Dec 13, 2016

චතුර, මුදල් වැය ශීර්ෂයට ඡන්දය නොදුන් හේතුව ?

එක්‌සත් ජාතික පක්‍ෂ ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී චතුර සේනාරත්න මහතා 2016 වසරේ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

2017 අයවැය ලේඛනය අවසන් ඡන්ද විමසීම 10දා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය එදින දවස පුරා සිදුකෙරිණි.

විවාදය අවසානයේදී මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂයට වෙනම ඡන්දයකුත් සමස්‌ත අයවැය ලේඛනයට වෙනම ඡන්දයකුත් අවශ්‍ය බවට විපක්‍ෂයෙන් කළ ඉල්ලීම අනුව පළමුව මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂයට ඡන්ද විමසීම සිදුකෙරිණි.

එහිදී එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනා එම වැය ශීර්ෂයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර සභා ගැබේ සිටි චතුර සේනාරත්න මහතා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

අයවැයට පක්ෂයි - හොරකමට විරුද්ධයි :

ඉන් පසු සමස්‌ත අයවැය ලේඛනය සඳහා ඡන්ද විමසීම සිදුකරද්දී චතුර සේනාරත්න මහතා ඊට පක්‍ෂව ඡන්දය ලබා දුන්නේය.

 ඡන්ද විමසීමෙන් පසුව මේ පිළිබඳව කළ විමසීමකදී චතුර සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ "හොරකමට ඡන්දය දෙන්නයි අයවැයට ඡන්දය දෙන්නයි දෙකක්‌ කරන්න බැහැ. ඒ නිසා මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂයට ඡන්දය දීමෙන් වැළකී සිටියා. ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව සමස්‌ත අයවැයට ඡන්දය ලබාදීමට කටයුතු කළා" යනුවෙනි.

(දිවයින)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top