nsb

Dec 13, 2016

'පක්‌ෂයට පළමුව රට ආරක්‌ෂා විය යුතුයි' -චන්ද්‍රිකා

ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය ආරක්‌ෂා කිරීමට පළමුව රට ආරක්‌ෂා විය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය අවධාරණය කර සිටියි.

''මේ රටේ ප්‍රධාන පක්‌ෂ දෙක එකතුවීම දුර්ලභගනයේ සිදුවීමක්‌. එම ප්‍රාතිහාර්ය අද සිදුවී තියනවා.  පක්‌ෂ දෙකේ ප්‍රතිපත්ති වෙනස්‌ නමුත්, ඒත් පළමුව රට ගැනත් දෙවනුව පක්‌ෂය ගැනත් අප අවධානය යොමුකළ යුතුයි'' යයි  ඇය කියා සිටියේ, පෙරේදා (11 )  හොරගොල්ල බණ්‌ඩාරනායක පුස්‌තකාල ශ්‍රවණාගාරයේ පැවැති අත්තනගල්ල ආසන බල මණ්‌ඩල පිහිටුවීම වෙනුවෙන් පැමිණි පිරිස්‌ දැනුවත් කරමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය මෙසේද පැවසුවාය.


ජීවිතය පරදුවට තබල :

'' පසුගිය ජනාධිපති වරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහත්මයා එයට ඉදිරිපත්වුණේ ජීවිතය පරදුවට තබලයි. එහිදී ප්‍රධාන දේශපාලන පක්‌ෂ දෙක එකතු වුණේ පැවැති රාජපක්‌ෂ රජය වෙනස්‌ කරන්න පමණක්‌ නොවෙයි. මේ රටට ලෝකයෙන් එල්ල වුණ විපත්තිවලින් මෙන්ම රට තුළ සිදුවූ වංචා දූෂණ හොරකම්වලින් රට බේරාගන්නයි.

පැවැති රාජපක්‌ෂ රජය තරම් වෙනත් රටවලින් වැඩි පොලියට ණය ගත්ත රටක්‌ මේ ලෝකයේ වෙනත් නැහැ. ණය අරන් තියෙන්නෙ සියයට නවයේ පොලියට. ගත්ත ණය වලින් සියයට දහයකින් සංවර්ධනය කරලා සියයට අනූවක්‌ හොරකම් කළා. එදා ලබාගත්ත ණය ගෙවා නිම කරන්න තවත් පරම්පරා විස්‌සක්‌ විතර යාවි.

එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා එදා එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්වෙලා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය පිහිටෙව්වේ පැහැදිලි දර්ශනයක්‌ ඇතිවයි. සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මිය එය ඉදිරියට ගෙන ගියේද අවංක ෙච්තනාවෙන්.

අවුරුදු 450 ක්‌ තිස්‌සේ සුද්දන් සතුව තිබූ ජාතික දේපළ ශ්‍රී ලාංකිකයන් සතු කෙරුවේ අවංක ෙච්තනාවෙන්. ඒත් රාජපක්‌ෂ රජය කාලේ ඒ අවංක නායකයින් අමතක කළා පමණක්‌ නොවෙයි පක්‌ෂයේ ප්‍රතිපත්තිද විනාශ කළා.

 
ඉහළම දෙන්නා හොරකම් කරන්නේ නැහැ :


තැන දුන්නේ හොරුන්ට තක්‌කඩින්ට. මගේ රජය කාලේ හතරෙන් තුනක්‌ නිම කරපු යුද්ධය ඉවරයක්‌ කළා තමයි. ඒත් මේ රට ආර්ථික අගාධයට ඇදල දැම්මා. වැද්දන්ගේ රටක්‌ බවට පත් කළා. පරයන්ගේ රටක්‌ බවට පත් කළා.

මෙම තත්ත්වය දෙස ඇහැ කන පියාගෙන ඉන්න බැරි නිසයි එදා මෛත්‍රිපාල සිරිසේන මහත්තයගෙ ජයග්‍රහණය වෙනුවෙන් එක්‌සත් ජාතික පක්‌ෂයට ඡන්දය දෙන්න කියලා එදා ඔබලා හමුවට ඇවිත් මම කිව්වේ.

මෛත්‍රිපාල සිරිසේන මහත්මයා ජනාධිපති වුණාට පස්‌සෙ දැන් අලුත් යුගයක්‌ උදාවෙලා. ශ්‍රී ලාංකිකයින් පමණක්‌ නොවෙයි මුළු ලෝකයාම අද පවතින යහපාලනයට ආශිර්වාද කරනවා.

 එහෙම වුණත් හොරකම, දූෂණය අද සම්පූර්ණයෙන් නැතිවෙලා කියලා මම කියන්නේ නැහැ. තවමත් සිදුවෙනවා. ඒවා දැනගත්තොත් අපට දැනුම් දෙන්න . වහාම ක්‍රියාත්මකව සොයා බලනවා.

 එක සහතිකයක්‌ නොබියව දෙන්න පුළුවන්. අද මේ රටේ ඉන්න ඉහළම දෙන්නා හොරකම් කරන්නේ නැහැ.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top