15976 BM WEB BANNER 01
Dec 08, 2016

'නව ව්‍යවස්ථාව පැහැදිලි ජනමතයකින් පමණයි' -ජනපති Featured

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගෙන එන්නේ පැහැදිලි ජනමතයක්‌ ඇතිව සහ උගතුන් හා බුද්ධිමතුන්ගේ අදහස්‌ අධ්‍යයනය කරමින් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ආරක්‌ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ අයවැය විවාදයට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ ජනතාව අතර අනවශ්‍ය බියක්‌ ඇති කරමින් තිබෙන බව පවසන ජනාධිපතිවරයා,
යළි බලය ලබා ගැනීමේ අරමුණින් එසේ වැරදි මත පැතිරවීමෙන් සිදුවන්නේ ජනතාවට අනාගතයේදී යළි දුක්‌වීමට බව සඳහන් කළේය.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ ඇතැමුන් ඉදිරිපත් කරන වැරදි මත ජනතාව නොමග යවන සුළු ඒවා බවද කී ජනාධිපතිවරයා, නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ ඉදිරිපත්ව තිබෙන කමිටු වාර්තා තවම සාකච්ඡා මට්‌ටමේ පවතින බවද කීවේය.

මෙතෙක්‌ එකී කරුණු පිළිබඳ කිසිදු එකඟත්වයක්‌ නොමැති තත්ත්වයකදී සියල්ල යළි සකස්‌ කරමින්, සංශෝධනය කරමින් ජාතියේ සුබ සිද්ධිය සඳහා වගකීමකින් යුතුව කටයුතු කරමින් සිටිද්දී සිතිවිලිවලට එකඟව කටයුතු කිරීම වැදගත් බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය.


මල්ටි බැරල්වලින් කළහැකි දේ අවමයි :


ශ්‍රී ලංකා ජනරජයේ හමුදාව ශක්තිමත් කිරීමට මිස දුර්වල කිරීම වෙනුවෙන් කිසිඳු තීන්දුවක් ගෙන නැතැයි ද ජනාධිපතිවරයා සිය කතාවේදී අවධාරණය කළේය.

පසුගිය කාලයේ දී ආරක්ෂක අංශ වෙනුවෙන් නවතා දමා තිබූ ජාත්‍යන්තර පුහුණුවීම් හා පිළිගැනීම යළි ලබාදීමට කටයුතු කළ බවත් ජනාධිපතිවරයා පැවැසීය.

මෙවර අය-වැයෙන් ආරක්ෂක අංශවලට මුදල් වෙන්කිරීමේ දී නවීන යුද උපකරණ හා තාක්ෂණික දැනුම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකළ බවත් පැවසූ ජනාධිපතිවරයා, තුවක්කුවෙන් මල්ටි බැරල්වලින් කළහැකි කාර්ය අවම බව ද සඳහන් කළේය.

රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය උපරිම සහය ලබාදෙන බවත් කිසිඳු අවස්ථාවක ජාතික ආරක්ෂාව දුර්වල කිරීමට රජය කටයුතු කර නොමැති බවත් පැවැසීය.

එට්කා ගිවිසුම අත්සන් කරනවා :


රටක සංවර්ධනය සඳහා දේශපාලන ස්ථාවර භාවය, බලශක්ති සුරක්ෂිතතාව, පරිසරයේ සුරක්ෂිත බව, මෙන්ම ආර්ථික සුරක්ෂිත බව ද වැදගත් සන්ධිස්ථාන බවත් පෙන්වාදුන් ජනාධිපතිවරයා එට්කා ගිවිසුම සියලු දෙනාගේ එකඟත්වයෙන් ඇතිකර ගන්නා බව ද පැවැසීය.

රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ වැරදි මත පැතිරවීම වෙනුවෙන් කනගාටුවන බවත් එට්කා ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවත් ජනාධිපතිවරයා පැවැසීය.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් කිසිවක් වසන් නොකරන අතර කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සියලු දෙනාගේ එකඟතාව මත අත්සන් කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top