Dec 10, 2016

වද හිංසා නොකර ප්‍රශ්න කරන හැටි පොලිස්‌පති කියා දෙයි Featured

ඉදිරියේදී පොලිස්‌ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන්ට පහරදීම් හෝ කෲර අන්දමින් වද හිංසා සිදු නොකෙරෙන බව නියෝජ්‍ය පොලිස්‌පති අජිත් රෝහණ මහතා කීය.

ඒ අනුව පොලිස්‌ බාරයට පත්වෙන ඕනෑම සැකකරුවකුට බිය සැක නොමැතිව පොලිස්‌ ප්‍රශ්න කිරීම්වලට මුහුණ දිය හැකි බව නියෝජ්‍ය පොලිස්‌පතිවරයා පැවැසීය.

පොලිස්‌ අත්අඩංගුවට පත් කෙරෙන සැකකරුවකුගෙන් ප්‍රශ්න කරන ආකාරය පිළිබඳව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රී ලංකාවේ සියලුම පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන්, ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂකවරුන් පොලිස්‌ මූලස්‌ථානයට කැඳවා දැනුවත් කර ඇත.

පොලිස්‌ ස්‌ථානාධිපතිවරු සහ ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂකවරුන් 472 ක්‌ද, පොලිස්‌ අධිකාරිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරුන් 42 ක්‌ද සහකාර පොලිස්‌ අධිකාරිවරුන් 110 ක්‌ද පොලිස්‌ මූලස්‌ථානයේ පැවැති මෙම වැඩමුළුවට පැමිණ ඇත.

සැකකරුවන්ගෙන් පොලිසිය ප්‍රශ්න කරන ආකාරය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් එල්ලවී ඇති චෝදනා හා පොලිස්‌ මූලස්‌ථානයට නිතර නිතර ලැබෙන පැමිණිලි අනුව පොලිස්‌පතිවරයා සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන ආකාරය පිළිබඳ එහිදී උපදෙස්‌ දී තිබේ.

එක්සත් ජාතීන්ගේ අවධානය :

වධහිංසා පිටුදැකීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කමිටුව ඔවුන් විසින් රටවල් කීපයක් සම්බන්ධයෙන් සිදුකරන ලද නිරීක්ෂණ තොරතුරු ඇතුළත් වාර්තාවක් ජිනීවා නගරයේ දී ප්‍රකාශයට පත් කොටඇති අතර මෙවර වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද දීර්ඝ සාකච්ඡාවක් සිදුකෙරෙයි.

එහි පිටු පහළොවකින් සමන්විත ශ්‍රී ලංකාව පිළිබඳ පරිච්ඡේදය, පසුගිය නොවැම්බර් හත්වෙනිදා පටන් මෙම දෙසැම්බර් හත්වෙනි දිනතෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයන්, ශ්‍රී ලංකා ආණ්ඩුවේ නියෝජිතයන්, මානව හිමිකම් සංවිධාන සහ මාධ්‍යවේදීන්ගේ සංවිධාන ඇතුළු පාර්ශවයන් රැසක් විසින් සපයන ලද තොරතරු මත පදනම් වෙයි.

වධහිංසා පිටුදැකීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට බැඳී සිටින සාමාජික රටවල සිදුකෙරෙන වධහිංසා සහ වෙනත් එවැනි කෲර ක්‍රියාවන්, අමානුෂික හෝ අවසැලකීම් හෝ දඬුවම් කිරීම් ආදිය එම කමිටුව විසින් නිරීක්ෂණය කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ තත්වය :

ශ්‍රී ලංකාවේ පසුගිය පාලන සමයේ පමණක් නොව වත්මන් පාලනය තුළත් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් වධහිංසාවන්ට ගොදුරු කෙරෙන බව එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාවේ දැක්වේ.

එසේම වධහිංසාවන්ට ගොදුරුවූවන්ට දෙනු ලබන වන්දි සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ කමිටුව සෑහීමකට පත්වී නැත.

සබැඳි පුවත්

ලංකාවේ වධහිංසා පිළිබඳ එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ එළිදකී

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top