Oct 31, 2017

සිහින දකින එක බේසික් රයිට් එකක්

ඒක පොඩි කතාවක්. පොඩියි කීවට පොඩි ගෑණු ළමයෙකුයි, එයාගේ පොඩි මල්ලියි, එයා වගේම පොඩි යාළුවෙකුයි - යාළුවෙක් කීවට එයා පොඩි පෙම්වතෙක්, එයාගේ අම්මයි, තාත්තයි, ඒ පොඩි ගෑණු ළමයට වඩා ගොඩක් ලොකු සුපර් ස්ටාර් කෙනෙකුයි ඉන්න දිග කතාවක්. මේ චිත්‍රපටියේ කතා ගොඩක් තියෙනවා

. ඉන්සියා, ඒක තමයි අර පොඩි ගෑණු ළමයගෙ නම, එයාගෙ හොදම පිරිමි යාළුවා චින්තන් එක්ක තියන ආදරය මුහුවෙච්ච යාළුකමේ කතාව, ඉන්සියාගේ අම්මයි එයාගෙ නපුරුම නපුරු තාත්තයි අතර තියන රණ්ඩු පිරුණු කතාව, ඉන්සියාගෙයි එයාගේ පොඩි මල්ලි ගුඩ්ඩුයි අතර තියෙන කෙළිලොල් සහෝදරත්වයේ කතාව, ඉන්සියා මුම්බායිවල ඉන්න සුපර්ස්ටාර් ශක්ති එක්ක තියෙන ගෞරවය සහ බලාපොරොත්තු මුසුවූ කතාව. අන්තිමට මේ සේරම පරාද කරන, බලාඉන්න මේ අපිවත් පරාද කරන, ඉන්සියායි එයාගෙ අම්මයි අතර තියෙන අව්‍යාජ මනුෂ්‍යත්වයේ උදාරතරම ආදර කතාව. එක තැනකදී චින්තන් අහනවා ‘ඉන්සියා ඔයාගෙ අම්මා මොනවගේ කෙනෙක්ද?’ ඉන්සියා පිළිතුරු දෙනවා ‘එයා හරියට ළමයෙක් වගේ. හරිම මෝඩයි. හරිම පසුබස්නා සුළුයි. දෙයක් තෙරුම්කරන්න එකම දේ ගොඩක් සැරයක් කියන්න ඕන. පරණ අදහස් තමා තියෙන්නෙ’.

සින්නියාට තියෙන්නෙ එකම එක හීනයයි. ඒ සුපර්ස්ටාර් ගායිකාවක් වෙන්න. එයාගෙ කටහඩ ලෝකෙටම ගෙනියන්න. පුංචි ගමක පුංචි ගෙදරක ඉන්න පොඩි කෙල්ලෙකුට පුලුවන්ද එහෙම වෙන්න? විශේෂයෙන්ම එයාගෙ තාත්තගෙ සහයෝගයක් ඇත්තෙම නැතුව. එක දවසක් රෑ සින්නියාගේ අම්මා කියනව ‘මගෙත් හීනෙ ඒක ඒත් දැන් දුක් නොවී නිදාගන්න’ කියල. සින්නියා අහනවා ‘නිදාගත්තම හීන පෙනුනට ඒව සැබෑකරගන්නනම් ඇහැරිලා ඉන්න වෙනව’ කියල. මේ චිත්‍රපටියෙ තිබෙන වර්ණවත්ම දෙබස තමයි අම්මා තාත්තත් එක්ක මුල් සහ අවසාන වතාවට එකට එක කියද්දී කියන මුරණ්ඩුම කතාව ‘ඩ්‍රීම් දේක්නා තෝ බේසික් හෝතා හේ’ ඒ කියන්නේ ‘සිහින දකින එක මුලිකම මිනිස් අයිතියක්’ කියන එක. ජීවිතය පිළිබද ඒ අතිශය විප්ලවකාරී අදහස, සමස්ථ අම්මාවරුන් විසින් දුවරුන්ට කියා දිය යුතු පළවෙනිම පාඩම යැයි මම අදහමි.

සින්නියා එයාගේ කටහඩ ලෝකෙට ගෙනියන්න තෝරා ගන්නෙ යු ටියුබ් එක. මේ ලෝකෙ මධ්‍යම පාන්තික කාන්තාවන්ගේ ජිවිත වෙනස් කරපු මුලිකම සොයාගැනීම ලෙස මා දකින්නේ උපත් පාලන පෙත්ත. ඒ පොඩි පෙත්තට පුළුවන් වුනා මිලියන ගානක් ගෑනුන්ට තමුන්ගේ ශරීරය ගැන තීරණයක් ගන්න උදව් කරන්න. ඒ තීරණය මත පදනම්ව ඉගෙන ගන්න, කැමති රස්සාවකට යන්න, කැමැති දේවල් කැමති කාලෙකට කරන්න විතරක් නෙමෙයි පිරිමි වගේම බය නැතුව ලිංගික තෘප්තිය ලබන්නත් ගෑණුන්ට පුළුවන් වුනා. දෙවැනි විප්ලවේ තමා ඉන්ටර්නෙට් එක. ඒක තවත් විප්ලවිකරණයට ලක්වුනා ලැප්ටොප් එකට ගහන ඩොන්ගල් එකත් එක්ක. පිරිමියා සහ පිරිමියා මෙහෙයවන ආර්ථිකයේ වහලෙක් නොවී ලෝකෙට යන්න , ඉගෙන ගන්න, බෙදාහදා ගන්න, අදහස් ප්‍රකාශ කරන්න, බලන්න එපා කියන ඒව බලන්න, බලන්න ඕන දේවල් පස්සෙ බලන්න, අනෙක් අය නොකියන දේවල් හොයාගන්න, කුස්සියේ, සාලයේ, කාමරේ ඕනෑම තැනක ඉදන් අම්මලට අක්කලට නංගිලට බිරිදට පෙම්වතියට පුළුවන් වුනේ මේ ඉන්ටර්නෙට් එක ඩොන්ගල් එකට ආවට පස්සෙ. සින්නියාගෙ අම්ම එයාට ලැප්ටොප් එකක් අරන්දෙන්නේ කරේ තිබ්බ එකම රත්තරන් මාල පොට විකුණල. ඒකයි සින්නියා අන්තිමට කියන්නේ ‘ඇත්ත සුපර්ස්ටාර් අම්මා’ කියල.

අපේ පරම්පරාවේ ඉන්න සිය දහස් ගණනක් මිතුරියන් එයාලගෙ සිහින සැබෑ කරගනිමින් ඉන්න බව අපිට උදේ හවා පේනවා. කොටට ඇන්දත්, කොන්ඩේ කැපුවත්, වයින් බීවත්, බොස් එක්ක හිනා වුනත්, රෑ වෙලා ඔන්ලයින් හිටියත් ‘බඩුවක්’ කියල කියන සමාජයක සිහින දකින තරම් ලේසියෙන් සිහින සැබෑ කරගන්න ගෑණුන්ට බෑ. ඒත් සිහින සැබෑ කරගන්නා බොහොමයක් දුවරුන්ට පොදු එක සත්‍යක් තියෙනවා. ඒ තමයි ඒ දුවරුන්ගේ අම්මාවරු, බොහෝවිට තාත්තලාටත් හොරෙන්, තමුන්ගේ දුවරුන්ට සිහින දකින්න උගන්වල තියෙනවා. ඇස් ඇහැරුනහම සිහින සැබෑකරගන්න දිරි දීලත් තියෙනවා.

සික්‍රට් සුපර්ස්ටාර් චිත්‍රපටිය එහි නිර්මාණකරුවන් පුදකරන්නේ ‘අම්මාවරුන්ට සහ මාතෘත්වයට’. ඒ කියන්නේ අපිට සිහින දකින්න උගන්වපු සැබෑ ‘සික්‍රට් සුපර්ස්ටාර්ස්ලට’.

මතක තියාගන්න, සිහින දකින එක බේසික් රයිට් එකක්.

මිලින්ද රාජපක්ෂගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top