nsb

Dec 09, 2016

බෝපගේ ගේ අත්සන ගන්න : රනිල්ගෙන් ගයන්තට බලපෑම්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 56 දෙනෙකු සඳහා කුලී පදනම මත ජීප් රථ ලබා දීමට මුදල් අමාත්‍යංශය ගත් තීරණයට අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා වූ ලියකියවිලි වලට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතාගේ අත්සන වහාම ලබාගන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, විෂය බාර අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට නියෝගකර ඇත.

ඒ අනුව ලේකම්වරයාගේ අත්සන ලබා ගැනීම සඳහා ඇමතිවරයා ඊයේ (08) දිනයේ කිහිපවරක්ම ලේකම්වරයාගේ කාර්යාලයට ගොස් තිබේ.

එහෙත්  නීති විරෝධී කටයුත්තකට තමන්ට එකඟවිය නොහැකි බව පවසමින් ලේකම්වරයා ඇමතිවරයාගේ ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කර ඇති අතර එවැනි ගිවිසුමකට එළඹිය යුත්තේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා බව ද පෙන්වාදී තිබේ.

අගමැතිවරයා හා මුදල් ඇමතිවරයා තමාගේ අත්සන ගැනීමට මෙතරම් බලපෑම් කලද, අඩුම තරමින් එවැනි ගිවිසුමකට අදාළ ලිපියක කෙටුම්පතක් හෝ මුදල් අමාත්‍යංශයෙන් තමන් වෙත ලැබී නැතැයි පවසා ඇති ලේකම්වරයා, එවැනි ලිපියක් ලැබුන වහාම නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට කටයුතු කරන බව දැනුම්දී තිබේ.

මුදල් ඇමතිගේ තර්ජන :

අදාළ ලිපියට අත්සන් නොකරන්නේ නම් වහාම තනතුරින් ඉවත්වී ගෙදර යන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ලේකම් වරයට පෙරේදා දැඩි ලෙස අවවාද කර තිබිණ.

ඒ, අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පෙරේදා  (07) පැවති ආර්ථික කළමනාකරණ කමිටු රැස්වීමේදීය.

මෙම තීරණයට අදාළ ගිවිසුම් වලට අත්සන් නොකරන්නේ නම් මින් ඉදිරියට ජනමාධ්‍ය අමාත්‍යංශයට තම අමාත්‍යංශයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් නොකරන බවට මුදල් ඇමති රවී කරුණානායක මහතා ද තර්ජනය කර ඇත.

කෙසේවුවද ඊට දැඩි ලෙස විරුද්ධය පළකර ඇති අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා, වත්මන් පාර්ලිමේන්තුවේ කාලය මාස 45ක් බවත් එහෙයින් මාස 60කට අදාලව සිදුකෙරෙන ගිවිසුමක් අනුමත කිරීම තමන්ට අනුමත කල නොහැකි බවත්,  විනිවිද පෙනෙන ක්‍රියාවලියකින් තොරව මෙම වාහන ලබා දීමට එකඟවිය නොහැකි බවත් අවධාරණය කර තිබිණ.

ඔහුට තනතුරින් ඉවත්ව යන ලෙස අගමැතිවරයා දැනුම්දී ඇත්තේ ඉන් අනතුරුවය.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙම අවස්ථාවේ සිට ඇතත් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

මෛත්‍රීගේ හිතවතෙක් :

පරිපාලන සේවයේ ජ්‍යේෂඨ නිලධාරියකුව සිටි නීතිඥ නිමල් බෝපගේ මහතාව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත්කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වන අතර ජනාධිපතිවරයාද පසුගියදා සිය නිර්දේශ ඉදිරිපත් කරමින් කියා සිටියේ වාහන සදහා මෙතරම් මුදලක් වැය කිරීම සුදුසු නොවන බවයි.

රාජපක්ෂ ආණ්ඩුවේ නිලධාරියකුව සිටි නිමල් බෝපගේ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට දැක්වීමට ඉදිරිපත්ව විශාල වැඩ කොටසක් ඉටුකළ පුද්ගලයකු බව පැවසේ.

සබැඳි පුවත් :

'අත්සන් කරන්න බැරිනම් ගෙදර යන්න' - අගමැති, බෝපගේට කියයි

මන්ත්‍රී ‘රෙන්ට් අ කාර්‘ යෝජනාවට ජනමාධ්‍ය ලේකම් එරෙහිවේ !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top