Dec 05, 2016

"මිනිසුන් පය ගසන පොළොව කිසිවකු විකුණන්නේ නැත" Featured

තම ඉඩම වෙනුවෙන් ‘‘මරාගෙන මැරෙන’’ මිනිසුන් ගැන අසා නැතිද? අපේ රටේ වැඩිමනත් සිවිල් නඩු ඇත්තේ ඉඩම් හබ හේතුවෙනි.සියයට 80 ක් පමණ යැයි කියති. ඒ පෞද්ගලික ඉඩම් අයිතිය වෙනුවෙන් ඇති නඩු හබය. එහෙත් ප‍්‍රජාවක් වෙනුවෙන්, පොදු අනන්‍යතා අයිතීන් වෙනුවෙන් තම පාරම්පරික ඉඩම් බේරා ගැනීමට සටන් වදින මිනිසුන්ද ඇත.

මෙය ලියන්නට පටන් ගත් මොහොතේ (දෙසැම්බර 03) ඇමෙරිකාවේ උතුරු ඩැකෝටාවේ සිට ඉලිනොයිස් දක්වා ෆෙඩරල් ප‍්‍රාන්ත 04 ක් හරහා දිවෙන ඉන්ධන නලයක් සම්බන්ධව එවැනි ජනතා විරෝධයක් පුපුරු ගැසෙමින් ඇත. ඒ නල මාර්ගය කි.මී.1,886 ක් දිග ය. එය හරහා දිනකට බොර ඉන්ධන බැරල් 4,70,000 ක් ප‍්‍රවාහනය කරනු ඇත. එහි අපේක්ෂිත ආයෝජනය ඩොලර් මිලියන 3,700කි. ඇමෙරිකාවේ ටෙක්සාස්හි යෝධ ඉන්ධන සමාගමක් වන එනජි ට‍්‍රාන්ස්ෆ පාර්ට්නර්ස් සතු ඩැකෝටා ඇක්සෙස් සමාගම හිමිකරුය.

එම සමාගමට අනුව 2014 සිට ඔවුන් අවශ්‍ය සිය පාරිසරික හා නීතිමය කොන්දේසි සපුරා ෆෙඩරල් ප‍්‍රාන්ත 04 න්ම එම ව්‍යාපෘතිය වෙනුවෙන් අවසර ලබා ගෙන ඇත. ඔවුන්ගේ ප‍්‍රකාශයකට අනුව, ඉන්ධන නලය ඉදි වෙන පෞද්ගලික ඉඩම්වල අයිතිකරුවන් දහසකට වැඩි පිරිසක් සමගද පවරා ගැනීමේ කැමැත්ත ප‍්‍රකාශ කෙරෙන ගිවිසුම් සම්පූර්ණ කර ඇත. මේ වනවිට ව්‍යාපෘතියෙන් සියයට 80 ට වැඩිය අවසන් යැයි සමාගම නිවේදනය කර තිබිණ. ඒ අතර ෆෙඩරල් බලධාරීන් ‘‘ඔහාඒ වැව’’ දෙපස කි.මී. 20 ක දුරින් සිට ෆෙඩරල් ඉඩම්වල ඉන්ධන නලය ඉදිකිරීම තාවකාලිකව නවතන්න යැයි සමාගමෙන් ඉල්ලීමක් කර ඇත.

මහ පොළොව සහ මිනිසා අතර සම්බන්ධය නීතියට හසු නොවන්නකැයි ඇමෙරිකාවේ රතු ඉන්දීය ගෝත‍්‍රික සමාජයක් වන ‘‘සියුක්ස්’’ ගෝති‍්‍රකයන් කියන්නේය. ඩැකෝටා ඉන්ධන නල විරෝධයට මුල් වන්නේ ඔවුන්ය. කැනන් බෝල් ප‍්‍රදේශයේ ස්ටැන්ඩිං රොක් වනරොද හා අවට රක්ෂිතය වෙන්කර
ඇත්තේ ඔවුන්ගේ පාරම්පරික භූමිය ලෙසය. විරෝධය ගොනුව ඇත්තේ ස්ටැන්ඩිං රොක් තැන්නෙහි ය. විරෝධයට හවුල්වන පිරිස් කඳවුරු ලා ඇති ස්ථානය දැන් හඳුන්වන්නේ ‘‘ශුද්ධවූ ගිරිකුල කඳවුර’’ (Sacred Stone Camp) යනුවෙනි. එයට දිවෙන ගුරු පාර දෙපස ඇමෙරිකානු රතු ඉන්දීය ගෝති‍්‍රක කොඩි ලෙල දෙති. මේ ඉන්දීය ගෝති‍්‍රකයින්ගේ මූලික චෝදනා දෙකකි. පළමුවැන්න ඔවුන්ගේ ප‍්‍රධානම ජල සැපයුම වන මිසූරී නදියේ ජල රඳනයක් වන ‘‘ඔහාඒ වැව’’ යටින් ඉන්ධන නලයක් ගෙන යාම ඔවුන්ගේ ජලයට පාරිසරික තර්ජනයක් විය හැකි බවය. දෙවැන්න ඒ පොළොව හා බැඳී ඇති ඔවුන්ගේ පාරම්පරික සංස්කෘතික ජීවිතයට ආගමික බිම් පෙදෙස් හා මියගියවුන් මිහිදන් කෙරෙන භූමි ප‍්‍රදේශ අහිමි කෙරෙන බවය.

පසුගිය අපේ‍්‍රල් මාසයේ කුඩා පිරිසක් විසින් ආරම්භ කළ විරෝධය මේ වන විට ජාත්‍යන්තර අවධානයට ලක් වූවකි. ස්ටැන්ඩිං රොක් තැන්නෙහි කූඩාරම් අටවා ගෙන සිටිනවුන් මේ වනවිට 1,000 ට වැඩි යැයි වාර්තා වේ. මේ අධික හීත වැසි හා සුළං වලට ලක්වන කාලයකි. දෙසැම්බර 15 දින පසුවන විට සෙල්සියස් සෘණ 15 පමණ දක්වා උෂ්ණත්වය පහත බහින්නේ යැයි ‘‘වෙද ඩොට් කොම්’’ නමැති
කාලගුණික වෙබ් අඩවිය ප‍්‍රකාශ කර ඇත. එබැවින් ඩැකෝටා ආණ්ඩුකාරවරයා විසින් විරෝධතාකරුවන්ට දෙසැම්බර 05 වන දිනට පෙර ඉවත් වන ලෙස නියෝග කර ඇත. ඉන් පසු ඔවුන්ගේ කඳවුරට ආහාර හා වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ප‍්‍රවාහණය කරන ට‍්‍රක් රථ හා කන්ටේනර් වලට ඩොලර 1,000 ක දඩයක්ද නියම කර ඇත.

බලධාරීන්ගේ නියෝග නොතකා අධි ශීතය ඔරොත්තු දෙන ආකාරයේ පාරම්පරික ටෙපීස් කූඩාරම් වර්ග එහි ඉදි වෙමින් ඇතැයි ‘‘සී.එන්.එන් සහ හෆ්පෝස්ට්’’ මාධ්‍ය වාර්තා දක්වයි. ඒ මිනිසුන් ආණ්ඩුකාරවරයාගේ නියෝගය පමණක් නොව, ඔරොත්තු නොදෙන අධික සීතලද අභියෝග කිරීමට සූදානම් වෙමින් ඇත. ඔවුන්ගේ හයියට වෙනත් රතු ඉන්දීය ගෝති‍්‍රක පිරිස්ද හවුල්ව ඇත. ඔවුන්ගේ මහ පොළොව වෙනුවෙන් ඔවුන් ඇමෙරිකානු රාජ්‍ය සමග හැපෙන්නට මැලි නොවන බව ඒ සියල්ලෙන් කියැවෙන්නේය.

විරෝධතාවයට හවුල් වන්නට පැය 17 ක දුර ගමන් කර පැමිණි රතු ඉන්දීය තරුණියක් වන ජෙසී විඑකී ‘‘එන්. පී. ආර්. පුවත්පතේ ජෙෆ් බ‍්‍රැඩි සමග කියා තිබුණේ ‘‘පාරම්පරික වැසියන් ලෙස අපට මේ පොළොවට තියෙන අයිතිය වෙනුවෙන් ගොනුවන විරෝධයයි මේ. මෙය අපට වැඳ පුදන්නට ඇති අයිතිය පිළිබඳ අපගේ ප‍්‍රකාශණයයි. මෙය අපට අපේ යැයි කියන්නට තිබෙන පාරම්පරික භූමියට ඇති අයිතිය පිළිබඳව හා අපේ ජලයට අපට ඇති අයිතිය අපි කියාපාන විරෝධයයි’’ කියා ය.

නූතන සමාජයේ පෞද්ගලික අයිතිය හා පාරම්පරික ජනතාවකගේ පරම්පරාගත බුක්තිය අතර මේ ගැටුම තේරුම් ගන්නේ කෙසේද?

ජෝන් ටෲඩල් ජනපි‍්‍රය රතු ඉන්දීය කවියෙකි. නළුවෙකි. රතු ඉන්දීය ජනතාවගේ අධ්‍යාත්මය ඔහුගේ නිර්මාණ වලට ගොනු කෙරුවෙකි. ඔහු විසින් රචිත ඉතා ජනපි‍්‍රය කවියක් රතු ඉන්දීය ජනතාවගේ පොදු අනන්‍යතාව ඉස්මතු කරන්නෙකි. ඒ කවිය නම් කෙරෙන්නේ ‘‘විකාර අශ්වයා’’(CrazyHorse) යනුවෙනි.එම කවිය ගැන ජෝන් ටෲඩල් වරක් ලියූ ඉතා දාර්ශනික විවරණයක මෙවැන්නක් ඇත.

‘‘අපගේ මුල් සිහිනයේ අප ජීවත් වු ඒ අතීතයට ගිය විට අප සිය දෙන ගෝති‍්‍රක සාමාජිකයින් වූ අතර මේ මහ පොළොවේ දරුවන් වීමු. මේ මිහිකත අපගේ මව් වු බැව් අප සියල්ලෝම දැන සිටියෙමු. අපි අධ්‍යාත්මික යතාර්ථයක කොටස්කරුවන් වීමු. අපි අධ්‍යාත්මික යතාර්ථයක භෞතිකය වීමු. අද අප
කවුරුන් වූවත් අප තවමත් අපගේ පරම්පරාගත ජාන රැගෙන එන්නෙමු. එය අපගේ ජානගත මතක ගොන්නක් වැනිය. ඒ අතර කොතැනක හෝ අප අධ්‍යාත්මික යතාර්ථයක බිහිවූවන් යැයි මතකයක් අප අතර ඇත. ඒ මතකය නිසා අපගේ ආරම්භක පරම්පරාවන් ඔවුනට වගකීමක් ඇති බව තේරුම් ගත්හ. ඉතිං අප හැමෝම අතීතයටත් අනාගතයටත් එනිසාම වර්තමානයටත් වග කියන්නෙමු. එනිසා අප හැමෝම අප කවරහුද යනු දනිමු. අප කියන්නේ මොනවාදැයි තේරුම් ගනිමු. අපි කොහේ සිටියේදැයි දනිමු. අපි අපගේ අර්ථය දනිමු. මේ යතාර්ථය අපගේ ජානගත මතකයේ ජීවත් වන්නකි. තාක්ෂණයේ
අරමුණ වන්නේ අපගේ මේ යතාර්ථය මකා දැමීම ය. අපව බල රහිත කිරීමය. එහෙත් පාරම්පරික බලය සැබෑවකි.’’

ටෲඩල් ඒ තාක්ෂණික පරිවර්ථනය ඇමෙරිකානු රතු ඉන්දීය ජනතාවක් ලෙස ඔවුන්ට බලපාන අයුරු එහිම විශ්ලේෂණයක යෙදෙන්නේ මෙලෙසින් ය. ‘‘තාක්ෂණික ශිෂ්ටාචාරය අප ජීවිතයට කඩා වැදුනු බලහත්කාර ආක‍්‍රමණිකයෙකි. අද, තමන්ගේ ජීවිතයෙන් කුමක් හෝ දෙයක් අත හැරී ඇතැයි සිතෙන කී දෙනෙකු ඇති ද? ජීවිතයේ අරමුණක්, අවබෝධයක් හෝ ආත්මීය වටිනාකමක් වැනි දේ අත හැරී ඇතැයි සිතන අය? ‘ආත්මය’ මනුස්සයාට කතා කරන්නේ හැ`ගීම් ඇසුරෙනි. නමුත් අද ආත්මීය පැවැත්ම අහෝසි කර ඇති හෙයින් බොහෝ මිනිසුන් දුබලයින් බවට පත්ව ඇත.’’

මෙය එක්තරා ආකාරයකට අපගේ වැනි විවෘත නිදහස් වෙළඳපල ආර්ථිකයන්හී හුදු පාරිභෝගිකයින්ගේ යාන්තී‍්‍රකරණය වූ ජීවිත විස්තර කරන්නකි. එය එනිසාම උතුරු හා නැගෙනහිර පුරවැසියන් ඔවුන්ගේ ඉඩම් වෙනුවෙන් නගන හඩ දකුණේ සිංහල පාරිභෝගිකයින් තේරුම් නොගැනීම අවබෝධ කර ගැනීමට ප‍්‍රවේශයකි. යුද්ධය හේතුවෙන් උතුරේ මානසිකය දකුණේ තරම් උග‍්‍ර පාරිභෝගීකරණයකට ලක්ව නැත. එනිසාම ටෲඩල් කියන ඔවුන්ගේ යතාර්ථය තවමත් මැකී නැත.

‘‘විකාර අශ්වයා’’ කවිය ලියැවෙන්නේ එවැනි දාර්ශනික පිවිසුමක් සමගින්ය. වසර 200 ට පමණ පසු එම කවිය යෝධ විරෝධයකට ජීවය දුන්නකි. ඇමෙරිකානු රතු ඉන්දීය සමාජය 1800 ගණන් වලින් පසු නොවැම්බර 05 වන දින ඔවුන්ගේ පාරම්පරික චාරිත‍්‍රානුගත විරෝධයකට මුල පිරූහ. ඔසෙටි සකොවින් සත් මණ්ඩලය රැුස්ව ඔවුන්ගේ පාරම්පරික විශ්වාසය මත විරෝධතා ගිණි සිළුව යළි දැල්වූහ. එය අඩ වක හැඩයට කඳවුරු 07 ක් තහවුරු කර විරෝධතා ගිණි සිළුව පත්තු කරන චාරිත‍්‍රයකි. එයට සහභාගි වන්නට ඇරිසෝනා හි සිට සැතපුම් 1,200 ක් ගෙවා අශ්වාරෝහකයින් 200 ක්ද ධාවනකරුවන් 50 ක්ද පැමිණියහ. එය ඔවුන්ගේ විශවාසයන්හී පාරම්පරික ශක්තිය යැයි ඔවුහු කීහ.

ඒ ශක්තිය ඔවුන්ගේ යුග පුරුෂයෙකු ලෙස සැළකෙන ජෝන් ටෲඩල් ‘‘විකාර අශ්වයා’’ යැයි කවියට නගා ඇත. දිගු කවියක් වන එහි ආරම්භය මෙවැනිය.

විකාර අශ්වයා, ඔබ කියන දේ ඇසේ,
‘‘එක මහ පොළොවක්. එක මවක්.
මිනිසුන් පය ගසන පොළොව නැත විකුණන්නේ කිසිවකු’’
අප ය මහ පොළොව
මව විකුණන්නේ කෙසේද?
තරු විකුණන්නේ කෙසේද?
සුළග විකුණන්නේ කෙසේද?
විකාර අශ්වයා, ඔබ කියන දේ ඇසේ.....
........... තමන්ගේ අවකාශය
අල්ලාගත් පිරිසකි අනවශ්‍ය
පිරිසකි වැරදි වෙනුවෙන් සිටිනා
සහෘදයාගේ උවණත
ඇත ඔහුට වාර්ගික අනන්‍යතාවක්
........ මෙකල මිනිසුන් නැත සළකන්නේ මිනිසුනට
මේ කාලයක් අසීරු
භෞතිකය සියල්ල - භෞතිකය අස්වැන්න
බන්ධනය සරසන දම්වැල, දිලෙන්නකි රන් විලස
මිනිසුනට නැත ප‍්‍රකෘතියක් දැන්
විකාර අශ්වයා, ඔබ කියන දේ ඇසේ.....

අප ‘‘මිහිකත’’ යැයි කියන්නේද ‘‘මාතෘ භූමිය’’ යැයි කියන්නේද ඒ හා සමාන අරුතකින්ය. එහෙත් ටෲඩල් කියන්නා සේ මේ ප‍්‍රකෘතියක් නැති අසීරු කාලයකි. මව් බිම විදේශිකයින්ට අලෙවි කිරීමට විරුද්ධවන පාරම්පරික ජානගත මතක ශක්තියක් දකුණේ ඉතිරිව නැත. එනිසාම අපි උතුරු නැගෙනහිර ජනතාවටද එවැනි අයිතියක් ඇතැයි නොපිළිගනිමු. ඔවුන් ඔවුන්ගේ පාරම්පරික ඉඩම් ඉල්ලීම අපට අදාල නොවන්නේ යැයි අප සිතන්නේ එබැවින් ය. අපි පාරිභෝගික මරණයකට ලක්ව ඇත්තෙමු. රතු ඉන්දීය විකාර අශ්වයාගේ කතාව ඊට වෙනසි. මෙය ලියා අවසන් කරන විට (දෙසැ. 05) ඔවුන්ගේ විශ්වාසය මත දියත් කළ සටනින ් ඔවුන් ඔවුනගේ පොළොව යළි දිනාගෙන ඇත. ඩැකෝටා ෆෙඩරල් පාලනය නල මාර්ගය වෙනස් කිරීමට එකගව ඇත.

කුසල් පෙරේරා
ලක්බිම
2016 දෙසැම්බර 05

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top