Oct 30, 2017

‘‘අනෙකා’’ ගැන නොදන්නවුන්ගේ ‘‘සංහිඳියාව’’

‘‘වියළි කාලයට වේලී, වැසි කාලයට පණ ලබා පිපෙන පුංචි මුහුදු තීරයත්, එය වටා ඇති කුඩා පැල්පත්ද ජනතාවගේ පිය සටහන්ද දිගු කාලයක් නොමැකී තිබුණි. 2009 මැයි ඉතිහාසයේ කවදාවත් නැති නොවන දුක් කන්දරාවක් නන්දිකඩල් මුහුද අවශෝෂණය තරගත් විට, ඒ සියල්ල එම දුක තුල ගිලී ගියේය. අද වියළී ගිය එම මුහුදු තීරයේ ශෝකයම රෝපණය වී තිබෙයි.’’ ඉන් අනතුරුව මෙවැනි කවියකි.

‘‘මෙන්න / මිනිස්සු ආයෙත් එනවා / දැන් ඉතිං.... / මැටි වලින් ඉදිකරති ඔවුහු නගරයක් /  ඕං... මුහුද.... / වැඩිමහල් මුහුද.... / ආදරණීය සෙනෙහෙබර මුහුද / ඇහෙනවද ඔබට? / නුඹ / මැටි වලින් කළ නගරයන්හි / ඥාතියා වෙනු’’

මෙය මා කියවූයේ දෙමළ ලේඛකයෙකු, කවියෙකු, විචාරකයෙකු හා ස්වාධීන මාධ්‍යවේදියෙකු වන කිලිනොච්චියේ කරුණාකරන් විසින් යුද්ධය අවසන් කෙරුණු පසුව 2014 මාර්තු පමණ වන තෙක් රචනා කෙරුණු ලිපි ‘‘ඉප්පුඩි ඔරු කාලම්’’ (මෙවැනි එක් කාලයක්) නමින් පළ කළ දෙමළ පොතෙහි සිංහල පරිවර්තනය වන ‘‘මතක වන්නිය’’ නම් පොතෙහිය. ඉහත එම කවිය, කරුණාකරන් උපුටා ගෙන ඇත්තේ නීලාන්දන් නම් කවියාගේ ‘‘මන්පට්ටිනංගල්’’ නම් කාව්‍ය සංග්‍රහයෙනි.

මෙය ඇත්තටම ‘‘මතක වන්නිය’’ පොත සම්බන්ධ විචාරයකට වඩා ඉන් ඉදිරිපත් කෙරෙන යුද්ධයේ කෲරත්වයත් ඒ සමගින් බහුතර සිංහල සමාජයෙන් ගිලිහුණු මනුස්සකම පිළිබඳවත් කියැවෙන ඉතා ප්‍රබල ඇඟවීම් ගැන කෙරෙන අවධාරණයක් යැයි කිව යුතුය. කරුණාකරන් ගේ දෙමළ පොත සිංහලට නැගූ අනූෂා සිවලිංගම් ද කරුණාකරන්ගේ පණිවිඩය සිංහල සමාජයට ඉදිරිපත් කරන්නා වූ සුවිශේෂි චරිතයකි. ඇය කිලිනෝච්චියේ ‘ජෙයන්ති නගර්’හි උපන් දෙමළ පවුලකට අයත් තරුණියකි. පසුව නුවරට සංක්‍රමණය වී අනතුරුව ගාල්ලේ බාලිකා විදුහලක සිංහල මාධ්‍යයෙන් උගත් සිසුවියක් යැයි මා අසා ඇති කතාවකි. එහෙත් ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙහි හොරණ ශ්‍රීපාලි මණ්ඩපයෙන් ජන  සන්නිවේදනය පිළිබඳ උපාධිය සමත් උපාධිධාරිණියක් බව මම දනිමි.

තම කුළුඳුල් පරිවර්තනය ලෙස ඇය කරුණාකරන්ගේ පොත සිංහලට නැගීමට තෝරා ගැනීමෙහිම ඇත්තේ දකුණේ පදිංචි, සිංහල බසින් අධ්‍යාපනය ලැබූ දෙමළ යුවතියක් වත්මන් සිංහල සමාජය කියැවීම පිළිබඳ කතාවකි. ඇය ඉංග්‍රීසි පුවත් පතකට කියා තිබූ අයුරු, කරුණාකරන්ගේ ‘‘ඉප්පුඩි ඔරු කාලම්’’ පොත ‘‘මතක වන්නිය’’ ලෙස සිංහල පාඨකයාට හඳුන්වා දීමෙන් ඇය බලාපොරොත්තු වන්නේ මෙවැන්නකි. ‘‘අප දෙමළ ජනතාව ලෙස දරන්නාවූ පීඩනය අනෙක් අයට දැනගැනීමට ඇත්ත තත්ත්වය හෙළිදරුව් කිරීමයි. මම විශ්වාස කරන අයුරු සංහිඳියාව අසාර්ථක වීමට ප්‍රධානම කාරණාවක්ව ඇත්තේ අවබෝධයේ අඩුවයි. අපිත් මනුස්සයින් සහ අපටත් සමාන අවශ්‍යතා තිබෙන බව බොහෝ අය තේරුම් ගෙන නැහැ.’’   

එවැන්නක් ඇයට සටහන් තැබීමට තරම් ‘‘මතක වන්නිය’’ පොතෙහි අන්තර්ගතය වැදගත් වන්නේය. එහි ඇති කරුණාකරන්ගේ ලිපි 12 න් ඉතාම පුළුල් සංවේදී කතාවක් අකුරු පේලි අතුරින් කියන්නේ ‘චෙම්මනී’ නම් ලිපියෙනි. එහි ආරම්භයෙහි මෙවැනි සටහනකි. ‘‘චෙම්මනිය යනු අද අලූතින් නිර්මාණය වී තිබෙන පුංචි නගරයකි. වෙළඳ දැන්වීම්වල නගරයකි. අහස අල්ලන්නට මෙන් නැගී ඇත, වෙළඳ දැන්වීම් පුවරු.’’

මේ නූතන විවෘත වෙළඳපල ආර්ථිකයේ හාස්කම්ය. සියල්ල වෙළඳපලට යටත් ය. යාපනය නගරයට පිවිසෙන චෙම්මනී මංකඩෙහි ඇති නානාවිධ වෙළඳ දැන්වීම් පුවරුවල වැකි, කරුණාකරන් සියුම් හාස්‍යයකින් ඉදිරිපත් කරන්නේ ඒවා ‘‘ලෝක ප්‍රකට සමාගම් සෑම එකකම වෙළඳ පුවරු’’ යැයි කියමින් ය. අද තිබෙන්නාවූ ඒ වෙළඳපල තරගයෙහි දිග පළල එමගින් පෙන්වමින් ය. ඒ වෙළඳපල තරගය අතරතුර වර්ණවත් නගරයක් ලෙස වෙනස්කර ඇති චෙම්මනිය ගැන ඔහු ලියන්නේ, ‘‘අතීත කාල මිනී වළවල් උඩ මේ අලංකාර නගරය ඉදිකර ඇත’’ කියා ය. ඔහු අතීත කාල යැයි කියන්නේ දෙවන ලෝක යුධ කාලය නොවේ. ඔහු කියන්නේ ක්‍රිශාන්ති කුමාරස්වාමි පාසල් දැරිවිය 1996 අගෝස්තු 07 වන දින චෙම්මනී හමුදා මුර පොලේදී දූෂණයකර මරා දැමීම සහ ඇයව සොයා ගිය ඇයගේ දෙමාපියන්, සොහොයුරා සහ අසල්වැසියෙකුද ඝාතනය කළ චෙම්මනියේ ඝාතන සිදුවූ කාලය ගැනය. ඇයව දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් වදරකරුවන් වූ හමුදා සෙබලූන් විසින් අනාවරණය කළ චෙම්මනී වෙල් යායේ සමූහ ඝාතන සිදු වූ කාලය ගැන ය.       

මිනී වළවල් උඩ එවැනි අලංකාර නගරයක් ඉදිකිරීම ගැන ඔහුට ‍ප්‍රශ්න සමූහයක් ඇත. ඒ අප සාමාන්‍යයෙන් එවැනි සිදුවීම් ගැන අසන ප්‍රශ්නම නොවේ. ඔහු අසන්නේ, ‘‘..... චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලයේ එහි ඇති කළ බිහිසුණු මිනී වළවල් 600 ක් වැසීමට කළ උත්සාහයක්ද? එසේත් නැතිනම් මේ තැනිතලාවෙහි දුව පැන සෙල්ලම් කරන සුළඟට හරස් වී, එහි නිදහස උදුරා ගැනීමට කළ දෙයක්ද?’’ කියා ය. ඔහු මේ විවෘත වෙළඳපල තරගය එහි සිදුවූ අනේක විධ අපරාධ වසා ගනිමින් ව්‍යාප්තවන අයුරු ‘‘චෙම්මනී’’ ලිපියෙන් නොකියා නමුත් වේදනාවෙන් යුතුව කියන්නේය.

යුද්ධයෙන් පසු සියල්ලන් විවෘත වෙළඳපල හා එහි වේගය සමග ඇදී යන සැටි ගමක් නගරයක් පළාතක් හා ගැට ගැසුණු එවැනි කතාන්දර ඔස්සේ කරුණාකරන් ඉතා සියුම් ලෙස කියන්නේය. විවෘත වෙළඳපල රැගෙන ආ නූතන තාක්ෂණයෙන් මනුෂ්‍ය සමාජය යටවී ඇති සැටිත් ඒ සමග මනුස්සකම හා බැඳුණු ලෙන්ගතුකම් ගිලිහී ගොස් ඇති සැටිත් පෙන්වන්නේය. ‘‘...මිතුරන්ගේ ලියුම්. සහෝදරයින්ගේ ලියුම්. සංවිධානවල ලියුම්. පුවත්පත් කතුවරුන්, ලේඛකයින්, කලාකරුවන් ආදි අය ඒ ඒ අවස්ථාවල ලියු ලිපි ඒ අතර වෙයි. තාත්තා, අම්මා, ළගම ඥාතීන් ලියපු ලිපිද වේ. මතුපිටින් බලද්දි මේවා හුදෙක් ලිපි පමණි.’’ යැයි ඔහු ‘‘විනාශයෙහි කුරිරු බව’’ නම් දෙවැනි ලිපියෙහි ලියා තබන්නේය. ඒ ඔහු අවුරුදු 25 ක් පුරාවට එකතු කළ විශාල ලිපි තොගය යුද කාලයේදී ඉතා මහන්සියෙන් බේරා ගැනීමට දැරූ උත්සාහය ගැන කියන්නකි.  

ඔහුගේ කතාවට එය මුල පිරුමක් පමණි. ‘‘ඊමේල් ලිපිවලට අනන්‍ය වූ මුහුණු නොමැත.’’ ඔහු ලියන්නේය. ඊමේල් ලිපිවල ඇති මුද්‍රිත අකුරුවල, පැරණි ලිපිවල අත්අකුරු සතු පුද්ගලික අනන්‍යතාවක් නැතැයි ඔහු කියන්නේය. ‘‘එක් එක් අයගේ මුහුණු ඒවායෙන් පෙන්වන්නේ නැත’’ යැයි කරුණාකරන් දුක් වන්නේය. ‘‘පෙර තැපැල් පතක් ලැබෙනවිට, ..... එය රැගෙන එන කාකි ඇඳුම් ඇඳි තැපැල් පියුන් දකින විට, අප තුල එක්තරා අන්දමක ප්‍රබෝධයක් අපට නොදැනීම ඇති වෙයි’’. ඊමේල් සමගින් ලොකු මහත් වූ අලූත් පරම්පරා නොදන්නා ඒ ලිපි ගනුදෙනු වූ අතීතය, සැබවින්ම අහිංසක සතුටක් රැඳ වූවකි. ‘‘පොඩි මාමාගේ අත්අකුරු සෑමවිටම ඇලවී තිබෙයි. එය බලනවිට අකුරු කණ්ඩායමක් මෙන්ය. ලොකු තාත්තාගේ අත්අකුරු ඉතාම හදිසි ස්වභාවයෙන් යුක්තය.... රාණි නැන්දාගේ අත්අකුරු ඇය මෙන් ඉවසීම් සහගත බවකින් යුතුය....උපදෙස් ලබා දෙන අන්දමක්ද, සුහද බවක්ද, සමීප බවක්ද පෙන්වන එම අත්අකුරු වලට මා ඉතාම කැමතිය.’’ ඔහු අත්අකුරු සතු අනන්‍යතා සහ ඒවායේ ඇති ජීවය දකින්නේ එළෙසින්ය. එවැනි වූ ජීවයක් තිබූ පුද්ගලයින් අතර තිබූ සන්නිවේදනය විවෘත වෙළඳපල තරගය සඳහා ඉතාම සීඝ්‍රගාමී දියුණු යැයි පැවසෙන නව තාක්ෂණය විසින් වියළි, කෘතිම ගනුදෙනුවකට පරිවර්තනය කර ඇතැයි ඔහු කියන්නේය.

මේ කෘතිම ගනුදෙනුවෙහි ඇත්තේ මිල හා ලාභය පිළිබඳ කතාවකි. එබැවින් අලෙවි කළ හැකි යැයි සිතන්නටවත් අප මහන්සි නොවන දේ වෙනත් අය විකුණා ගනිති. යුද්ධයෙන් පසු එළෙසින් නිර්මාණය වූ තවත් අලෙවි කිරීමක් ගැන ඔහු තබා ඇති සඳහනක් මෙවැනිය. ’‘මෙලෙස දකුණේ සිට ‘කොටින්ගේ ආකර්ශනීය ස්ථාන’ නැරඹීමට දිනපතා පිරිස් එති. නිවාඩු කාල වලට එන අයගේ ගණන වැඩි වේ. එහි සිට පැමිණෙන සිංහල ජනතාව පමණක් නොව, පිටරටින් පැමිණෙන දෙමළ ජනතාවද ගමේ සිටින ඔවුන්ගේ නෑදෑයින් එකතු කරගෙන ‘කොටින්ගේ ආකර්ශනීය ස්ථාන’ සංචාරය කරති. මේ සඳහාම පළපුරුදු රියදුරෝ සහ මාර්ගෝපදේශකයෝ දළු ලා සිටිති.’’ මෙය වනසතුන් මත හැදී ඇති ලාභ ඉපැයීමේ ‘යාල සෆාරි’ මතකයට නගන්නකි.  

අවසන් කෙරුණු තිස් අවුරුදු යුද්ධය, දකුණේ සිංහල ජනතාවට සහ ඒ යුද්ධයෙන් බේරීම සඳහාම පිටරට පදිංචියට ගොස් සිිටින දෙමළ ජනතාවට සංචාරය සඳහා ආකර්ශනීය දේ ඉතිරිකර තිබුණද, වන්නියර්වරුනට යුද්ධයෙන් එවැන්නක් ඉතිරිව නැත. අතීතයට දිව යන සියවස් ගණනක දිගු ඉතිහාසයක්, අනන්‍යතාවක් ඇතිව අලම්පිල්, සෙම්මලෙයි, කුඹුලමුනෙයි, කොක්කිලායි, කොක්කුත්තොඩුවායි, මුල්ලියවලෙයි, වට්රාප්පලෙයි, තන්නීරූට්රහරු, කුලවිච්චුට්ටාන්, ඔට්ටුචුට්ටාන්, පුදුකුඩුයිරුප්පු, මුල්ලිවයික්කාල්, කොප්පාපිලව් සිට ඔමන්තෙයි දක්වා විශාල හරිත පරිසරයක වන්නියර්වරු ජීවත් වූහ. දැන් ඔවුන්ට ඔවුන්ගේ කැලෑවලට යා නොහැකිය. ‘‘එහෙයින් ඔවුන්ට දඩයම අහිමි ය. මී පැණි ද නැත. කුඹුර ආරක්ෂා කිරීම සඳහා මුර පැලට අවශ්‍ය ලී ද`ඩු කපා ගැනීමටද නොහැකි ය.’’ කරුණාකරන් ‘වන්නියේ මහ ගෙවල්’ නම් ලිපියෙහි තැබූ සටහනකි.     

‘‘හැම දෙයක්ම යුධ රකුසා විසින් ගිල ගෙන තිබුණි.....මහ ගෙවල්වල තිබුණු සම්පත්?.....පරම්පරාවෙන් පරම්පරාවට ඉතිරි කර තිබූ දේ?.......ඒ මහ ගෙවල් තමන් තුල තබා ගෙන තිබූ අනන්‍යතාවන් සහ සොම්නස්?.......මොකවත්ම නැත. ජීවිතය ගිණි ගෙන පිච්චී තිබුණි....’’ එහෙත් ‘යුද රජා‘ පමණක් කම්පිත වූයේ නැතැයි කරුණාකරන් ලියන්නේය. ‘‘ඌ ගල් වූ සිතක් ඇතිව, අන්ධ ලෙසින් බලා සිටියේ ය....මිනිස්සු සතුන් බවට පත් වූහ.’’

මෙවැනි අහිමි වූ අහිසංක ජීවිත ගැන දකුණේ අප දන්නේ මොනවාද? අප නොදන්නා සහ ඔවුන්ට යුද්ධය විසින් අහිමි කෙරුණු මනුස්ස ජීවිත ගැන අප තවවමත් නොතකන්නේ ඇයිදැයි සිතුනේ ‘‘මතක වන්නිය’’ පොත කියවූ පසු ය. සංහිඳියාව යනු දකුණේ දේශපාලනය විසින් කතා කරන සියල්ල නොව, මොවුන්ට අහිමි කෙරුණු මනුස්ස ජීවිතය සඳහා යළි සමාජ අවකාශයක් හදා දීම යැයි තේරුම්ගත හැක්කේ ‘‘මතක වන්නිය’’ පිටු අතරිනි.

එය ඉතා කදිමට කරුණාකරන් ඔහුගේ මුල් දෙමළ පොතෙහි පෙරවදන ආරම්භ කරමින් ලියා ඇත. ‘‘අකමැති වූ යුද්ධයකට දායකත්වය දැක්වූයෙමි. අනපේක්ෂිත යුද්ධයෙහි සාක්ෂියක් වූයෙමි. මෙය මට පමණක් අත් වූ ඉරණමක් නොවේ. ලංකාවේ සියලූ දෙනාගේම ඉරණමයි. යුද්ධයට සෘජු සහභාගිත්වය යනු එක් වර්ගයකි. සෘජු සහභාගිත්වය නොමැතිව ඉන් ඉවත්ව සිටියද, එහි ප්‍රතිඵල වලින් පීඩාවට පත්වීම මෙන්ම සිදුකෙරෙමින් පවතින යුද්ධයට අපගේ දායකත්වය යුද්ධය කරගෙන යනු ලබන පාර්ශවයන් විසින් භාවිතා කරගැනීම තවත් වර්ගයකි. එය ‘අපේ සම්බන්ධයක් නැහැ‘ යන හැ`ගීමේ සීමාවට ඔබ්බෙන් සිදුවන අද්භූත දෙයකි.’’

කරුණාකරන් ගේ ‘‘මතක වන්නිය’’ කෘතියෙහි ඇති වැදගත්කම එය ය. යුද්ධයට අපේ සම්බන්ධයක් නැතැයි දකුණේ අපට කිව හැක. එහෙත් එය කෙතරම් වලංගු කීමක්ද? පරිවර්තනය සඳහා අනූෂා සිවලිංගම්ගේ එම තේරීමේ ඇති වැදගත්කමත් එයම ය. සියල්ල වෙළඳපල ලාභය වෙනුවෙන් අලංකාර කර ඉදිරිපත් කෙරෙන අතර, සංහිඳියාවද ලොවට අලෙවි කිරීමේ උත්සාහ මගින් මනුස්සකම් අත හරින්නට හැකි වන්නේ දකුණේ සිංහල සමාජයට එය වෙළඳ භාණ්ඩ මෙන් මිලට ගත හැකි සිල්ලර භාණ්ඩයක් නොවන නිසාවෙනි. සංහිඳියාව යනු ‘‘අනෙකා’’ තේරුම් ගැනීමට තරම් මනුස්සකමක් අප වගා කර ගැනීම පිළිබඳ කතාවකි. එබැවින් ‘‘මතක වන්නිය’’ පොතෙන් ඔවුන් ආමන්ත්‍රණය කරන්නේ අපටය. අප ඒ හා අවංකව ගනු දෙනු කරන්නට සූදානම්දැයි අපම ඇසිය යුතු ප්‍රශ්නයකි.

ඒ අතින් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා ඇමති මනෝ ගනේෂන් ගේ අමාත්‍යංශය පසුගිය දෑවුරුද්ද පුරා ජනතාවගේ මුදල් වැය කළ සියල්ලට වඩා වැදගත් කාර්යක් අනුෂා සිවලිංගම්ගේ උත්සාහයේ ඇති අතර, මෙම පරිවර්තනය සිංහල පාඨකයින් අත පත්වන ප්‍රමාණයට එය ඉටුවන්නේ යැයි සිතමි.

කුසල් පෙරේරා
ඉරිදා ලක්බිම
2017 ඔක්තෝම්බර 29 වන දින

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top