15976 BM WEB BANNER 01
Nov 30, 2017

ඇතුන් ඝාතනය නොකර මිත්‍යාව ඝාතනය කරමු

ගල්ගමුවේ දළ පූට්ටුවා පසුගිය දිනක කහල්ලේ පල්ලේකැලේ අභය භූමියට නුදුරු හේරත්ගමදී මරා දමා දළ ලබාගන්නට ඇතැයි වනජීවි නිළධාරීන් සැකකෙරෙන අතර විකිණිමට සුදානම්කර තිබූ ඇත්දළ අත්තඩංගුවට ගැනීමත් සමඟ මෙය පිළිබද තොරතුරු හෙළිවෙමින් පවතී.

ලංකාව වැනි රටක සමස්ත අලි ගහනයෙන් සියයට හතරක පමණ ප‍්‍රමාණයක දළ ඇතුන් දැක ගත හැකි අතර පසුගිය කාලය පුරාත් වර්ථමානයෙත් රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව හා නැතිව මෙම අලි ඇතුන් විනාශ කිරිම හා ඇතුන් මරා දළ ලබා ගැනීම සිදුකරමින් සිටී.

මෙම ඇතැම් සිදුවීම් වළදී වනජීවී අමාත්‍යවරුන් හා උසස් නිලධාරීන්ද ඒවාට සම්බන්ධ වූ අවස්ථාවන් ගණනාවක් පසුගිය කාලය පුරා අපට දකන්ට ඇත.

අලි ඇතුන් ඝාතනය කර පැටවුන් පැහැර ගැනීම, ඇත්දළ ලබාගැනීම හා අනෙකුත් කොටස් ලබාගෙන එ්වා ළඟ තබා ගැනීමෙන් හෝ ඒවාට වන්දනාමාන කිරීමෙන් සෞභාග්‍ය උදාවෙන බව සිතනා ගව මහීෂාදීන් ලංකාවේ පමණක් නොව ලොව පුරාම සිටිති. ඔවුන්ගේ එම ආශාවන් සංසිඳවීම සඳහා ආසියානු අලින් හා අප‍්‍රිකානු අලින් වසරකට ලක්ෂ ගණනක් ඝාතනය කරන අතර ඇත්දළ හා අනෙකුත් අස්ථි කොටස් එලෙස අලි ඇතුන් ඝාතනය කිරිමෙන් ලබාගනී.

ඇමරිකානු මත්ස්‍ය හා වනජීවී සේවය පවසන අන්දමට 2011 සිට 2014 දක්වා ඇත් දළ ලබාගැනීම සඳහා අප‍්‍රිකානු අලින් 100,000 කට වඩා ඝාතනය කර ඇති අතර අසියානු ඇතුන් 40,000 ක් පමණ ඝාතනය කර ඇත. මෙම වාර්තා වූ ප‍්‍රමාණයන්ට අමතරව තවත් ඕනෑතරම් දළ ලබා ගැනිමට අලි ඇතුන් ඝාතනය කරන්නට ඇත.

ලොව වැඩි වශයෙන්ම ඇත්දළ ලබා ගැනිම සිදු කරන්නේ චීනය විසිනි. ඒ ශක්තිය වැඩිකර ගැනීම වෙනුවෙන් ඖෂදයක් ලෙස පානය කිරිමටත් ලඟතබා ගැනීමෙන් වසනාව උදා වෙනවා යැයි සිතා ඇත්දළවලින් කළ විවිධ නිර්මාණ ලග තබා ගැනිමටත්ය. එය ලංකාවේ අලි ඇතුන් ඝාතනය කර පැටවුන් පන්සල්වලට හා පෙරහැරවලට ගෙනයාම හා සමානම දෙයකි.

චීනයට අමතරව ඇමරිකාව, ඉන්දියාව, යුරෝපීය රටවල් ඇතුළු ලෝකයේ බෝහෝ රටවල්වල විවිධ කණ්ඩායම් මෙම ඇත්දළ ජාවරම්වල යෙදී සිටින අතර කොටින්, ගෝරිල්ලන් හා රයිනෝ වැනි සතුන්ගේද අස්ථි කොටස් විකිණිමේ මහා ජාවරම් අද වනවිට ලොව පුරා සිදු වෙමින් පවතී.

එක්සත් රාජධානියේ ද ගාර්ඩියන් (The Guardian) පුවත් සේවය පවසන්නේ සැම වසරකම බොකෝ හරාම්, ලෝර්ඩ් රෙසිස්ටන් ආමි, අල් ශබාබ් වැනි (Boko Haram, the Lord’s Resistance Army and al-Shabaab) ත‍්‍රස්ත කණඩායම් ඩොලර් මිලියන දහනවයකට වැඩි ආදයමක් සත්ව හා ශාක කොටස් අලෙවියෙන් ලබා ගන්නා බවත් එයින් විශාල ප‍්‍රමාණයක් ඇතුන් මරා ලබාගන්නා දළ හා අස්ථි කෙටස් බවත්ය.

එම නිසා ලොව පුරා සිදුවන මෙවැනි සත්ව හා ශාක කොටස් විකිණීම පාලනය කිරීම වෙනුවෙන් 1960 වන විට ලොව රටවල් ගණනාවනක මැදිහත්වීමෙන් සයිටීස් සම්මුතිය (the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora) සම්මත කරගත් අතර ජාත්‍යන්තරව සිදුවන සත්ව හා ශාක වෙළඳාමෙන් සතුන් හා ශාක ආරක්ෂා කර ගැනිමට මෙයින් අපේක්ෂා කරයි.

ශ‍්‍රී ලංකාවද 1979.05.04 දින සිට මෙහි සාමාජික රටක් වන අතර 1979.08.02 දින සිට සම්මුතිගත වූ ආකාරයට අනුව කටයුතු කල යුතුය. නමුත් ලොවට එකක් පෙන්නා තම තමාගේ දේශපාලන සම්මුතින්ට වැඩ කිරීම තුළ මෙරට සත්ව ඝාතන දිනෙන් දින ඉහළ යමින් තිබේ.

සයිටීස් සම්මුතිය මගින් සත්ව විශේෂ 5,600 කට සහ ශාක විශේෂ 30,000 කට අවරණය සපයන අතර සම්මුතියට අනුව අලි ඇතුන් හා ඔවුන්ගේ අවයව වෙළඳාම තහනම් ක‍්‍රියාවලියකි.

මෙරට අලි ඇතුන් ඇතළු සතුන් ඝාතනය වැලැක්විය හැක්කේ වනජීවී අමාත්‍යංශය කොන්ද කෙලින් තබා හිටගන්නේ නම් පමණි. වනජීවී අමාත්‍යවරු ඇතුළු උසස් නිළධාරීන් විසින් සතුන් වෙළද භාණඩ ලෙස දකින විට ලංකාවේ ඇලි ඇතුන් තබා මැස්සෙක්වත් ඉදිරියට ඉතිරි කර ගැනීමට හැකි නොවේ.

සොබාදහමට ආදරය කරන සියළු දෙනා එක්වීමෙන් මිසක මෙම විනාශකාරි තත්වය පාලනය කරගත නොහැකි අතර එසේ නොවන තාක්කල් දළපූට්ටුවා වැනි තවත් ඇතුන් මෙලෙස ගොදුරු වීම වැළක්විය නොහැකි වනු ඇත.

රවීන්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top