Dec 08, 2016

අන්තරේ දෙන්නාගේ මරණය:පොලිස් විමර්ශනතා දුර්වලයි

ගම්පහ ඉඹුල්ගොඩ දී අන්තර් විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු සැක කටයුතු ලෙස මිය යෑමේ සිදුවීමේ පරීක්ෂණ පවත්වද්දී පොලිසියෙන් අඩුලුහුඬුකම් සිදුවී ඇතැයි රහස් පොලිසිය අද (08දා) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා හමුවේ පැවසීය.

ජනක හා සිසිත සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජිකා සිල්වා මහත්මිය  ඉදිරිපත් කළ විරෝධතාවලට පිළිතුරු දෙමින් රහස් පොලිසිය මේ බව දැනුම් දුන්නේය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සියයට හයේ වෘත්තීය අරගලයට සහාය දක්වමින් මහනුවර සිට කොළඹට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණඩලය පා ගමනක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා අවශ්‍ය අත්පත්‍රිකා තොගයක් ගෙන ඒමට 2012 සැප්තැම්බර 27 වැනි දා අලුයම නුගේගොඩ දෙල්කඳට යද්දී මෙම සිදුවීම වූ බව අධිකරණයේ දී කියැවිණි.

මිය ගිය  එක් සිසුවෙකුගේ නළලේ හිල් දෙකක් ඇති බව  නීතීඥ රාජිකා සිල්වා මහත්මිය ඡායාරූපයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළාය. ඔහු වැටී සිටි ස්ථානයේ උල් නොතිබූ බව කී නීතීඥවරිය එසේ නම් නළලේ හිල් දෙකක් ඇතිවූයේ කෙසේදැයි ප්‍රශ්න කළාය. ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා කීවේ මෙම මරණ රිය අනතුරකින් නොවූ බවට සැකයක් නැතැයි අධිකරණ වෛද්‍ය නිලධාරියා සහ  රජයේ රස පරීක්ෂක වාර්තා කර ඇති බවයි.

මිය ගිය සිසුවකු පාන්දර දෙකයි තිහට පමණත් පාදයක් සොලවනු දුටු බවට රහස් පොලිසිය සාක්කි සම්පිණ්ඩන මගින් වාර්තා කර ඇති බව ද, එසේ නම් උදේ 7.30 වනතුරු සිට මිනී කාරයකින් සිසුන් රෝහලට ගෙන යෑමට පොලිසිය කටයුතු කළේ ඇයිදැයි සැක සහිත බව ද නීතීඥවරිය කීවාය.

සිදුවීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.  ඒ අනුව පැමිණිල්ල පෙබරවාරි 28 වැනි දාට කල් තැබිණි.

සිදුවීමට දැන් වසර ගණනාවක් ගත වි ඇති නිසා දීර්ඝ නඩු දිනයක් ලබා දුනහොත් තවදුරටත් සාක්කි විනාශ විය හැකි බැවින් කෙටි දිනයක් ලබා දෙන ලෙස නීතීඥ රාජිකා සිල්වා මහත්මිය ඉල්ලා සිටියාය.

 පෙබරවාරි හත් වැනිදාට නඩුව කල් තැබූන අතර එදිනට සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය.

සබැදි පුවත්
''අන්තරේ දෙන්නාගේ මරණය සැකයි‘‘

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top