nsb

Dec 08, 2016

'මහින්ද ජාතිවාදී වේසයෙන් ප්‍රහාරයක' - බාහු (වීඩියෝ) Featured

හිටපු ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා සංශෝධන විරෝධය, ජාතිවාදී වේසයෙන් සිය අනුගාමිකයන් ඇවිස්සීමේ වැඩ පිළිවෙලක් බවට නව සම සමාජ පක්ෂයේ නායකයා අනතුරු අඟවයි.

“හදිසි ව්‍යවස්ථා සංශෝධනය නොකියා රට බෙදීමක්” ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් කරනු ලබන හැඳින්වීම තුලින් ඔහුගේ සහචරයන්ට එය තවදුරටත් දරුණු ජාතිවාදයකට, ආගම්වාදයකට පෙරලා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව නව සම සමාජ පක්ෂයේ (නසසප) නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

බලය බෙදා රට එක්සත් කළ යුතු බවට වන යෝජනාවක් අලුත් ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමේ හැකියාවක් පවතින බවට විශ්වාසය පල කරන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසන්නේ, එම වෑයම කඩා කප්පල් කිරීමේ අරමුණෙන් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවයි.

පැසිස්ට්වාදීන්ට ඇපදීම :

පසුගිය දිනෙක තමන් ‘ද්‍රෝහියකු’ බවට පරුෂ ලෙස චෝදනා කරමින් ප්‍රචණ්ඩ ලෙස පුද්ගලයකු පහර දුන්නේ එහිම ප්‍රතිපලයක් ලෙස බව ඔහු සදහන් කර සිටියේ ඊයේ (07) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

නසසප නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාහට තලවතුගොඩ 'සනෝරා' අවන්හලේදී මනෝජ් බුද්ධික හේමචන්ද්‍ර නැමැත්තා පහර දී තිබුනේ පසුගිය 24 බ්‍රහස්පතින්දා දිනය.

එවැනි පුද්ගලයෙක් ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කිරීම ප්‍රශ්න කළ ආචාර්ය වික්‍රමබාහු මහතා, අවධාරණය කරන්නේ යෝජිත ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටින තමන් වැන්නකුට පහර දීම සමථ මණ්ඩලයකට යොමු කිරීම අමනෝඥ ක්‍රියාවක් ලෙසයි.

යෝජිත ව්‍යවස්ථාවට විරුද්ධව ජනතාව පොළඹවමින් රට තුළ ෆැසිස්ට් වාදය ක්‍රියාත්මක කරමින් පහර දෙන කණ්ඩායම් සමථ මණ්ඩලයකට යොමු කරන ලෙස මහේස්ත්‍රාත් වරයෙක් සදහන් කරන්නේනම් රටේ ජාතික ප්‍රශ්නයත් සමථ මණ්ඩලයකට යොමු කර විසඳාගත හැකි බව වාමාංශික නායකයා සදහන් කළේ උපහාසයෙනි.

ජයම්පතිටත් දුරකථනයෙන් මරණ තර්ජන :

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාට ද දුරකථනයෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව ද පෙන්වු දුන් ආචාර්ය වික්‍රමබාහු කරුනාරත්න මහතා සදහන් කළේ; එයද ජාතිවාදීන්ගේ ක්‍රියාවක් බවයි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුව විසින් රජයට භාරදී ඇති වාර්තාවෙන් නිර්දේශ කොට ඇත්තේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස දිගටම පවත්වාගෙන යා යුතු බවයි.

යෝජිත ව්‍යවස්ථාව රට බෙදන්නක් බවට චෝදනා කරමින් සිංහල ජනතාව හමුවේ විරෝධතා මතු කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඉකුත් ඔක්තෝබරයේ කොළඹදී දෙමළ මාධ්‍යවේදීන් හමුවේ හෙළි කොට සිටියේ බලය බෙදීම සම්බන්ධයෙන් එහි අඩංගු වන්නේ කුමක්දැයි තමන් දන්නේ නැති බවයි.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top