Dec 13, 2016

'නැව්පතිගේ හැසිරීමෙන් ආණ්ඩුව අර්බුදයක' (වීඩියෝ) Featured

කම්කරු උද්ඝෝෂණයක් මැඩලීමට සන්නද්ධ භට සේනාවක් කැටුව හම්බන්තොට ගිය නාවික හමුදාපතිවරයා රාජකාරියේ යෙදී සිටි මාධ්‍යවේදියකුට පහර දීම නිසා රජය ගැටලුවකට මුහුණ පා සිටින බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

පෞද්ගලික වෙළෙඳසැලක් විවෘත කිරීමට මහනුවර ගොස් සිටියදී මාධ්‍යවේදීන් කල ප්‍රශ්න කිරීමකදී ඔහු එබව පැවසිය.

කෙසේ වෙතත්, නාවික හමුදාවේ රාජකාරියට බාධා වෙන ආකාරයෙන් මාධ්‍යවේදියා කටයුතු කළේ නම් ඔහුට පහර දීමෙහි දොසක් නොදකින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

නැව්පතිගේ හම්බන්තොට පහර දීම සිදුවුයේ  “සුවිශේෂ තත්වයක් යටතේ” දැයි සොයාගත හැකි වන්නේ ඒ සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පරීක්ෂණයක ප්‍රතිපල ලැබීමෙන් අනතුරුව බව ඔහු සඳහන් කළේය.


නිල ඇඳුමක් නොහැඳ සිටීම :
“තමන්ගේ සීමාව ඉක්මවා ගිහිල්ලා රාජකාරියට බාධාවක් වෙන ආකාරයෙන් හැසිරුනා නම් ඒ උදවිය බලය පාවිච්චි කිරීමේ පිලිබඳ ලොකු දෝෂාරෝපණයක් අපිට කරන්න බෑ. නුමුත් එහෙම බාධාවක් නොවන ආකාරයක කටයුතු කළා නම් එවැනි අවස්ථාවක පහර දීමක් අපි පිළිගන්නේ නෑ යුක්ති සහගතයි කියලා,” යි අමාත්‍ය වරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, වඩාත් බරපතල ගැටළුවක් ලෙස අමාත්‍යවරයා දැක තිබුනේ නිල ඇඳුමක් නොහැඳ රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මාගම්පුර වරායට ගොස් සිටීමයි.

“එතුමා සිවිල් ඇඳුමින් ඇවිල්ලා ඒ කටයුත්ත කිරීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තිබෙනවා,” යි අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.



නාවික හමුදාවේ වගකීම :

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න මහතා පවසන්නේ, හම්බන්තොට වරායට පැමිණ තිබූ විදෙස්‌ නෞකා දෙකක්‌ උද්ඝෝෂකයන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි නිසා ඒවා මුදාහැරීමට නාවික හමුදාව කටයුතු කළ බවයි.  

ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්‌ෂක පද්ධති නාවික හමුදාවේ ආරක්‌ෂාව යටතේ පවතින බවත් යම් හෙයකින් ඒවාට මුහුදු කොල්ලකරුවන්ගෙන් හෝ ත්‍රස්‌තවාදීන්ගෙන් ප්‍රහාරයක්‌ එල්ල වේ නම් ආරක්‌ෂා කරදීම නාවික හමුදාවේ වගකීම බවත් ඔහු කීය.


මුහුදු මංකොල්ලකරුවන් :
හම්බන්තොට වරායට පැමිණ තිබූ විදෙස්‌ නැව් දෙකෙන් එකක්‌ ලෝකයේ වාහන ප්‍රවාහනය කරන විශාලතම තැන්වැනි නෞකාව බවත් එම නැව හා අනෙක්‌ විදෙස්‌ නෞකාව දින හයක්‌ තිස්‌සේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටීම මුහුදු මංකොල්ලකරුවන්ගේ ක්‍රියාවකට ගැනෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

වාහන වරායට ගොඩ බෑමෙන් පසු උද්ඝෝෂකයන් විසින් වාහන ප්‍රවාහන නැව සහ අනෙක්‌ නැව බලහත්කාරයෙන් වරායේ රඳවාගෙන සිටියේය.

එම නිසා වාහන ආනයනය කළ සමාගම්වලට දිනකට ඩොලර් ලක්‌ෂ 04 බැගින් රඳවාගෙන සිටි දින 06 ක්‌ සඳහා ගෙවීමට සිදුවනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය. 

විශාල නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ දෙවැනි වතාවට බවද සේවකයන් තම ඉල්ලීම් දිනා ගැනීමට විදෙස්‌ නැව් බලහත්කාරයෙන් රඳවාගෙන අරගල කළ බවද හෙතෙම පැවැසීය.


මම පහරදුන්නා නම් ඔහු රෝහලේ :

මෙහිදී මාධ්‍යවේදියකුට පහරදීමක්‌ කළා දැයි නාවික හමුදාපතිවරයාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ කීය.

''මම මාධ්‍යවේදියකුට පහරදුන්නා නම් ඔහු රෝහල් ගතව ඉන්න ඕනෑ. එයා මාධ්‍යවේදියෙක්‌ නම් කියන්න ඕන මම අහවල් ආයතනයේ මාධ්‍යවේදියෙක්‌ කියලා. එයා මාධ්‍ය ආයතන කිහිපයක ඉන්නවයි කියලා කිව්වා. මෙයා කවුද කියලත් කා සමඟද හිටියේ කියලාත් මා කාලයක සිට දැනගෙන හිටියා.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top