nsb

Dec 14, 2016

බරපතළ වංචා 171ක පිළිබඳ විමර්ශන අවසන්

බරපතළ වංචා දූෂණවලට අදාළ පැමිණිලි 171ක් පිළිබඳ විමර්ශන අවසන් කර ඇති බවත් මේ වන විට විමර්ශන අවසන් කළ වාර්තා 06ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදී ඇති බවද බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම පවසයි.

මීගමුව කලපුව, රක්නා ලංකා ආරක්ෂක සමාගම, ආරක්ෂක අමාත්‍යාංශයේ කල් ඉකුත් වු පුපුරණ ද්‍රව්‍ය අලෙවි කිරීමේ සිද්ධිය ඇතුළු විමර්ශන 6ක වාර්තා මෙලෙස ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බව සඳහන්ය.

තවත් වාර්තා 6ක් ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා සඳහන් කළේය.

එමෙන්ම කොමිසමේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් මාස 02කට වරක් ජනාධිපතිවරයා වෙත භාරදෙන අතර ඉදිරි සතිය තුළ එවැනි ප්‍රගති වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාරදීමට ද නියමිතව ඇත.

මෙම වසරේ මාර්තු 24 වන විට බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණිලි 1600ක් පමණ ලැබී තිබු බව එම කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් ඉන් පැමිණිලි 165ක් බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ විෂය පථයට අයත් නොවන බව සඳහන්ය.

ඒ හේතුවෙන් ඉන් පැමිණිලි 43ක් වෙනත් ආයතන වෙත යොමුකළ බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ ලේකම්වරයා සඳහන් කර සිටියි.

බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත ලැබුණු පැමිණිලිවලින් පැමිණිලි 357ක් විමර්ශන ඒකකයට භාර දී ඇති අතර ඉන් විමර්ශන ආරම්භ කර ඇති පැමිණිලි සංඛ්‍යාව 36කි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top