nsb

Dec 11, 2016

රනිල්ට සුපිරි බලතල ගෙනෙන ගැසට් නිවේදනයක් ! Featured

මෙරට සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධයෙන්  ‘ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු’  ඇමැතිවරයාට විශාල බලතල ප්‍රමාණයක් හිමි වන ‘සංවර්ධන (විශේෂ විධි විධාන)’ නමින් නව පනත් කෙටුම් පත පසුගිය නොවැම්බර් 25 වන දින රජයේ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධ කර තිබේ.

මේ වන විට එම ඇමැති ධුරය හොබවන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය.

මෙම ගැසට් පත්‍රයේ අඩංගු කරුණු කාරණා අනුව නව පනත ආර්ථික සංවර්ධනය ඇතුළු යම් විෂයක් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති හා ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම අරමුණු කොට ගත් ‘ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය’ පිහිටුවීම, 2017, 2018 2019 වසර 3 සඳහා  ශ්‍රී ලංකාවේ කඩිනම් ආර්ථික සංවර්ධනය සඳහා අදාළ වන සියලු විෂයන් පිළිබඳ ‘සංවර්ධන නියෝජිත ආයතනය’ පිහිටුවීම, ‘ග්‍රාමීය නවීකරණය පිළිබඳ මණ්ඩලය’ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා වන සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ‘කලාප සංවර්ධන මණ්ඩල’ 5 ක් පිහිටුවීම, සහ ‘ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වන නියෝජිතායතනය’ පිහිටුවීම සම්බන්ධයෙන් විධි විධාන සැලසීම වෙනුවෙන් වන වැඩපිළිවෙළකි.


අගමැති හා මලික් :


මේ අනුව ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වන නියෝජිතායතනය හැර අන් සියලු ක්ෂේත්‍රයන් හි අවසන් බලධරයා වන්නේ අගමැතිවරයා වන අතර ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධ බලධරයා වන්නේ   දැනට ක්‍රමෝපායන් සහ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ විෂයභාර ඇමැති මලික් සමරවික්‍රම මහතාය.

මෙම පනත මඟින්  පිහිටුවනු ලබන නියෝජිතායතන මණ්ඩල හා අනෙකුත් ආයතනවල සේවය කරන රාජ්‍ය නිලධාරීන් එම රාජකාරි කටයුතු වෙනුවෙන් ගන්නා තීන්දු තීරණවලට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි බව ද මෙම පනත් කෙටුම්පතෙහි සඳහන් වේ. 

අගමැතිවරයා හා ඇමැතිවරයා  හැරුණු කොට මෙම නව ආයතන සඳහා විශේෂ බලතල සහිත වග කියන නිලධාරීන් පත් කිරීමට ද නියමිතව ඇත.

බලතල සහිත විධායක නිලධාරියෙක් :


 මෙහි දී  ‘ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය ’මඟින් මෙරට සංවර්ධනයට හා අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් වන සියලුම සැලසුම් හා ජාතික ප්‍රතිපත්ති සැකසීම සිදු වනු ලබයි.

 ‘සංවර්ධන නියෝජිත ආයතනය’ මෙරට සංවර්ධනය සම්බන්ධ සියලු තීන්දු තීරණ ගන්නා ආයතනය වන අතර එහි ප්‍රධානියා අගමැතිවරයා වුව ද එම බලතල සහිතවම ක්‍රියාත්මක වීම සඳහා විධායක නිලධාරියා ලෙස ‘කළමනාකාර අධ්‍යක්ෂවරයකු’ පත් කෙරේ.

එමෙන්ම සංවර්ධනයට අදාළ ජාතිකව හා ප්‍රාදේශීය ගන්නා සියලු තීන්දු තීරණ මෙම විධායක නිලධාරියා අනුමත කිරීමෙන් පසුව අගමැතිවරයාගේ අනුමැතියට යටත්ව ක්‍රියාත්මක විය යුතුය.

සංවර්ධන (විශේෂ විධි විධාන) පනත් කෙටුම්පත   අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් වන අතර පසුගිය ඔක්තෝබර් මාසයේ දී මේ සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ.


අර්ථ නිරූපණයක් :


කෙසේ නමුත් මෙම පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය යුතුය.

එමෙන්ම එය පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලදැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ද කළ හැකිව තිබේ.

ඒ අනුව මේ පනත් කෙටුම්පත සම්මත වීම සිදු විය හැකිය.


(සුභාෂ් ජයවර්ධන)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top