුළත්වීමේ අටියෙන් මෙම පරාජයට හේතුව ක්‍රිකට් පරිපාලනයේ දුර්වලකම මෙන්ම ඇතැම් තරග ක්‍රීඩකයන් විසින් පාවාදීම හේතුවෙන් පරාජය වූ බව කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වන්නට වූහ.

ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපතිවරයා බුකි කරුවකු යැයි කියමින් ඔහුට අවශ්‍ය තරග පරාජය වූ බවත් මේ අතර කියවිනි.

මෙම චෝදනා නගන්නන් අතර ප්‍රමුඛයෙකු වූයේ අර්ජුන රණතුංග අමාත්‍යවරයාය. මේ සියල්ල බලා සිටිමින් නිහඬව සිටින බවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරටද දොස් නැඟීය.

මේ චෝදනා සඳහා අර්ජුනගේ සමීපතමයෙකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ද එකතු වූ අතර මෙකී චෝදනා සාධාරණීකරණය කිරීම සඳහා ඉංග්‍රීසි පුවත්පත් දෙකක් මෙන්ම එක් රූපවාහිණි නාලිකාවක්ද ඇතැම් වෙබ් අඩවි සහ ෆේස් බුක් හරහා ද පුළුල් ප්‍රචාරයක් දියත් කෙරිණි.

පෞද්ගලික තේරීම් කමිටු සභාපතිවරයා වූ සනත් ජයසූරියටද ඉල්ලා අස්වන තුරුම ප්‍රහාර එල්ලවිය.

තණතීරු සකස් කිරීම් , පිතිකරණ අනුපිළිවෙළ වෙනස් කිරීම් හා ක්‍රීඩකයන් තෝරා ගැනීම් සම්බන්ධව පරාජයන් ඔස්සේ ගොඩනැඟුණු මත හේතුවෙන් අයි.සී.සී වංචා විමර්ශන ඒකකයද ලංකාවට පැමිණ පරීක්ෂණයක් ආරම්භ කරන ලදි.

වැටුණු ක්‍රිකට් ගොඩනැගෙන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට ක්‍රීඩා ඇමතිවරයා විසින් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සැමට ආරාධනා කර වෝටර්ස් එජ් හිදී වැඩමුළුවක් පැවැත්වීය.

එහෙත් ප්‍රධානතම විවේචකයා වූ අර්ජුන එයට නොපැමිණියේය. එහෙත් එදින පැමිණ සිටි අයගෙන් ලබා ගත් යෝජනා අනුව ක්‍රීඩා ඇමතිවරයා වසර දෙකක් සඳහා හේමක අමරසූරියගේ සහභාගිත්වයෙන් යුත් අරවින්ද, අනුර තෙන්නකෝන්, මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාරගෙන් සමන්විත වන ප්‍රබල උපදේෂක කමිටුවක් පත් කරන්නට කටයුතු කළේය.

ඉන්දීය පිළට එරෙහිව දිගින් දිගටම ලැබූ පරාජයන් නිසා ක්‍රිකට් ලෝලීන් තරඟ නැරඹීමට පැමිණිමද අඩාළ වූ අතර පල්ලෙකැලේ පැවති තරඟයකදී එක්තරා සංවිධානාත්මක පිරිසක් ක්‍රීඩාංගණයට බෝතල් ප්‍රහාර එල්ල කරන්නට යෙදිණි.

මේ අතර පාසල් ක්‍රිකට් ක්‍රීඩාවද නැංවීමට අවශ්‍ය බව කියමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද පාසල් ක්‍රිකට් සංගමය හා ස්වාධීන කමිටුවක් පත් කිරීමට පියවරක් ගත්තේය.

මහේල ජයවර්ධන සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම වැන්නවුන්ද එයට එක්ව තම අදහස් දක්වා සිටියහ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුදල් යොදවා ගොඩගත යුතු වෙනත් ක්‍රීඩා රැසක් තිබියදී අධ්‍යාපන අමාත්‍යවරයා දැනට පාසල් ක්‍රීඩා අතරින් නොවැටී ඉහළ තලයක පවතින පාසල් ක්‍රිකට් ක්‍රීඩාවටම අත ගැසීමද විශේෂ සිද්ධියකි.

වසර ගණනක් මුළුල්ලේ පාසල් ක්‍රිකට් සංගමය යැපෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහයෝගය මතය.

පාසල් ක්‍රිකට් සංගමයේ ස්වෙච්ඡා සේවයක නිරතවීමට යැයි කියමින් කියා පැමිණෙන විධායක කමිටුවට ක්‍රිකට් ආයතනය මාසික දීමනාවක් ද ගෙවයි.

පාසල් තරග සඳහා ක්‍රිකට් පන්දු ක්‍රීඩාංගන සහිත පාසල්වලට ක්‍රීඩාංගන දියුණුකරලීමට අවශ්‍ය මූල්‍යාධාර පැති තණතීරු ආවරණ පාවා ක්‍රිකට් ආයතනයෙන් ලැබෙයි. සියලුම වයස් කාණ්ඩ සඳහා ජාතික කණ්ඩායම් තෝරණ විට පෙර මෙන් නොව දැන්පිට පළාත් පාසල් ක්‍රීඩකයන්ට දොර හැරේ. පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ අර්ජුන ඇතුළු සමහර කොරහේ කිඹුලන් සොයන්නන්ට අනුව අද පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රපාතයට වැටී තිබේ.

ඇත්තවශයෙන්ම පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ආපස්සට යවන්නේ නම් ඊට වගකිවයුත්තේද පාසල් ක්‍රිකට් සංගමයයි. පාසල් තරගාවලි සංඛ්‍යාව වැඩිය.

මේ තත්ත්වය ඇති කළේ ද පාසල් ක්‍රිකට් නිලධාරීන්ය. 13න් පහළ වෙනත් ක්‍රීඩාවල තරගාවලි නොමැති වුවද ක්‍රිකට්වල තරගාවලි පැවැත්වේ.

තරගකාරී මානසිකත්වය 13න් පහළ වයස් මට්ටමේ නොතිබිය යුතුබවට නීතියක් ගෙන තිබියදී පාසල් සංගමය 13න් පහළ ක්‍රිකට් තරගාවලි පවත්වයි. මේ නිසා දෙමාපියන් නොමගයවමින් බොහෝ පාසල් පුහුණුකරුවන් එවුන්ගේ වියදමින් විශාල පුහුණු තරග හා තරගාවලි පවත්වනු ලබයි.

කෝකියන් වැඩිවූ විට කැඳහැලියට වූදේ අද ක්‍රිකට් ක්‍රීඩාවට ද සිදුවෙමින් පවතී. තිලංගලා එකක් කියද්දී දයාසිරි හා අකිල තවදේවල් තම අමාතයංශ හරහා ක්‍රිකට් වෙනුවෙන් කරති. මහේලලා සංගලා තවත් එකක් කියති. අර්ජුනලා තවත් දේ කියයි. පාසල් ක්‍රිකට් සංගම් නිලධාරීන් ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් තවදෙයක් කරද්දී ක්‍රීඩකයොත් පුහුණුකරුවොත් තවදෙයක් කරති.

මේ සියල්ලම අච්චාරුවකි. කැඳහැළියකි. ක්‍රිකට් ගොඩ නැගීමට නම් අවශ්‍ය වන්නේ ක්‍රිකට් ආයතනය යටතේ මේ සියලුදෙනා එක්වී එක සැලැස්මකට වැඩ කිරීමය.

එසේ නොමැතිව ක්‍රිකට් ගොඩ ගැනීමට නොහැකිය. ඊළඟ කරුණ නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ක්‍රීඩා සමාජයයි. මේ ඡන්ද ගණනින් බැලුවහොත් 147 කි. මෙයට ඡන්ද දෙකක් හිමි දිස්ත්‍රික් සංගම්, පළාත් සංගම්, වෙනත් සංගම් හා පූර්ණ සාමාජික පැරණි ක්‍රීඩා සාමාජ ඇතුළත්වේ.

ඇත්ත කතාව නම් අපේ රටේ වෙනත් ක්‍රීඩා එකතැනක පල්වෙද්දී සාක් කලාපයෙන් හෝ ඔබ්බටයාමට නොහැකිව තිබියදී අපරටේ ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයට ගෙනගියේ මෙකී සාමාජික ක්‍රීඩා සමාජයන්ය. ටෙස්ට් වරම් ලබන විටත් ක්‍රීඩකයන් නඩත්තු කරමින් ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන ආවේ මෙම ක්‍රීඩා සමාජ අතලොස්සය.

එවකට ක්‍රිකට් ආයතනයේද අද තරම් නොමසුරුව වියදම්කරන්නට මුදල් නොතිබුණු අතර රජයෙන් ක්‍රීඩා අමාත්‍යංශයෙන් හෝ සතපහක දෙයක් ක්‍රිකට් ක්‍රීඩාවට ලැබුණේ නැත. ප්‍රේමදාස ජනාධිපතිවරයාට පිං සිදුවන්නට එවකට ඛෙත්තාරාම ක්‍රීඩාංගනය ක්‍රිකට් වෙනුවෙන් ජාත්‍යන්තරව ඉදිකරද්දී එවැනි මට්ටමකට ක්‍රීඩාංගන නඩත්තු කළේද මෙකී ක්‍රීඩා සමාජයන්ය.

එනිසා අද තමන්ට ඡන්දය නොලැබෙන නිසා ද්වේශයෙන් පසුවන පිරිසට හෝ පෞද්ගලික න්‍යාපත්‍රවලට වැඩකරන මාධ්‍ය ආයතනවලට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ පද්ධතිය විනාශ කිරීමට ද ඉඩ දියයුතු නොවේ. මේ සඳහා සුදුසු කතිකාවක් අවශ්‍යය. ක්‍රිකට් ක්‍රීඩාව සාර්ථකව ඉදිරියට ගෙනයාහැක්කේ එවිටය.

විශේෂ ලියුම්කරුවකු විසිනි
(මොහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වසර ගණනක අත්දැකීම් ඇත්තෙකි)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top