Dec 12, 2016

(UPDATE) ගිනස් පොතට යන නත්තල් ගසට අගමැතිගේ අනුමැතිය

එළැඹෙන නත්තල වෙනුවෙන් කොළඹ ගාළුමුවදොරදී ඉදිකරමින් සිට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ විරෝධය මත නවතා දමා තිබූ ‘ලෝකයේ උසම නත්තල් ගස’ ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කර ඇත.

ඉදිකිරිම් කටයුතු යළි ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ උපදෙස් පරිදි බව වරාය හා නාවික අමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම වැඩකටයුතු අඛණ්ඩව සිදු කරන ලෙස වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට මේ අනුව උපදෙස් ලැබී ඇති බව එහි සංවිධායක කමිටුවේ සභාපති මංගල පී. ගුණසේකර මහතා එම නිවේදනය මගින් පවසයි.

අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (11) දිනයේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී ඇති අතර එහිදී ලොව විශාලතම නත්තල් ගස ගැන අවධානය යොමුව ඇත.

මෙම වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට අනුමැතිය ලැබී ඇත්තේ ඉන් අනතුරුවය.

මුදල් නාස්තියක් :

පසුගිය දෙසැම්බර් 06 වැනි දින කොළඹදී මාධ්‍ය හමුවක් ඇමතූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ, ලොව උසම නත්තල් ගස ඉදිකිරීමේ ව්‍යාපෘතිය මුදල් නාස්තියක් බව සඳහන් කළහ.

දිළිඳු ජනතාව වෙනුවෙන් නිවාස තනාදීමට හෝ දිළිඳු පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම පිණිස මෙම මුදල් යොදවන ලෙස උන්වහන්සේ එහිදී ඉල්ලීමක් කළහ.

ඉන් අනතුරුව නත්තල් ගස ඉදිකිරීමේ ව්‍යාපෘතිය නවතා දැමීමට අර්ජුණ රණතුංග අමාත්‍යවරයා නියෝග කළ නමුත්, කතෝලික භක්තිකයන් ඇතුළු බොහෝ දෙනා කාදිනල් හිමියන්ගේ එම අදහස සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචනයට ලක් කර තිබුණි.

අදාළ ව්‍යාපෘතිය සඳහා රජයේ අරමුදල් යොදගන්නා බවට 'කිසියම් පිරිසක්' කාදිනල් හිමියන්ට වැරදි තොරතුරු ලබා දී ඇති බව සංවිධායක කමිටුවේ ප්‍රධානියා සඳහන් කළේය.

මීට පෙරාතුව සැලසුම් කළ පරිදිම නත්තල් ගස ලබන සතියේ විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.


නිවේදනය

ලව වශලතම නතතල ගස වඩ යළ අරඹය 1 768x1106

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top