Dec 11, 2016

මාධ්‍යවේදීන්ට පහරදෙද්දි රැහේ ජනාධිපති කෝ ?

නාවික හමුදාපතිවරයා විසින් හම්බන්තොට වරාය පරිශ්‍රයේදී මාධ්‍යවේදියෙකුට කුණුහරුපයෙන් බැන වැදි පහර දීමේ සිදුවීමට දැඩි විරෝධය පල කරන බව  පොදුජන මාධ්‍ය පෙරමුණ කියයි.

එසේම ඒ සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණයක් කල යුතු බව සදහන් කරමින් පොදුජන මාධ්‍ය පෙරමුණ කැඳවුම්කරු, කුල ශ්‍රී කාරියවසම් මහතා නිවේදනයක් නිකුත්කර තිබේ.

තමා ද කළක් ලේක්හවුස් මාධ්‍යවේදියකු වන බැවින් තමාගේ රැහේ එවුන් රැකීමට තමාට වගකීමක් ඇතැයි මාධ්‍ය ඉදිරියේ ජනාධිපතිවරයා පසුගියදා කල ප්‍රකාශය සිහිපත් කරන පොදුජන මාධ්‍ය පෙරමුණ, වහාම මෙම සිද්ධියට මැදිහත් වී වැරැදිකරුවන්ට දඬුවම් ලබා දී රැහේ එවුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බව වචනයෙන් නොව ක්‍රියාවෙන්ම ඔප්පු කරන ලෙස ඉල්ලා සිටියි.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.


මාධ්‍යයට සෘජුව හා වක්‍රව තර්ජන :


''හම්බන්තොට වරාය සේවක උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කණ්ඩායමකට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න විසින් පහරදීම සහ රාජකාරියට බාධා කිරීම පොදුජන මාධ්‍ය පෙරමුණ වශයෙන් අප දැඩි ලෙස හෙලා දකින අතර මෙම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා වැරැදිකරුවන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.

ගෙවුණු දෙවසරක පමණ කාලය තුළ ආණ්ඩුව තමන්ට එරෙහිව කටයුතු කරන මාධ්‍ය සම්බන්ධයෙන් දැඩි මර්දනකාරී ප්‍රතිපත්තියක් අනුගමන කරන ආකාරයක් පෙනෙන්නට තිබුණු අතර රටේ සහ ආණ්ඩුවේ ප්‍රධානීන් පවා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් මාධ්‍යයට සෘජුව හා වක්‍රව තර්ජනය කරනුත් ඇතැම් මාධ්‍යවේදීන්ට රැකියාව අහිමි වන ආකාරයට කටයුතු කරනුත් දක්නට ලැබුණි.


ආණ්ඩුවේ වුවමනාව මත :


මෙවන් පසුබිමක් තුළ මාධ්‍යවේදීන් කණ්ඩායමට නාවික හමුදාපතිවරයා විසින් පහර දීම ආණ්ඩුවේ වුවමනාව මත සිදු වූවක් බවට සාධාරණ සැකයක් මතු වේ.

එම නිසා ඉතිහාසයේ කිසිදු දිනෙක පළ නොකළ අන්දමේ තුච්ඡ හැසිරීමක් පළ කළ නාවික හමුදාපතිවරයාට මෙන්ම මෙන්ම ඔහුට එම උපදෙස් නිකුත් කළ තැනැත්තකු වේ නම් ඔහුට එරෙහිව ද වහාම පියවර ගන්නැයි අපි ඉල්ලා සිටිමු.

තමා ද කළක් ලේක්හවුස් මාධ්‍යවේදියකු වන බැවින් තමාගේ රැහේ එවුන් රැකීමට තමාට වගකීමක් ඇතැයි මාධ්‍ය ඉදිරියේ කී ජනාධිපතිවරයාගෙන් අප ඉල්ලා සිටින්නේ වහා මෙම සිද්ධියට මැදිහත් වී වැරැදිකරුවන්ට දඬුවම් ලබා දී රැහේ එවුන්ගේ ආරක්ෂාව තහවුරු කළ බව වචනයෙන් නොව ක්‍රියාවෙන්ම ඔප්පු කරන ලෙසයි.

රටේ ඕනෑම තැනක සිය රාජකාරිය නිදහසේ ඉටු කිරීමට මාධ්‍යවේදීන්ට ඇති අයිතිය තහවුරු කරන ලෙසත් ජනවාරි 08 වැනි දා බලය ලබා ගැනීමේ දී ජනතාව හමුවේ තැබූ පොරොන්දු අනුව මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීමට වහාම පියවර ගන්නා ලෙසත් අපි රජයට බල කර සිටින අතර ආණ්ඩුවේ මර්දනයට එරෙහිව භේදයකින් තොරව එකතු වන ලෙසත් පොදුජන මාධ්‍ය පෙරමුණ මාධ්‍යවේදීන්ගෙන් සහ පොදු ජනතාවගෙන් ඉල්ලා සිටිමු.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top