Dec 14, 2016

'බරපතල අවදානමක්' - ජනපති හමුදාවට කියයි (වීඩියෝ) Featured

යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගෙන් නැගී ඇති ‘චෝදනා හා යෝජනා’ හමුවේ ජාත්‍යන්තර සහයෝගය ලබා නොගෙන ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේනා වලට තම ගෞරවය ආරක්ෂා කරගැනීම අසීරු කටයුත්තක් වන බව ජනාධිපතිවරයා රජයේ හමුදා ප්‍රධානීන් හමුවේ පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ප්‍රබලතම ත්‍රස්තවාදී සංවිධානයක් විනාශ කොට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත්  ‘බහුශ්‍රැතයන්’ ලෙස හැඳින්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ජාත්‍යන්තර ක්ෂේත්‍රයේත් ජයග්‍රහණ ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කළේ පෙරේදා (12 ) සපුගස්කන්ද මාකොළ පැවති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

“මානව හිමිකම් කඩවීම පිලිබඳ චෝදනා හා යෝජනා සම්බන්ධයෙන් අපේ ආරක්ෂක හමුදාවල ගෞරවය සහ අපේ රටේත් ජනතාවගේත් ගෞරවය ආරක්ෂා කරගෙන එම අභියෝගය ජයග්‍රහණය කිරීමේ,” අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් සභාව හමුවේ තබන ලදී.

හමුදා ලිංගික අපචාර:
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අනතුරු ඇඟවීම කළේ එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ සේවය කරමින් සිටියදී බාල ළමා දුෂණ චෝදනාවට පිටුවහල් කෙරුනු ශ්‍රී ලංකා හමුදා සෙබළුන් ට එරෙහිව නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් නැවත වතාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී සතියක් ගත වෙද්දීය.



හයිටියේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට බැඳී සිටි ශ්‍රී ලංකා යුද සෙබළුන් 114 දෙනකු  දැරිවියන් ඇතුළු කාන්තාවන්ට එරෙහිව ලිංගික අපරාධ කිරීමේ චෝදනා වලට 2007 නොවැම්බරයේදී ආපසු හරවා යවන ලදී.

ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට අපරාධ නීතිය යටතේ දඬුවම් පමුණුවන ලෙසත්, අනාගත සාම සාධක මෙහෙයුම් සඳහා යැවීමට පෙර අණ දෙන නිලධාරීන් ඇතුළු භට සේනා පූර්ව සෝදිසියකට ලක් කරන ලෙසත් ජිනීවා නුවර රැස්වූ වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

ඉදිරියේදී එවැනි අපරාධ සිදු නොවනු පිණිස ශ්‍රී ලංකා යුද හමුදාවට ලිංගික අපචාර වැලැක්වීම පිලිබඳ විශේෂ පුහුණුවක් ලබා දෙන ලෙසද කමිටුව ඉල්ලා ඇත.

විශේෂඥ දැනුම :
තමන් බලයට පත් වන විට ජාත්‍යන්තර හමුදා ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප කර තිබු සහාය ශ්‍රී ලංකාවේ හමුදාව වෙත නැවත ලබා ගැනීම අභියෝගයක් බව උපාධි ප්‍රදානෝත්සවය අමතමින් මාකොලදී අවධාරණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා යුද හමුදාව සතුව නොමැති විශේෂඥ දැනුම හා පුහුණුව සඳහා ජාත්‍යන්තර හොඳ හිත අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ලබා ගත යුතු සහාය ලෙසින්,  දැනුම සහ සම්පත් වර්ධනය කර ගැනීම, යුද ශිල්පීය දැනුම වර්ධනය කරගැනීම, පුහුණු හා පර්යේෂණ අංශ ශක්තිමත් කිරීම, තාක්ෂණ දැනුම, යුද ශිල්පීය දැනුම හා විශේෂඥ දැනුම ලබා ගැනීම  යනාදී අංශ ජනාධිපතිවරයා විසින් හඳුන්වා දෙන ලදී.

වැරදි අර්ථකථන :

ඉකුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේ නැතිවී ගිය ජාත්‍යන්තර සහයෝගය නැවත දිනා ගැනීමට තමන් ගන්නා වීරිය පිළිබඳව ඇතැමුන් පිලිබඳ වැරදි අර්ථකථන දෙන බවට ජනාධිපතිවරයාගේ විවේචනයට ලක් විය.


“අපි ජය ගන්නවා යනු අපේ මාතෘ භුමිය තුල තියෙන සියලු අංශවලින් ජයගන්නවා පමණක් නොව, අපි සියලු ක්ෂේත්‍ර, සියලු අංශ වලින් ජාත්‍යන්තරය ජය ගැනීමයි,” යන්න ජනාධිපතිවරයා ප්‍රවීණ සහ ආධුනික හමුදා නිලධාරීන්ට අවධාරණය කර සිටියේය.

උපාධි ප්‍රදානෝත්සවයේදී ත්‍රිවිධ හමුදා නිලධාරීන් 114 ක් සහ විදේශීය හමුදා නිලධාරීන් 12 දෙනකුද උපාධි දිනා විසිර ගිය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top