Nov 26, 2016

සමකය: දණ්ඩ මුක්තියේ දේශපාලනය

සාහසික අපරාධ සිදුකොට දණ්ඩනයෙන් බේරී නිරුපද්‍රිතව කල් යල් ගෙවන්නට ඇති වරප්‍රසාදයට සාමාන්‍යයෙන් කියන්නේ දණ්ඩ මුක්තිය කියා ය. එනයින් බලන කල ලංකාව දණ්ඩ මුක්තියේ සරු බිමකි. ආණ්ඩුවෙන් ආණ්ඩුවට වරිග උරුමයක් මෙන් ඒ වරප්‍රසාදය මාරුවන්නේ ඒ අනුව ය. එක් ආණ්ඩුවක් යටතේ අපරාධ සිදුකිරීමේ වරප්‍රසාද ලබන්නෝ තවත් ආණ්ඩුවක් යටතේ දණ්ඩ මුක්තියෙන් පිදෙති. දැන් ලියැවෙන මහාවංශ පරිච්ඡේදයන්ගෙන් මඟහැරෙන අපේ මෑතකාලීන ලේ වැකි ඉතිහාස කතාව ඊට දෙස් දෙයි.

ඇඹිලිපිටියේ සිසුන් පිළිබඳ කතාව විසි හත් වසරක් පැරණි එක් නිදසුනකි. එහි වග විස්තර නොදත් පරම්පරාවන් වෙනුවෙන් ඒ ඉතිහාස කතා සැකෙවින් ලියා තිබීම වැදගත් ය. ඇඹිලිපිටියේ සෙවණගල කඳවුරට ලුතිනන් කර්නල් පරාක්‍රම ලියනගේ පත්ව ආවේ 1989 ජූලි මාසයේදී ය. ඒ බ්‍රිගේඩියර් ලකී අල්ගමගේ මෙහෙයවීමෙන් ඒ දක්වා දියත් වුණු කැරළි මර්දන යුද සැළසුම් තීව්‍ර කරනු පිණිස ය. ඒ සැළසුම් විජයග්‍රහණයෙන් මුදුන්පත් කරගන්නා විට ඇඹිලිපිටියේ පාසැල් සිසුන් පමණක් 148 දෙනෙක් ඝාතනයට හෝ අතුරුදහන්වීමට ලක්ව තිබිණ. ඒ වනාහී 1989 අගෝස්තු මාසයේ සිට හමුදා අත් අඩංගුවට ගැනීමෙන් පසු 'අතුරුදහන්' වී යැයි සැළකෙන සිසුන් තිස් දෙදෙනාගේ ඉරණමට අමතර වශයෙනි. ඉක්බිති 1994 ජනවාරියේ දී සූරියකන්දෙන් පැනනැඟුණු ඇඹිලිපිටියේ මළවුන්ගේ කැරැල්ල කොළඹ සති අග පත්තරවල මාලා කතාකරුවන්ට ද, ගේය පද රචකයන්ට ද කදිම නිමිත්තක් බවට පෙරළා ගැණුනි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළා දමන්නට අවශ්‍ය ජවය මළවුන්ගෙන් සපයාගත් පොදුජන එක්සත් පෙරමුණු නායක නායිකාවෝ මළවුන්ට යුක්තිය ද, ජීවත්වන්නන්ට සත්‍යය ද ගෙන එන්නට පොරොන්දු වූහ. ඒ අනුව, සිරභාරයට ගනු ලැබූ තුන්වැනි විත්තිකාර දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරී පරාක්‍රම ලියනගේ නිදොස් කොට නිදහස් කරනු ලැබූ අතර ඝාතකයන්ට දේශපාලන අනුග්‍රහ සැපයූ බවට මැතිවරණ වේදිකාවල චෝදනා ලද නන්ද මැතිව් ඌව පළාතේ ආණ්ඩුකාර ධූරයෙන් පුදනු ලැබීය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ මළවුන් වෙනුවෙන් පොදුජන එක්සත් පෙරමුණ යටතේ පාර්ලිමේන්තු වටරවුමේ තැනූ 'අහිංසකයන්ගේ ආරාමය' එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ බිම්බත් කරනු ලැබුණේ සුන්දර කොළඹ නගරය මළවුන් පිළිබඳ මතකයෙන් අවලස්සන නොකරනු පිණිස ය.

sooriyakanda monumentවිනාශ කළ 'අහිංසකයන්ගේ ආරාමය'

ත්‍රීමා විතාරණ ඝාතන නඩුව ද, දිවුලපිටියේ සමූහ ඝාතන නඩුව ද, රිචඩ් ද සොයිසා ඝාතන නඩුව ද ඇතුළු ඒ භීම සමය සංකේතවත් කළ සියළු අධිකරණ විභාග අවසානයේ චූදිත පිරිස් ගෞරව සම්ප්‍රයුක්තව නිදොස් කොට නිදහස් කරනු ලැබිණ. ඒ ඝාතනයන්ට නම් ඇඳුණු ප්‍රාදේශීය දේශපාලකයෝ බහුතරයක් දෙනා දේශපාලන පිල් මාරු කිරීමෙන්ද, හමුදා සෙනවියන් බහුතරයක් දෙනා දකුණින් උතුරට මිනිස් දඩබිම් මාරු කිරීමෙන් ද දණ්ඩ මුක්තිය උපයාගත්හ. ඒ ඝාතනයන්ගෙන් දිවි ගළවාගත් ජනතා විමුක්ති පෙරමුණේ අනුප්‍රාප්තිකයෝ ඒ ආණ්ඩුවලම හවුල්කරුවන් බවට පත්වීම මගින් ඝාතකයන් සමග සහජීවනය ළඟාකර දෙන නව මෝක්‍ෂ මාර්ගයන් සොයා ගත්තෝය.

දණ්ඩ මුක්තිය පිළිබඳ යට කී මෑතකාලීන උරුමය විමසා බැලීම වැදගත් වන්නේ දැන් ලියැවෙන එහි අලුත් පරිච්ඡේදයන් වටහා ගනු පිණිස ය.

තම සැමියා වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නිදහස් කරන්නේ නම් තමන්ගේත්, දරුවන්ගේත් ජීවිත ආරක්‍ෂාව අනතුරට පත්වනු ඇතැයි සන්ධ්‍යා එක්නැලිගොඩ විවෘත ප්‍රකාශයක් කළේ 2016 මාර්තුවේදී ය. ඊට ප්‍රතිචාර වශයෙන් මැයි 27 වැනිදා අත් අඩංගුවේ පසු වූ දෙවැනි සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප පිට නිදහස් කරන ලදී. අනතුරුව සැප්තැම්බර් 19 වැනිදා තවත් විත්තිකරුවන් සිව් දෙනෙකුට අවිස්සාවේල්ල අධිකරණය විසින් ඇප නියම කර සිටියේය. තුන් දිනක් ඇවෑමෙන් ඉතිරි සැකකරුවන්ගෙන් සිව් දෙනෙකුට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ඇප නියම කරනු ලැබිණ. ඔක්තෝබර් 12 වැනිදා කොළඹ දී හමුදා උත්සවයක් ඇමතූ ජනාධිපති සිරිසේන 'මාස 16ක් අත් අඩංගුවේ රඳවා සිටින බුද්ධි අංශ සෙබළුන්' පිළිබඳ සිය ගැඹුරු කම්පාව හෙළිකර සිටියේ මේ අතරවාරයේ ය. ඔක්තෝබර් 25 වැනිදා ඉතිරි සැකකරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙක් මුදාහළ අවිස්සාවේල්ල මහා අධිකරණය නොවැම්බර් 08 වැනිදා ඉතිරි සැකකරුවන් දෙදෙනාටද ඇප නියම කළේය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබ, 'රිවිර' කර්තෘවරයාට පහරදීම සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ පෙරට්ටුවකදී තිර වශයෙන්ම හඳුනාගනු ලැබූ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා, ඔක්තෝබර් 27 වැනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර යවන ලද්දේ මීට අමතර වශයෙනි.

එයින් දෙසතියක් ඇවෑමෙන් නොවැම්බර් 16 වැනිදා ජිනීවා හි වධහිංසාවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවේ අදහස් දැක් වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම පිළිබඳ පරික්‍ෂණ කටයුතු මනා ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි කීවේ මේ සිදුවීම් සියල්ල පසුබිමේ තිබියදී ය. නමුත් දිග්ගැසුණු ඊනියා පරීක්‍ෂණ පිළිබඳ විමතිය පළකරමින් අදහස් දැක් වූ කමිටුවේ උප සභාපතිනිය, පෙරළා ප්‍රතිචාර දක්වමින් 'දණ්ඩ මුක්තිය ඔබේ රටේ හිසට ඉහළින් අසිපතක් මෙන් එල්ලී ඇතැයි' කියා සිටියා ය. ඒ වනාහී ත්‍රීකුණාමලයේ සිසු ඝාතනයද, මුත්තූර් හි සහන සේවකයන් ඝාතනය ද පිළිබඳ පරීක්‍ෂණ පිළිබඳ නර්මාලාපයන්ට ද සවන් දීමෙන් අනතුරුව ය.

ඇත්තකි! යුක්තිය පිටුදැක ඝාතකයන් හා සහජීවනයට ඇබ්බැහි වීම දේශානුරාගය බවට පෙරළාගත් රටක දණ්ඩ මුක්තිය වනාහී එළඹෙන මතු දවස් ඉහළින් සිහින් හුයක රැඳී ලඹ දෙන අසිපතකි. යුක්තිය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කලින් කලට තොරොම්බල් කැරෙන වාගාලාප යට අපේ දුර්භාග්‍ය සම්පන්න අනාගතය දැන් යළිත් ලියැවෙමින් ඇත්තේ ඒ නිසා ය.☐

(මෙම ලිපිය 2016 නොවැම්බර් 27 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය.)

bashana abeywardane profileරෝහිත භාෂණ අබේවර්ධන

© JDS

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top