Dec 11, 2016

නාවික හමුදාව හම්බන්තොටදී මානව හිමිකම් දින සමරු හැටි (වීඩියෝ)

රැකියාවේ සුරක්ෂිත භාවය සහතික කරගනු පිණිස අරගලයක යෙදී සිටින හම්බන්තොට වරාය සේවකයන් තම භාරයට ගෙන සිටි විදේශීය නෞකා දෙකක් මුදා ගැනීමේ සන්නද්ධ මෙහෙයුමක යෙදුනු නාවික හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් උද්ඝෝෂකයන් හත් දෙනෙක් සහ මාධ්‍යවේදීන් දෙදෙනෙක් තුවාල ලබා සිටිති.

 තුවාල ලැබු එක් මාධ්‍යවේදියකු සුරියවැව රෝහලට ඇතුලත් කර ඇත.

ඊයේ දිනට (10) යෙදී තිබු ජාත්‍යන්තර මානව හිමිකම් දිනයෙදී මෙම ප්‍රහාරය සිදුවීම සුවිශේෂ වේ.

හම්බන්තොට වරයේ සේවක විරෝධතාවය විසරුවා හැරීමට නාවුක හමුදාව විසින් එල්ල කල ප්‍රහාරය අතරතුරදී නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න විසින් මාධ්‍යවේදියෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දීමක් සිදු කර තිබේ.

තමන්ට නාවික හමුදාපතිවරයා විසින් පහර දුන් බව එම මාධ්‍යවේදියා විසින් කියා සිටි අතර එසේ පහර දුන් අවස්ථාව රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය විය.


රැකියා සුරක්ෂිතකර ගැනීමට :


 චීන රජය සතු චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩිංස් සමාගමට හම්බන්තොට මාගම්පුර වරායේ 80% ක් විකිණීමට රජය යොදා ඇති සැලසුමෙන් තමන්ගේ රැකියාවේ සුරක්ෂිත භාවය අහිමි වනු ඇති බවට බිය පල කරන හම්බන්තොට වරායේ කම්කරුවන් සියලුම දෙනා සිව් දිනක් තිස්සේ සත්‍යග්‍රහයක නිරතව සිටින්නේ තමන් සැම දෙනාම වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලමිනි.

හම්බන්තොට වරායේ සේවකයන් සියලු දෙනා වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් එහි  සේවකයන් විරෝධතාවයක් ආරම්භ කළේ පසුගිය 07 බදාදාය.

 වරායේ සේවකයන් 483 කගේ රැකියා සුරක්ෂිත කෙරෙන තුරු දිගටම විරෝධතාවයේ නියැලෙන බව එහිදී උද්ඝෝෂකයන් දිගින් දිගටම අවධාරණය කර තිබිණ.


ගිනි අවි සහ පොලු ප්‍රහාර :


 තම වෘත්තීය අරගලයට බාධා කිරීමට පැමිණි සිය ගණනකින් යුත් නාවික හමුදා භට සේනාවක් පොලු මුගුරු වලින් පහර දෙමින් වෙඩි තැබූ බව වෘත්තීය සමිති නායකයෝ මාධ්‍යවේදීන්ට පැවසූහ.

 විදේශීය නෞකා දෙකක් තමන් භාරයට ගෙන ඉල්ලීම් දිනා ගැනීමට උත්සාහ කළ වරාය කම්කරුවන් අල්ලා ගනු පිණිස ගොඩින් හා දියෙන් නාවික හමුදාව යන අවස්ථාවේ වෙඩි හඬ සහ “වෙඩි තියන්න එපා” යි කෑ ගසනු සමාජ මාධ්‍ය වල පල කොට තිබුනු වීඩියෝ පට වලින් අසන්නට ලැබුණි.

වරාය ජැටියේ සිටින සේවකයින්ට නාවික හමුදා නිළධාරින් පැමිණ ගිණි අවිවලින් හා පොලුවලින් පහර පිට පහර දෙන්නට වූ බව වරාය සේවක සංගමයේ ප්‍රචාරක නිළධාරි අයි.එච් උමේෂ් මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.

 නාවික හමුදා නිළධාරින් ඩෝරා යාත්‍රා මගින් වරාය ජැටිය වෙත ලඟා වූයේ වරායේ ජැටියේ රැඳී සිටි සේවකයින්ට වෙඩි තබමින් බව අයි.එච් උමේෂ් වැඩිදුරටත් සඳහන් කළේය.

ජාත්‍යන්තර බලපෑම් :


 සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී නාවික හමුදා ප්‍රකාශක අක්‍රම් අලෙවි, නාවික හමුදාව විසින් වරාය සේවකයන්ට පහර දුන් බව ප්‍රතික්ෂේප කළ අතර  හම්බන්තොට වරයේ නැංඟුරම්ලා තිබූ ජාත්‍යන්තර නැව් දෙකක් වරාය සේවකයන් විසින් බලහත්කාරයෙන් රඳවා ගැනීම හේතුවෙන් එය මුදවා ගැනීම සඳහා විශේෂ නාවික මෙහෙයුමක් ඊයේ (10) සිදුකල බව පැවසිය.

 එම ජාත්‍යන්තර නැව් දෙකේ කපිතාන්වරු දෙදෙනා විසින් සිය නැව් බලහත්කාරයෙන් රඳවාගෙන ඇති බවට මව්රටවල් වෙත දන්වා ඇති අතර ඊට පසු තානාපති කාර්යාල හරහා එම නැව් දෙක පැය 24ක් ඇතුළත මුදවා දෙන ලෙසට රජයට දන්වා තිබු බව ඔහු කියා සිටියේය.

ඒ අනුව රජය කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමුවීමට පෙර අදාල නැව් දෙක බේරා ගැනීම සඳහා රජය විසින් නාවික හමුදාව යෙදවූ බව පැවසු නාවික හමුදා ප්‍රකාශකයා, මෙම සිද්ධිය මුහුදු කොල්ලකෑමක් යටතේ ජාත්‍යන්තර නීතියට අයත් වන බව සඳහන් කළේය.

Hambanto3
අවම බලය යෙදවීම :


නාවික හමුදා ප්‍රකාශකයා පවසන පරිදි,  නාවික හමුදාව බෝට්ටු දෙකක් ඔස්සේ වරායට සේන්දු වී ඇති අතර එවිට උද්ඝෝෂකයන් විසින් අදාල නැව්දෙකට හානි කරණ බවට දන්වා ඇත.

ඒ අනුව නාවික හමුදාව අහසටත් මුහුදටත් වෙඩි තබා ඇති අතර ඒ සමඟ නාවික හමුදාව ජැටියට ඇතුළු වී තිබේ.

එහිදි දෙපිරිස අතර ගැටුමක් ඇති වී ඇති අතර ජාත්‍යන්තර නාවික නීතිය යටතේ උද්ගෝෂකයින්ට අවම බලය භාවිතා කොට එලවා දමා ඇත.

මෙහිදි නාවික නිළධාරින් දෙදෙනෙකු ද තුවාල ලබා තිබේ.

කෙසේ වෙතත් මෙම නැව්දෙක අද දින මුදා නොහැරියානම් ජාත්‍යන්තර නාවික නීතිය යටතේ කටයුතු කොට වෙනත් රටක ආරක්ෂක හමුදාවේ සහය ලබාගැනීමට හැකියාවක් තිබුන බව ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරියකු පැවසිය.
 
හම්බන්තොටට වෙනස්කමක් :


ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට වරාය ආශ්‍රිත කර්මාන්ත 150 ක ව්‍යාපෘතියක් 2017 වසරේදී ආරම්භකරන බව ආණ්ඩුව නිවේදනය කර තිබේ.

 වරායේ සහ අවට ඉඩම් වල අයිතිය වෙනුවෙන් මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩිංස් රාජ්‍ය සමාගම ණය බරින් පෙලෙන ශ්‍රී ලංකා රජයට ඩොලර් කෝටි සීයකට අධික මුදලක් ගෙවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නව ව්‍යාපෘතිය සඳහා චීන සමාගම වරාය සහ ඒ අවට ඉඩම් අක්කර පහළොස් දහසක් ඉල්ලා තිබේ.


(මූලාශ්‍රය -radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top