Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 09, 2016

ලංකාවේ වධහිංසා පිළිබඳ එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ එළිදකී Featured

වධහිංසා පිටුදැකීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කමිටුව ඔවුන් විසින් රටවල් කීපයක් සම්බන්ධයෙන් සිදුකරන ලද නිරීක්ෂණ තොරතුරු ඇතුළත් වාර්තාවක් ජිනීවා නගරයේ දී ප්‍රකාශයට පත් කොටඇති අතර මෙවර වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද දීර්ඝ සාකච්ඡාවක් සිදුකෙරෙයි.

එහි පිටු පහළොවකින් සමන්විත ශ්‍රී ලංකාව පිළිබඳ පරිච්ඡේදය, පසුගිය නොවැම්බර් හත්වෙනිදා පටන් මෙම දෙසැම්බර් හත්වෙනි දිනතෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයන්, ශ්‍රී ලංකා ආණ්ඩුවේ නියෝජිතයන්, මානව හිමිකම් සංවිධාන සහ මාධ්‍යවේදීන්ගේ සංවිධාන ඇතුළු පාර්ශවයන් රැසක් විසින් සපයන ලද තොරතරු මත පදනම් වෙයි.

ශ්‍රී ලංකාව, නැමීබියාව, තුර්ක්මේනිස්තානය, ආර්මීනියාව, එක්වදෝරය සහ ෆින්ලන්තය ඇතුළු රටවල් අටක් පිළිබඳ තොරතුරු මෙම කාර්තුවට අයත් සමස්ත වාර්තාවට ඇතුළත් වෙයි.

වධහිංසා පිටුදැකීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට බැඳී සිටින සාමාජික රටවල සිදුකෙරෙන වධහිංසා සහ වෙනත් එවැනි කෲර ක්‍රියාවන්, අමානුෂික හෝ අවසැලකීම් හෝ දඬුවම් කිරීම් ආදිය එම කමිටුව විසින් නිරීක්ෂණය කරනු ලබයි.


ශ්‍රී ලංකාවේ තත්වය :


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කරන එක්සත් ජාතීන්ගේ කමිටුව අත්අඩංගුවට ගැනීමේ පටන් පුද්ගලයන් මුහුණ දෙන හිරිහැර, වධහිංසා ගැන තොරතුරු ලැබී ඇතැයි ප්‍රකාශ කරන අතර ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් විභාග කරන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට නිර්දේශ කිරීමක් ද කරයි.

අත්අඩංගුවේ සිටියදී පමණක් නොව රැඳවුම් කඳවුරුවලදීත් පුද්ගල වධහිංසා පැමිණවීම් වාර්තාවෙන බව කමිටු වාර්තාවේ දැක්වෙයි.

එවැනි තත්වයකට ගොදුරු වූ පුද්ගලයන් රැඳවුම් මධ්‍යස්ථානවලට යැවීමේ දී විනිසකරුවන්ට ඔවුන්ගේ තත්වය පිළිබඳව විමසා වාර්තාකළ කළහැකි බවත් එම වාර්තාව පවසයි.


CCTV කැමරා සවිකරන්න :


රැඳවුම් මධ්‍යස්ථානවල පවතින තත්වය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන එක්සත් ජාතීන්ගේ කමිටුව, එම මධ්‍යස්ථානවල CCTV කැමරා සවිකරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට නිර්දේශ කරයි.

ශ්‍රී ලංකාවේ පසුගිය පාලන සමයේ පමණක් නොව වත්මන් පාලනය තුළත් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් වධහිංසාවන්ට ගොදුරු කෙරෙන බව එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාවේ දැක්වේ.

එසේම වධහිංසාවන්ට ගොදුරුවූවන්ට දෙනු ලබන වන්දි සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ කමිටුව සෑහීමකට පත්වී නැත.


දැනුවත් කිරීමක්:


වධහිංසා පිටුදැකීම සඳහා වන එක්සත් ජාතීන්ගේ වාර්තාව මගින් ඉදිරිපත් කරන නිර්දේශ මගින් ශ්‍රී ලංකාවේ මහජන අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකෙරෙන බව එක්සත් ජාතීන්ගේ වාර්තාව නිකුත් කෙරුණ ජිනීවා නගරයේ සිට අදහස් දැක්වූ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පැවසීය.

එම නිර්දේශයන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි වන්නේ දේශපාලන පක්ෂ, මහජන සංවිධාන සහ බුද්ධිමතුන් විසින් ඒවා ජනගත කිරීම තුළින් බවත් ඔහු පෙන්වා දෙයි.

(බීබීසී සංදේශය)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top