Dec 10, 2016

ජනමතයකට ගියොත් ආණ්ඩුව පරාදයි - චම්පික Featured

යෝජිත නව ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා ජනමත විචාරණයකට ගියහොත් ඒ අනිවාර්යයෙන්ම පරාජයට පත් වන බව මහා නගර හා බස්නාහිර පළාත් ඇමැති පාඨලී චම්පික රණවක ඇමැතිවරයා පවසයි.

උතුරේ ජනතාව බලාපොරොත්තු වන බලය බෙදාහැරීමේ වැඩි බලතල නව ව්‍යවස්ථාවෙන් නොලැබීම හේතුවෙන් එම ජනතාව ඊට එරෙහි වනු ඇති බවත්, උතුරට වැඩි බලතල දී ඇතැයි කියමින් දකුණේ ජනතාව ද එය පරාජය කරනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

යෝජනා කර තිබෙන ඇතැම් කාරණා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායමත් ජාතික හෙළ උරුමයත් පැහැදිලිවම විරුද්ධ මතයක සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණ ද යම් කාරණාවලට එරෙහි වනු ඇති බවත් ඔහු අවධාරණය කරයි.

බැඳුම්කර දූෂණ චෝදනා ?

එමෙන්ම ආණ්ඩුවට එරෙහිව එල්ල වී ඇති බැඳුම්කර ගනුදෙනුව ආදී දූෂණ චෝදනා ආදිය ද ජනමත විචාරණයක දී අවාසිදායක ලෙස බලපැවැත්විය හැකි බව ද ඔහු පවසා සිටී.

කෙසේ නමුත් නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ කිසිදු යෝජනාවක් ලබා දී නොමැති අතර ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමෙන් ද වැළකී සිටී. එමෙන්ම එම මෙහෙයුම් කමිටු රැස්වීම සඳහා ජවිපෙ හෝ ජාතික හෙළ උරුමය හෝ සහභාගී වී නැති බවත් වාර්තා වේ.

කෙසේ නමුත් රණවක මහතා පවසා සිටින්නේ නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවත් පවතින ව්‍යවස්ථාව සංශෝධනයකට පමණක් තම පක්ෂය එකඟ වන බවත්ය.

එහි දී විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කර අගමැතිවරයාට බලය පැවරීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය එකඟතාවක් දක්වා නොමැත.

කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා සිය අනුකූලතාව දක්වා ඇති අතර එය ජනමතය අනුව සිදු කරන බව පවසයි.

ජනාධිපති අපේක්ෂකයෝ රොත්තක් :

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ 2020 ජනාධිපතිවරණය පැවැත්වුවහොත් ඊට ශ්‍රීලනිපය ප්‍රමුඛව ගොඩනැගෙන පොදු සන්ධානයකින් තරග කිරීම සඳහා මේ වන විටත් දේශපාලකයන් කිහිප දෙනකු අපේක්ෂාසහගතව සිටින බවය.

ඒ අතර චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග ඉදිරියෙන්ම සිටින අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2020 දී දේශපාලනයෙන් විශ්‍රාම ගනු ඇති බවට ඇති විශ්වාසය මත රවී කරුණානායක, දයා ගමගේ ඇමැතිවරුන් ද ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන බලාපොරොත්තුවෙන් පසුවන බවය.

මේ අතර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද ඔහුට යළිත් වරක් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට හැකි වනු ඇතැයි විශ්වාසයෙන් පසුවන බවත් දැනගැනීමට තිබේ.

(සත්හඬ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top