Dec 12, 2016

ආගමන විගමන 'මාෆියාවේ' 06ක් ස්ථානමාරු නොතකා වැඩ Featured

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 6 දෙනකු රාජ්‍ය අංශයේ ස්ථාන මාරුවීම් පටිපාටිය නොසලකා දේශපාලන බලය මත තවදුරටත් අදාළ රාජකාරි කටයුතුවල නිරත වන බව වාර්තා වෙයි.

මේ අයුරින් ඔවුන් ස්ථානමාරුවීම් නොසලකා හැර දිගටම සේවයේ නිරත වන්නේ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ හිතවත්කම යොදා ගනිමින් වන බවත් ඒ හේතුවෙන්  රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා මහ බැංකුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල වසර 4 කට වඩා අඛණ්ඩව සේවයේ නොයෙදවීම මෙන්ම  2016/06/29 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 12/2016 පටිපාටිය ක්‍රියාත්මක කරන්නට නොහැකි වී ඇති බව ද එම වාර්තා සඳහන් කරයි.

මේ අයුරින් සේවා ස්ථානමාරුවීම් නොසලකා ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ කටයුතු කරන නිලධාරීන් බවට සඳහන් වන්නේ එම්. ඒ. පී. අයි. ගුණවර්ධන (නියෝජ්‍ය පාලක - වීසා),   ආර්.ඒ.සී. එස්. රණවීරආරච්චි (නියෝජ්‍ය පාලක - වීසා), කේ.පී. යෝගචන්ද්‍ර (නියෝජ්‍ය පාලක - විදේශ දූත මණ්ඩල)  සී.එච්. ගමගේ (නියෝජ්‍ය පාලක - පුරවැසි), ඒ. එච්. එල්. ද සොයිසා (නියෝජ්‍ය පාලක  පරිගණක), එම්.ජේ. එස්. රවිසිංහ (නියෝජ්‍ය පාලක - ගමන් බලපත්) යන නිලධාරීන්ය.


ජනරාල්වරයාට බලපෑම් කර :


අප වෙත වැඩිදුරටත් වාර්තා වන අන්දමට මෙම නිලධාරීන් සිය දේශපාලන බලය යොදා ගනිමින් මේ වන විට ආගමන හා විගමන ජනරාල්වරයාට ද බලපෑම් කොට සිය ස්ථානමාරුවීම් වළක්වාගෙන ඇති අතර ඒ වෙනුවෙන් ඔවුන් දෙපාර්තමේන්තුවේ සේවය සඳහා 2017 වර්ෂය සඳහා අත්‍යවශ්‍ය නිලධාරීන් බවට ලිපියක් නිකුත් කර ගැනීමට ද කටයුතු කරගෙන ඇත.

ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා විසින් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත තත්ත්වය පැහැදිලි කොට ලිපියක් යොමු කර ඇත.

2016/11/03 නිකුත් කර ඇති එම ලිපිය අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ  පාලක ජනරාල්වරයා දැනුම් දී ඇත්තේ තම  දෙපාර්තමේන්තුවේ දැනට සිටින නිලධාරීන් වසර 03 කට වඩා අඩු පළපුරුද්දක් සහිත බැවින් සහ යෝජිත පරිදි අදාළ  නිලධාරීන් නවකයන් පුහුණු කරන අතර දෛනික රාජකාරි සඳහා යොදවාගෙන ඇති බවයි.

දැනට නිලධාරීන් ස්ථානගත කර ඇති ආකාරය අනුව අපේක්ෂිත මට්ටමින් ඔවුන් පුහුණු කිරීම වෙනත් ස්ථානයක යොදවා සිදු කළ නොහැකි බැවින් ද අදාළ ස්ථානමාරුව අත්හිටුවීමට කටයුතු කරන ලෙසය.


සේවය අත්‍යවශ්‍ය ලු :


එසේම ජාතික ආරක්ෂක මණ්ඩලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය විසින් පවරා ඇති ව්‍යාපෘති 6 ක් ඉතා ඉක්මනින් අවසන් කොට ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත වාර්තා කිරීමට ඇති බවත් ඒ වෙනුවෙන් 2017 දක්වා මෙම අත්දැකීම් සහිත නිලධාරීන්ගේ සේවය අත්‍යවශ්‍ය වී ඇති බවත් ඔහු එම ලිපියේ සඳහන් කර ඇත.

කෙසේ වුවත් මේ පිළිබඳ අප වෙත ලැබී ඇති වාර්තා සඳහන් කර සිටින්නේ අදාළ නිලධාරීන් සඳහා ස්ථානමාරුවීම් ලැබී ඇත්තේ නිල වාහන සහ උසස්වීම් ඇතිව බවත් අදාළ නිලධාරීන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ වසර 10කට අධික සේවා කාලයක් ගතකර තවදුරටත් සේවා ස්ථානමාරුවීම් වළක්වා ගන්නට කටයුතු කිරීම ප්‍රශ්නකාරී වන බවත්ය.

විශේෂයෙන්ම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැනි සංවේදී රාජ්‍ය ආයතනයක දීර්ඝ කාලයක් සේවයේ නිරත වීම කිසියම් හෝ අයුරක අකටයුත්තක් වෙනුවෙන් මං සැලසෙන තත්ත්වයක් බවත් එවැනි සංවේදී ආයතනවල රාජකාරී කරන නිලධාරීන් අඛණ්ඩව ස්ථාන මාරුවීම් සඳහා යොදවන්නේ එනිසා බව ද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

එසේම යම් රාජ්‍ය ආයතනයක සිටින නිලධාරීන් කිහිප දෙනකු වෙත ස්ථානමාරුවීම් ලබා දුන් කළ එම දෙපාර්තමේන්තු හෝ ආයතන අක්‍රිය වන තත්ත්වයක් ඇත්නම් එහි ගැටලුවක් ඇති බවත් එවැනි තත්ත්වයක් ඇති වේ නම් එය අදාළ සේවයේ දීර්ඝකාලීනව සේවය කළ නිලධාරීන්ගේ මාෆියා හැසිරීමක ප්‍රතිඵලයක් විය හැකි බවත්  එම ආරංචි මාර්ග  පෙන්වා දෙයි.


(සංජය ලියනගේ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top