Dec 06, 2016

විලාසිනීලා, සරත්ලා සුදුරෙදි හොකමේ යන්නේ ලේකම්ලා නොදැනද ?

සළුසල ආයතනය උපයෝගී කරගනිමින් සිදු කිරීමට සැලැසුම් කළ පාසල් නිළඇඳුම් වංචාව පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ වරද වසා ගැනීමට නාවල ජනාධිපති බාලිකා විදුහලේ විදුහල්පතිනියගේ ද වැඩ තහනම් කර ඇති බව ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එස්.එස්. හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් 2016.09.26 දිනැති EDS 11/161/05/16/02 අංකයෙන් යුතු ලිපියකින් සියලූම පළාත් අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු හා විදුහල්පතිවරු දැනුවත් කර ඇත්තේ නිළ ඇඳුම් තිළිණ පත් මඟින් දුෂ්කර, අතිදුෂ්කර හා හුදකලා පාසල්වල දරුවන්ට නිළ ඇඳුම් ලබා ගැනීමට නාගරික ප්‍රදේශවලට යාමට ඇති අපහසුව සලකා රජයේ ආයතනයක් වන ලංකා සළුසල ආයතන විසින් එම ප්‍රදේශවලට ගොස් රෙදි අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බැවින් තරඟකාරී මිල ගණන් යටතේ මෙම ආයතනයෙන් රෙදිපිළි සපයා ගැනීමට හැකිවන පරිදි දෙමව්පියන් දැනුවත් කරන ලෙස ඉන් දන්වා තිබේ.

අදාළ ලිපිය පහත දැක්වේ.

Letter1 600px 16 12 06

ලංකා සළුසල ආයතනය 2016.07.13 දිනැති අමප/16/1194/028 අංකයෙන් යුතු අමාත්‍ය මණ්ඩල තීරණයකින් එහි සේවකයන් ස්වේච්ඡා වන්දි ක්‍රමයක් යටතේ විශ්‍රාම ගන්වා ඇති අතර, මේ වන විට එම ආයතනයේ සේවය කරන්නේ සේවකයින් 19 ක් පමණි.

එවැනි පසුබිමක අධ්‍යාපන ලේකම්වරයාගේ ඉහත ලිපියට අනුව ලංකා සළුසල නමින් සරත් පතිරණ නමැති පුද්ගලයෙකු නිළ ඇඳුම් රෙදි ව්‍යාපාරයක නියැලෙන බව ලංකා ගුරු සංගමය 2016.11.24 දිනැතිව ගරු ජනාධිපතිවරයාට ද, විශේෂ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ද පැමිණිලි කොට ඇත.

එසේ තිබියදී මෙම පුද්ගලයින්ගේ රෙදි ජාවාරම වැලැක්වීම වෙනුවට අධ්‍යාපන බලධාරීන් සිදුකර ඇත්තේ නිළ ඇඳුම් තිළිණ පත් ලබාදීම වෙනුවට ළමුන්ගේ කැමැත්ත මත අධ්‍යාපන බලධාරීන්ගේ උපදෙස් අනුව සළුසල ආයතනයෙන් රෙදි ලබාදීම නිසා මහනුවර බද්යුද්දීන් මොහොමඞ් බාලිකා විදුහලේ විදුහල්පතිනියගේ ද, 2016.12.05 දින නාවල ජනාධිපති බාලිකා විදුහලේ විදුහල්පතිනියගේ ද වැඩ තහනම්

නාවල ජනාධිපති බාලිකා විදුහල සම්බන්ධ සිදුවීමේදී සළුසල ආයතනය නමින් සිටින මෙම ජාවාරම්කරුවන් ලංකා සළුසල ලිපි ශීර්ෂය යොදාගෙන එස්එස්/සීඑච්/56/18 අංකයෙන් යුතු 2016.11.10 දිනැති ලිපියකින් කෝට්ටේ ජනාධිපති බාලිකා විදුහලේ විදුහල්පතිනිය අමතමින් යවන ලද ලිපියේ දක්වා ඇත්තේ අධ්‍යාපන ලේකම්වරයාගේ ඉහත ලිපියට අනුව තමන් නිළ ඇඳුම් රෙදි සපයන බවත්, අදාළ ලිපියේ සඳහන් පාසල්වලට අමතරව අනෙකුත් පාසල් සඳහා ද රෙදි අලෙවි කිරීමේ කටයුතු සලසා ඇති බවත් ය.

අදාළ ලිපිය පහත දැක්වේ.

Letter2 600px 16 12 06

එම ලිපියට සම්බන්ධීකරණ නිලධාරී පාසල් නිළ ඇඳුම් ව්‍යාපෘතිය ලංකා සළුසල නමින් නමක් රහිතව අත්සනක් පමණක් යොදා ඇත.

එම ලිපියේ සළුසල දුරකතනයන්ට අමතරව සරත් පතිරණ නමැති පුද්ගලයාගේ දුරකතන අංකය මෙන්ම විලාසිනී නමැති නමකින් යුත් දුරකතන අංකයක් ද දක්වා ඇත.

සළුසල කේස් අධ්‍යෂිකා, රිෂාඩ්ගේ අමාත්‍ය ලේකම් ළඟ ? යනුවෙන් පුවතක් පලකරමින් වංචා චෝදනාවක් එල්ලව සිට කැමැත්තෙන් විශ්‍රාමගිය තැනැත්තියකට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා එම අමාත්‍යංශයේ ලේකම්වරියක ලෙස බඳවාගෙන ඇතැයි ශ්‍රී ලංකා මිරර් මීට පෙර හෙළි කළේය.

අධ්‍යාපන ලේකම්වරයාගේ ආවරණ ලිපියක් සමග රාජ්‍ය ආයතනයක් වන සළුසල ලිපි ශීර්ෂයෙන් ලිපියක් යොමුවීම තුළ මෙම විදුහල්පතිනිය පාසලේ කැමති ළමුන් පිරිසකට සළුසලෙන් නිළ ඇඳුම් රෙදි ලබා ගැනීමට අවකාශ සලසා ඇත.

අදාළ ලිපිය පහත දැක්වේ.

කෙසේවුවද, සළුසල නමින් සිදුකොට ඇති මෙම වංචා සහගත ක්‍රියාව සහ ඊට අනුබල දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් පියවර ගැනීම වෙනුවට විදුහල්පතිනියන්ට විරුද්ධව පියවර ගැනීම කනගාටුදායක තත්වයක් බව ලංකා ගුරු සංගමය කියා සිටී.

අධ්‍යාපන බලධාරීන්ගේ වැරදි වසා ගැනීම සඳහා සිදුකොට ඇති මෙම විදුහල්පතිනියන්ගේ වැඩතහනම වහාම ඉවත් කොට දූෂිතයටන්ට දඬුවම් කරන ලෙසත්, ඉදිරි වර්ෂයේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පිහිටුවා ඇති ජාතික ප්‍රසම්පාදන කොමිසම හරහා විධිමත් ටෙන්ඩර් කැඳවා නියමිත ක්‍රමවේචයකට අනුව පාසල් නිළ ඇඳුම් ලබාදෙන ලෙසත් ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top