Dec 09, 2016

'ශ්‍රීලනිප ඇමතිවරු ජනපතිව රකින්නේ නැහැ' - එජාපය කියයි

යහපාලන රජය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ඇමැතිවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින ආකාරය පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි යෑයි එක්‌සත් ජාතික පක්‍ෂය පවසයි.

ඊයේ (08) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කතා බහට ලක්‌වී තිබේ.

විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්‍ෂය ජනාධිපතිවරයාට එරෙහිව විවිධ චෝදනා එල්ල කරද්දී බොහෝ ශ්‍රීලනිප ඇමැතිවරුන් නිහඬව සිටින අයුරු පෙනෙන බවද එජාප කෘත්‍යාධිකාරී සාමාජිකයින් අගමැතිවරයාට පවසා තිබේ.

ශ්‍රීලනිප ඇමැතිවරුන්ට එම පදවි ලැබී ඇත්තේ ජනාධිපතිවරයා නිසා වුවත් ඔවුන් ජනාධිපතිවරයා චෝදනාවලින් ආරක්‍ෂා කර ගැනීමට කිසිදු ක්‍රියා මාර්ගයක්‌ අනුගමනය නොකරන බවට ද එජාප මන්ත්‍රීන් චෝදනා කර තිබේ.

ඉසුර දේවප්‍රිය ?

මේ අතර බස්‌නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ ක්‍රියා කලාපයද කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී විවේචනයට ලක්‌වී තිබේ.

ඔහුට ද මහ ඇමැතිවරයා වීමට අවස්‌ථාව උදා වූයේ එජාපය මූලිකත්වය ගෙන මෛත්‍රිපාල සිරිසේන මහතා දිනවීම නිසා වුවද ඔහු දිගින් දිගටම එජාපයට පහරදෙන බව කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී සාකච්ඡා කෙරිණි.

පළාත් සභාවේ අයවැය සම්මත කර ගැනීමට පවා විශේෂ සහයක්‌ එජාපයෙන් ලැබුණ ද මහ ඇමැතිවරයා ඒ බව නොතකා හිටපු ජනාධිපතිවරයාගේ පිලේ අයෙකු මෙන් ක්‍රියා කරන බව කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයන් පවසන අවස්‌ථාවේ මේ පිළිබඳව තමන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව අගමැතිවරයා ඔවුනට දැනුම්දී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top