Dec 06, 2016

අපේ රුපියල 2.6% කින් පිරිහිලා

මෙම වසරේ (2016) මුල සිට පසුගිය නොවැම්බර් 28 දින දක්‌වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 2.6 කින් පිරිහීමට ලක්‌ව ඇතැයි මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථීක පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වෙන පරිදි රුපියල යුරෝවලට සාපේක්‌ෂව සියයට 0.3 කින්ද, ජපන් යෙන්වලට සාපේක්‌ෂව සියයට 9.8 කින්ද, කැනේඩියානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 5.4 කින් සහ ඕස්‌ට්‍රේලියානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 4.9 කින්ද පිරිහී ඇත.

මේ අතර ශ්‍රී ලංකා රුපියල ස්‌ටාර්ලින් පවුමට සාපේක්‌ෂව සියයට 15.4 කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්‌ෂව සියයට 0.2කින් මේ කාලය තුළ ශක්‌තිමත් වී ඇතැයිද එහි  සඳහන්ය.

ඩොලරය රු. 160 ට යනවා :

මේ අතර ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුයේ, ඉදිරි මාස තුන හතර ඇතුළත ඇමරිකානු ඩොලරයක අගය 160 ඉක්‌මවා යනු ඇති බවයි.

මේ දිනවල විදේශ සේවා නියුක්‌තිකයනුත් ශ්‍රී ලංකාවට මුදල් එවීම අඩුකර ඇති බවද එසේ විදේශ විනිමය තැබීම් ඇතුළු රජයේ දුර්වල ආර්ථික කළමනාකරණය නිසා මෙසේ රුපියලේ අගය දිගින් දිගටම අඩුවෙමින් තිබෙන බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා එහිදී පැවැසීය.

'' වරක්‌ මුදල් ඇමැතිතුමා කිව්ව ඇමරිකානු ඩොලරය සතියක්‌ ඇතුළත රු. 130 ට ගේනව කියල. එහෙම ඇමැතිතුමා කිව්වට මහ බැංකුවට ඒක කරන්න බෑ. ඒක වෙළෙඳපොළ බලවේග අනුව තීරණය වන දෙයක්‌. ඊට එරෙහිව මැදිහත් වන ක්‍රමය තමයි සංචිතය සතු ඩොලර් වෙළෙඳපොළට දාන එක.

එනම් මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළේ ඩොලර් විකිණීමයි. එවිට විදේශ සංචිතය අඩුවෙනවා. 2014 දී ඇමරිකානු ඩොලර් බිලියන 8.2 ක විදේශ සංචිත තිබුණා. දැන් එහෙම සංචිත නෑ. 2015 වසරේ දී පමණක්‌ රුපියල බේරා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3.2 ක්‌ වෙළෙඳපොළට දැම්මා.

 රුපියල බේරාගත නොහැකි වී ඇති බවත් දැන් ඩොලරයක අගය රු. 150 ද ඉක්‌මවා ගොස්‌ ඇති බවත්'' බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top