Oct 29, 2017

සමරිසි ප්‍රේමවන්තයන් වෙනුවෙන් ක්‍රිකට් දිවිය බිලි දුන් බෙන් ස්ටෝක්ස්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ උප නායක බෙන් ස්ටෝක්ස් ට අළු බඳුන තරගාවලිය මග හැරුණේය. ඊයේ පෙරේදා දක්වාම, ඒ ගැන එංගලන්තයේ කුප්‍රකට ස්ථානයන් හි කතා කෙරුණේ මෙසේ ය. “ඕකා බීගත්තාම වන සතා... අන්න ආයෙත් මැච් එකෙන් පස්සෙ බීගෙන වලියක් දාගෙන... තුන් දෙනෙකුට මී හරකෙක් වගේ ගහලා..”

මේ අලකලංචිය මුලින්ම කැත විදිහට එළියට දැමූවේ කුණු රස විකිණීම සම්බන්ධයෙන් ද කුප්‍රකට ඉතිහාසයක් ඇති බ්‍රිතාන්‍යයේ ‘ද සන්’ පුවත්පතයි. බෙන් ස්ටෝක්ස් විසින් මහ පාර මැද්දේ ‘දඩෝං දඩෝං’ යනුවෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ආකාරය ඇතුළත් රාත්‍රී වීඩියෝවක් ද ඔවුන් විසින් ප්‍රසිද්ධ කර තිබිණි. මුළු එංගලන්තයම දැනට සති කිහිපයක සිට බෙන් ස්ටෝක්ස් විසින් ‘මහත්වරුන්ගේ ක්‍රීඩාව’ට කළ මහා අපරාදය ගැන රස මුසු කතා කියමින් පසුවුවත් අද වන විට තත්වය වෙනස් ය. කතාවේ ඇත්තම වර්ෂන් එක මේ වන විට හෙළි වී තිබේ. එය හෙළි වී ඇති ආකාරය ද අපූරු ය.

එයට අනුව මෙහිදී සිදු වී තිබෙන්නේ 26 හැවිරිදි බෙන් ස්ටෝක්ස් විසින් බිලී සහ කායි නමැති සමරිසියන් දෙදෙනෙකුව මැදියම් රැයක සමාජ ශාලාවක් අසල සිටි හෝමෝෆෝබියා තක්කඩීන් පිරිසකගේ පහරකෑමෙන් බේරාගැනීමයි.  

බෙන් ස්ටෝක්ස් යනු ඉයන් බොතම් සහ ඇන්ඩෲ ෆ්ලින්තොෆ්ගෙන් පසු ලෝකයේ සිටින හොඳම ක්‍රිකට් ඕල් රවුන්ඩර් හෙවත් හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ය. බීමත් කම සම්බන්ධයෙන් ඔහුට අපකීර්තිමත් ඉතිහාසයක් තිබෙන බව ඇත්ත ය. මේ ලෝකයේ තවත් ලබන්නට දෙයක් නැති තරමට ධනයෙන්, ජනප්‍රියත්වයෙන් සහ සිවිල් බලයෙන් ආඩ්‍ය වූ සුපිරි චරිත බොහෝ විට ජීවිතයේ එක් වරක් හෝ මෙසේ පිස්සු කෙළිති. සුපිරි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්ට සිදුවුණේත් එයම ය. එනිසාම ඔහු තවත් ඉයන් බොතම් කෙනෙක් වෙන්නට යන බව ඇස් පනාපිට තිබියදීත් එය එසේ නොවුණේය. එංගලන්තයේ හිටපු පාපන්දු නායක වේන් රූනිට සිදුවුණේත් එයම ය. වේන් රූනි මහ රෑක ගැහැනියක් මෝටර් රියේ දමාගෙන බීමතින් රිය පදවමින් සිට පොලිසියට හසුවූ අතර අතර එදා පටන් ඔහුගේ ක්‍රීඩා දිවිය අතුරේ ගියේය. මේ අන්දමින් ‘හොරා කෑම සහ එළිපිට බීම’ නිසා වැනසුණු සුපිරි චරිතවලින් ලෝකයේ ක්‍රීඩා ඉතිහාසය පිරී පවතියි. මෙවිට ඔවුන්ගේ ක්‍රීඩා ගමන නවතින ලකුණු පහළ වේ. ලංකාවේ නම්, බීමතින් වැනි වැනී ගොස් උඩු ගුවනේ එකසිය ගානට පියාසර කරමින් තිබූ ගුවන් යානාවක දොර අරින ලද කුප්‍රකට ඇමති පුත්‍රයා පවා පසුව පළමු පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිවල දැකගන්නට ලැබුණු නමුත් එංගලන්තය ලංකාව වගේ හෙම නොවේ ය. ඒ නිසා සාමාන්‍යයෙන් බේබදු හැසිරීම් හේතුවෙන් එංගලන්තය වැනි රටකදී ක්‍රීඩකයන්ට පහසුවෙන්ම තම ක්‍රීඩා දිවියේ රතු කාඩ්පත හෝ රතු නොතීසිය ලබාගන්නට පුළුවන. පෙර කී සමරිසියන් දෙදෙනාගෙන් ම ඇත්ත කතාව එළියට නාවේ නම් බෙන් ස්ටෝක්ස්ගේ ඉරණම් කතාව ද එයම වන්නට තිබුණේය.

මේ ලිපිය සමග පළවෙන ඒ සමරිසියන් දෙදෙනා වන බිලී සහ කායිගේ ඡායාරූප දෙස මදක් විමසිල්ලෙන් බලන්න. මේ අහිංසකයන් දෙදෙනා මේ ජීවිත කාලය තුළ ගැහැනුන්ට පෙම් නොබැඳීම පිණිසම සොබාදහම විසින් මෙලොවට ගෙන ආ අය වෙත්. ඔවුන්ට ඔබේ අනුකම්පාව අවශ්‍ය නැත. කැමති කෙනෙකුට ආදරය කිරීම ඔවුන්ගේ පරම අයිතියක් වන නිසා ය. ඉතින් ඔවුන් යුවළකි. හුදු පිරිමි ලෝකයේ ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලින් වියුක්ත වූ වෙනම සාමකාමී ලෝකයක ජීවත් වන මෙබඳු සමකාමියෝ හෙවත් සමරිසියෝ, සමස්තයක් වශයෙන් ගත් කල සුන්දර ආත්මයන් ය. ඔවුහු විෂම ලිංගික තරුණියන්ගේ පවා නොමද ආදරය සහ මිත්‍ර සන්ථවය පහසුවෙන් දිනා ගනිති. එවිට එය ඉරිසියාකාර විෂම ලිංගික දඩෝරියන්ගේ ඇස්වල කටු ඇනීමකි. මේ සිද්ධියේදී වූයේ ද එය ය.  
එදා එළිවන ජාමයේ පාන්දර 2 ට පමණ බිලී සහ කායි සිටියේ බ්‍රිස්ටල් හි ක්ලිෆ්ටන් ට්‍රෑන්ගල් හි රාත්‍රී සමාජ ශාලාවක ය. ඒ රාත්‍රියේ බෙන් ස්ටෝක්ස් සිය ක්‍රිකට් සගයෙකු වන ඇලෙක්ස් හේල්ස් සමග එහි පැමිණ සිටියේ මධුවිතක් සමග පෙරදා ලැබූ බටහිර ඉන්දීය කොදෙව් එක් දින තරගයේ ජය සමරන්නට ය. ඒ අතරවාරයේ බිලී සහ කායි සමග සුහද බස් තෙපළා ඔවුන්ට මත්පැන් වීදුරුවකින් සංග්‍රහ කරන්නට තරම් විවෘත මනසක් ද බෙන් ස්ටෝක් හට තිබුණේය.

“අපි gay අය බව ඔහු තේරුම් ගන්නට ඇති. නමුත් ඔහු අපිට තවත් මනුෂ්‍යයෙකුට වගේ හොඳින් සැලකුවා..” යැයි බිලී සහ කායි පසුව කීහ.

ඉරිදා දිනයක් වූ හෙයින් බ්‍රිස්ටන් හි තවත් තැනකට ගොස් විනෝද වීමට ඔවුන්ට සිතක් පහළ වූවත් එතැන වසා දමා තිබිණි. එනිසා නැවතත් රාත්‍රී සමාජ ශාලාව අසලින්ම ඔවුහු සිය නවාතැන වෙත යාමට තීරණය කර ගත්හ. එතැන පසුකරගෙන යන විට ඔවුන්ට ඇසුණේ යම්කිසි අපහාසාත්මක වදනක් කියමින් සමාජ ශාලාවේ සිටි විෂමලිංගික පිරිමින් පිරිසක් ඔවුන්ට කෑ ගසන ආකාරයයි. මද වේලාවකින් අයෙක් මත්පැන් බෝතලයක් අතින් ගෙන ඔවුන් දෙදෙනාට පහර දෙන්නට ඉදිරියට පැන්නේය. දැන් එතැන අහිංසකයන් දෙදෙනෙකුට එරෙහිව මී හරකුන් වැනි පිරිමි තුන් දෙනෙකි. එයින් එකෙක් හමුදා භටයෙකි. මේ හෝමෝෆෝබියාකාරයෝ බිලී සහ කායි දැක අහේතුකව කුපිත වී සිටියහ.තමන්ට වඩා වෙනස් අය දුටු විට කුපිත වීම හෝමෝෆෝබියාවේ නියත ලකුණකි.

අහිංසකයන් වූ බිලී සහ කායි පෙරළා පහර දෙන්නට ගියේ නැත. පෙර කීවාක් මෙන් මේ සමකාමියෝ, සාමකාමියෝ ද වූහ. සිද්ධ වෙන්නට ගිය මහා විපතක් වළකාලමින් එතැනට පැන්නේ හැඩිදැඩි ශරීරයකින් ද කාය ශක්තියෙන් ද යුත් බෙන් ස්ටෝක් ය. ඔහු සැබවින්ම මැද්දට පැන අර තුන් දෙනාට තුන් ඉරියව්වෙන්ම සැලකුවේය. තණ තිල්ලේදී ‘බ්ලඩී බවුන්සර්’ කෙනෙක් වන බෙන් ස්ටෝක්ස් ඔවුන්ගෙන් බවුන්සර් පන්දු දමන්නට සැරසුණු බව කීම වඩා නිවැරදි ය. එහිදී එකෙක් ඉගිලී ගොස් හතරගාතෙන් බිම ඇද වැටුණේය. කායි සහ බිලී එතැනින් පළා ගියහ.

බ්‍රිස්ටන් නගරයේ රාත්‍රී සමාජ ශාලාවන්හි මෙබඳු කලහකාරී හැසිරීම් අමුතු දේවල් නොවන හෙයින් ඔවුන් දෙදෙන මේ කතාව අමතක කර දැමූහ. මේ සිද්ධියට අදාළ වීඩියෝ පටය ‘ද සන්’ පුවත්පත මගින් ලබාගෙන එය පට්ටා ගසමින් විකුණමින් සිය ගැළවුම්කාරයාගේ දෛවය තීරණය කරමින් සිටින බව ඔවුන් දැන සිටියේ නැත. නමුත් ඊළඟ සතියේ පොලිස් භටයෙක් ඔවුන් සොයා ආවේය. කටඋත්තරයක් දෙන්නට පොලිසියට එන ලෙස ඔවුන්ට පැවසුණි. බෙන් ස්ටෝක්ස්ගේ බේබදු හැසිරීම යට සැඟවුණු මනුෂ්‍යත්වයේ කතාව එළියට ආවේ එතැනිනි.  

අයර්ලන්තයේ සිට පැමිණ වසර දහයකටත් අධික කාලයක් එංගලන්තයේ ජීවත් වන බිලී සහ කායි ජීවිතයටම ක්‍රිකට් මැච් නරඹා ඇති අය නොවේ. එනිසා ඔවුන් බෙන් ස්ටෝක්ස් යන නමවත් අසා තිබුණේ නැත. ඔවුන් පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන් වුණේ මෙබන්දකි. “අපි දැනගෙන හිටියෙ නෑ, අපිව බේරගත්තෙ කවුද කියලා. මාධ්‍යවලින් යනකොටයි අපි දැනගත්තෙ, අපේ ජීවිත බේරගත්තෙ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වයිස් කැප්ටන් කියලා..ඔහු නියම ජෙන්ට්ල්මන් කෙනෙක්”

ඒ වන විට සිය සමරිසි ප්‍රේමයට නිසි අරුත ලබාදෙමින් ඔවුහු නීතියෙන් ද එක වහලක් යටට ගොස් සිටියහ.

බෙන් ස්ටෝක්ස් ද නියම මහත්මයෙකි. ඔහු මේ සමරිසියන් දෙදෙනාම ඇත්ත කතාව කියන කල්, ඉස්සරහට පැන “මම මාර වැඩක් කළේ.. මට ඔහොම කළ එක වැරදියි” කියන්නට ඉක්මන් වුණේ නැත. බිලී සහ කායි ඉදිරිපත් නොවුණා නම් අදටත් ලෝකය දන්නේ බෙන් ස්ටෝක්ස් නැවතත් ‘බීලා-පිස්සු කෙළලා‘ යන පටු අරුත පමණකි. සිද්ධියට පසුදා පටන් ජනමාධ්‍ය විසින් ඔහුව හඳුන්වා දෙමින් තිබුණේ “බේබද්දා’  කියා ය.     

ඒක පාර්ශවිකව නඩු අසා, නඩුත් හාමුදුරුවන්ගේ-බඩුත් හාමුදුරුවන්ගේ බවට වැඩ සිද්ධ කළ එංගලන්ත ක්‍රිකට් බලධාරීහු බෙන් ස්ටෝක් හට අළු බඳුන තරගාවලිය අහිමි කළහ. අප සැබවින්ම කතා කළ යුත්තේ මාධ්‍ය විසින් ඒකපාර්ශවිකව පුවත් වාර්තා කිරීමේ විකෘතිය ගැන ය. අප කතා කළ යුත්තේ ඒ ඔස්සේ තීන්දු තීරණ ගන්නා අමන බලධාරීන්ගේ විකෘතිය ගැන ය.

බිලී සහ කායිගේ කටඋත්තරයෙන් හෙළි වූ තවත් කරුණක් වූයේ පෙර කී විෂමලිංගික ප්‍රහාරකයන්, තරුණියන් සමග නටමින් විනෝද වන බිලී සහ කායි දෙස මුල පටන්ම වෛරයෙන් ඇස ගසාගෙන සිටි බවයි. එම තරුණියන් ඔවුන් සමග නටන්නට නොඑන නිසා ඔවුන් පසුවී ඇත්තේ ඊර්ෂ්‍යා සහගත කෝපයකිනි. අනෙක් අතට, මේ කටඋත්තරය දුන්නේ එංගලන්තයේ පොලිසියට මිස ලංකාවේ පොලිසියකට වූවා නම් ඉන්තේරුවටම මේ කතාවේ අවසානය වෙනස් වන්නේය. එසේ වූවා නම් පොලිස් භටයා තමන් සොයාගෙන එන විට බිලී සහ කායි අනිවාර්යයෙන්ම සිටිනු ඇත්තේ ද එඩ්‍රස් නැති තැනක ය! මන්ද යත්, පළමු කාරණය, මෙවැනි සිද්ධියකට පසු ලංකාවේ පොලිසියේ හා සමාජයේ ඊනියා සදාචාරය අනුව ඔවුන්ට පළා යන්නටත් සැඟවී සිටින්නටත් සිදුවන නිසා ය.තවද විෂම ලිංගික අයෙක් පවා ලංකාවේ පොලිසියට කටඋත්තර දෙන විට සිද්ධ වෙන ‘මධුර ජවනිකා’ ලොව සුපතළ නිසා ය. තවද ලංකාවේ පොලිසිය, එක්දහස් අටසිය ගණන්වල හද්දා පරණ දණ්ඩ නීති සංග්‍රහයේ සුද්දා හැදූ චිරාත් කාලයක් පැරණි වගන්ති ඉදිරියට දමාගෙන හෝ පාදඩ ආඥා පනත වැනි මෝඩ නීති ඉස්සරහට දමාගෙන අහිංසකයන්ට පමණක් යුක්තියේ රඟ පෙන්වන්නට යන නිසා ය. කෙසේ නමුත් එංගලන්තය ලංකාව වගේ නොවන නිසා මේ සිද්ධියේ පොලිස් පරීක්ෂණයෙන් බෙන් ස්ටෝක්ස් ගැන රටක් වටින කතාවක් හෙළි වුණේය.  

ඉතින් අවසානයේ අළු බඳුන අහිමි වුණත් මසක් ඇතුළත බෙන් ස්ටෝක්ස් වීරයෙක් බවට පත්ව තිබේ. සමරිසි පොඩි එවුන් දෙදෙනෙක් වෙනුවෙන් සිය ක්‍රිකට් දිවියේ වටිනාම කඩඉමක් අහිමි කර ගත් බෙන් ස්ටෝක් සැබවින්ම වීරයෙකි. ඒ වීරත්වය කෙතෙක් ද යත් මේ මොහොත වන විට එංගලන්තයේ ක්‍රිකට් තේරීම් කමිටුවට සිටින්නේ ගොළු කසාය බීගත් ගමන් ය. කකුල කටේ දාගෙන ය.

බිලී ලා කායි ලා විසින් විවිධත්වයේ රසය මවන මේ ලෝකයට බෙන් ස්ටෝක්ස්ලා සිය දහස් ගණනින් උවමනා කෙරේ.  මේ දෙපිරිසම නැතිව ලෝකය කිසිදා තනි යායක් නොවන නිසා ය.  කිසිදා එය ‘සුන්දර මනුස්ස ලෝකයක්‘ බවට ද පත්නොවන නිසා ය.

-ක්‍රිෂාන්ති රාජපක්ෂ

(lankanewsweb.net)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top