Dec 13, 2016

නීතිපති ළඟ දූෂණ ෆයිල් 63ක් ගල් වෙලා ! Featured

පසුගිය පාලන සමයේ සිදුව තිබෙන බරපතල අපරාධ ගණයෙහිලා ගැනෙන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන ලිපිගොනු ප්‍රමාණය 63ක් වන බවත්,  ඒ සම්බන්ධයෙන් මෙතෙක් සාධනීය පියවරක් ගෙන නොමැති බවත් වාර්තාවේ.

හිටපු මන්ත්‍රී සජින්වාස් ගුණවර්ධන, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති වික්‍රම ආදී රාජපක්ෂ පාලනයේ ප්‍රධානින් ගණනාවකට එරෙහිව සිදුකෙරුණ විමර්ශන වලට අදාළ ලිපිගොනු ඒ අතර වෙතැයි ද පැවසේ.

මේ අනුව නීතිපතිවරයා නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද කරවීම හෝ ඒ අත්හැරදමා තිබෙන බවට චෝදනා එල්ලව තිබෙන අතර බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ නඩුවේ දී දක්වා තිබෙන නොසැලකිල්ල ද යහපාලනය බලාපොරොත්තු වූවන්ගේ විවේචනයට බඳුන්ව තිබේ.

පසුගිය දා දිවිනැගුම අරමුදලේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගැනීමට සිදු වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට ආණ්ඩුවේ පාර්ශ්ව ගණනාවකින් චෝදනා එල්ල වී ඇතැයි දැන ගැනීමට තිබේ.


තාක්ෂණික දෝෂයක් :


පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම අරමුදලෙන් රු. ලක්ෂ 290ට අධික මුදලක් යොදවාගෙන ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුත්තක් ලෙස බෙදාහැරීම සම්බන්ධයෙන් ගොනු කරන ලද අධිචෝදනා පත්‍රවල තාක්ෂණික දෝෂයක් පවතින බැවින් එම ඉල්ලා අස්කර ගැනීම සිදු විය.


යම් චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන අවසන් කර ඒ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු බාර දෙනු ලබන්නේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත වන අතර එහි දී එම විමර්ශන වාර්තා සලකා බලා අපරාධයක් සම්බන්ධයෙන් වරදක් වී ඇත්නම් එය සනාථ කිරීම සඳහා අදාළ නෛතික ප්‍රතිපාදන අනුව නඩුව ගොනු කළ යුතුය.

 එහි දී නියමිත නෛතික වගන්ති අනුව නඩු පැවරීමත් ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීමත් කළ යුතුය.

 නමුත් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල කළ චෝදනා සනාථ කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු නඩුවේ චෝදනාව ඉදිරිපත් කළ ආකාරය වැරැදිසහගත විය.

ඒ අනුව නඩුව පරාජය වීමට ඉඩ තිබුණු අතර ඊට පෙර එය ඉවත් කරගෙන නැවත නඩු පැවරීමට නීතිපතිවරයාට සිදු විය.

(සුභාෂ් ජයවර්ධන)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top