Dec 14, 2016

හම්බන්තොට ‘අවධානම් වරායක්’ යැයි ජාත්‍යන්තරයට මතයක්

හම්බන්තොට වරාය අවධානම් වරායක් ලෙස ලෝක ප්‍ර‍ජාව හඳුනා ගනිමින් සිටින බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (14) පැවසිය.

''නෞකාවක් බහලත්කාරයෙන් රඳවා ගෙන සිටීම මුහුදු කොල්ලකෑමක් ලෙසයි ජාත්‍යන්තර ප්‍රජාව දකින්නේ. මේ නිසා අද හම්බන්තොට වරාය අවධානම් වරායක් ලෙස ලෝක ප්‍ර‍ජාව හඳුනා ගනිමින් සිටිනවා. එය රටක් වශයෙන් හොඳ නැහැ.'' යයි ඇමතිවරයා පැවසුයේ, වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍ර‍ණාගාරයේදී අද (14) පැවැති මාධ්‍ය හමුවකදීය.

හම්බන්තොට වරායේ සියලුම සේවකයින්, මාගම්පුර වරාය කළමනාකරණ පෞද්ගලික සමාගමේ සේවකයින් බව ඔහු සඳහන් කළේය.


“පසුගිය දින කිහිපයේ එම වරායේ සිදුවූ කඩාකප්පල්කාරී ක්‍රියා නිසා මේ වන විට මූල්‍යමය වශයෙන් දැඩි හානියක් අපට සිදුව තිබෙනවා. නෞකා මෙහෙයුම්වලටත් දැඩි බාධා සිදු වුණා. ප්‍ර‍ධාන පරිපාලන ගොඩනැගිල්ලේ විදුලිය විසන්ධි කර සී.සී.ටී.වී. කැමරා පද්ධතියට හානි කර තිබෙනවා. ජල ටැංකියකට හානි සිදු කර තිබෙනවා. ඒ වගේම නෞකා මෙහෙයුම්වලට තවදුරටත් බාධා සිදු කරමින් සිටිනවා.

මේ නිසා හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාමට රජයක් ලෙස අපි තීරණය කළා. ඒ අනුව හෙට සේවයට වාර්තා නොකරන අය වෙනුවෙන් හම්බන්තොට මිරිජ්ජවිල ගමෙන්ම අලුතින් අය බඳවා ගැනීමටත් අපි අපේක්ෂා කරනවා. ඒ වගේම කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකළ සියලුදෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.” යයි ඇමතිවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top